ඇමෙරිකාවට සහාය දක්වන්නන්ට අනතුරු



ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ආරම්භ කර ඇති හමුදා මෙහෙයුම් සඳහා සහාය දක්වන වාණිජ සහ නාවික ජාල පිළිබඳව ඉරානය දැඩි නිරීක්ෂණයෙන් පසුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම හමුදා මෙහෙයුම් සඳහා දැනුවත්ව සහාය දක්වන සමාගම් සහ සේවා සපයන්නන් ඉදිරියේදී විවිධ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ඉරානයේ නූර්නිවුස් පුවත් සේවය, හමුදා නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කර ඇත.

කලාපයේ ස්ථාපිත ඇමෙරිකානු හමුදා වෙත සැපයුම් ලබාදීමට සම්බන්ධ වාණිජ සමාගම්, පෞද්ගලික නෞකා හිමියන් සහ නාවික සේවා සපයන්නන් පිළිබඳ තොරතුරු ඉරාන සන්නද්ධ බළකායන් විසින් රැස් කරමින් සහ තහවුරු කරමින් පවතින බව අදාළ හමුදා නිලධාරියා පවසා ඇත. මෙලෙස ඇමෙරිකානු හමුදා සැපයුම් ජාලයට සම්බන්ධ වන ඕනෑම පාර්ශවයක් පිළිබඳ තොරතුරු පරීක්ෂාවට ලක් කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජනපද හමුදා නාවික ප්‍රවාහන විධානය මගින් ඉන්ධන, අමතර කොටස්, යුධ උපකරණ, ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය සැපයුම් ප්‍රවාහනය සඳහා පෞද්ගලික වාණිජ නෞකා භාවිත කිරීම සම්බන්ධයෙන් වන ඇමෙරිකානු නිල ලේඛන ද අදාළ නිලධාරියා මෙහිදී උපුටා දක්වා තිබේ.

මෙවැනි සැපයුම් ජාලයක් මගින් ඇමෙරිකානු හමුදාවේ මෙහෙයුම් ධාරිතාවට සැලකිය යුතු දායකත්වයක් ලැබෙන බැවින්, එම ක්‍රියාකාරකම් හුදෙක් වාණිජමය ක්‍රියාවලියක් ලෙස පමණක් තවදුරටත් සැලකිය නොහැකි බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය


RECOMMEND POSTS