අල් බැග්ඩෑඩි බිරිඳට මරණ දඬුවම නියම කෙරේ



‘අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත්‍රස්ත සංවිධානයේ පුරෝගාමී නායකයා වූ අබුබකර් අල් බැග්ඩෑඩිගේ පළමු බිරිඳ අස්මා මොහොමද්ට ඉරාක අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ.

ඉරාක ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන අස්මා මොහොමද්ට චෝදනා රැසක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් ඇය අධිකරණය හමුවේ වරදකාරිය වූවාය. මරණ දඬුවම නියම කෙරුණේ ඒ අනුවය. 

දැඩි අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ වී සිටීම සහ කුර්දි බස කතා කරන යසාදි ගෝත්‍රික කන්තාවන් පැහැරගෙන ගොස් ඔවුන්ට ලිංගික අපරාධ සිදු කිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් අස්මා මොහොමද් වරදකාරිය වූවාය. 

ඉරාකයෙන් සහ සිරියාවෙන් හිස එසවූ අයි.එස්. ත්‍රස්ත සංවිධානය පරාජය කිරීමට ඉරාක රජයත් සිරියානු රජයත් සමත් වූයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙන්ම රුසියාව සහ ඉරානය ලබා දුන් සහාය අනුවය.

අයි.එස්. ත්‍රස්ත සංවිධානය එසේ පරාජය වීමෙන් පසු 2019 දී ඇමෙරිකා බුද්ධි අංශ සහ හමුදාව සිරියාවේ සැඟවී සිටි අල් බැග්ඩෑඩි සොයා සොයා ගත්තේය.

ඇමෙරිකන් හමුදා සෙබළුන් බැග්ඩෑඩි කොටු කර ගනිද්දී, ඔහු බෝම්බ පුපුරුවාගෙන මියගියේය. එම බෝම්බයෙන් බැග්ඩෑඩි සහ ඔහුගේ දරුවෝ දෙදෙනෙක් මියගියහ. ඇමෙරිකන් හමුදා බැග්ඩෑඩි වට කරද්දී සිදුවුණු වෙඩි තැබීම්වලින් බැග්ඩෑඩිගේ තවත් බිරියන් සිවු දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS