’ඉන්සයිට්’, ඉතිං ආයුබෝවන්



ඇමෙරිකා නාසා ආයතනය, අඟහරු යැවූ ‘ඉන්සයිට්’ (Insight) රොබෝ යානයට සමු දුන්නේය. ඒ සිවු වසරක සේවා කාලය අවසන් වූ බැවිනි.

‘ඉන්සයිට්’ යානය අක්‍රිය වූ බවත්, යානය සමඟ පැවැති සියලු සබඳතා මුළුමනින්ම අවසන් වුණු බවත්, යානයේ මෙහෙයුම් කටයුතු සිදු කළ නාසා ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ NASA's Jet Propulsion Laboratory (JPL) විද්‍යාඥයෝ නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කළහ.

‘අපි අවසන් වරටත් දෙවරක් උත්සාහ ගත්තා යානය සමඟ සම්බන්ධ වෙන්න. ඒත් ඒක බැරිවුණා. යානයේ බැටරිය මුළුමිනින්ම අක්‍රිය වීම තමයි හේතුව. ඒ අනුව ඉන්සයිට් යානයේ මෙහෙයුම් අවසන්. අපි ඉන්සයිට් යානයට ආයුබෝවන් කියනවා’ යැයි නාසා ආයතනය  මාධ්‍ය වෙක නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

නාසා විද්‍යාඥයන් ‘ඉන්සයිට්’ (Insight) රොබෝ යානය සමඟ අවසන් වරට පණිවුඩ හුවමාරු කර ගත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදාය. ඒ වනවිටත් යානයේ බැටරිය කොයි මොහොතේ හෝ අක්‍රිය වන බව නාසා විද්‍යාඥයෝ හොඳින් දැන සිටියහ.

බැටරිය අක්‍රිය වූයේ එහි ආයු කාලය අවසන් වීමත් සමඟය. දෙසැම්බර් 15 වැනිදායින් පසු තවත් අවස්ථා දෙකකදී යානය සම්බන්ධ කර ගැනීමට විද්‍යාඥයන් උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. ඒ අනුව, යානය ‘මියගිය බව’ නිවේදනය කෙරුණි. නාසා ඉන්සයිට් යානය වෙනුවෙන් නිල ට්විටර් ගිණුමක් ද විය. එය හරහා ද යානයේ සමුගැනීම නිවේදනය කෙරුණි. ඒ, යානය අවසන් වරට නාසා විද්‍යාඥයන්ට එවූ ඡායාරූපය ද ප්‍රසිද්ධියට පත් කරමිණි. මේ සටහන සමඟ එම ඡායාරූපය ද පළ වෙයි.

වෙනත් ග්‍රහලොවක (අඟහරු) භූමි කම්පාවක් හසුකරගත් පළමු රොබෝ යානය ලෙස ‘ඉන්සයිට්’ සැලකෙයි. අඟහරු භූමි කම්පා ගැන පළමුවෙන් දත්ත සහ විස්තර පෘථිවි විද්‍යාඥයන්ට ලැබෙන්න සැලැස්වූයේ ද ‘ඉන්සයිට්’ යානයයි.

විශ්වය ගවේෂණයට පෘථිවියෙන් රොබෝ යානා බොහොමයක් යවා තිබේ. ඒවා වර්ග තුනකි. පියාසර කරන යානා, පතිත කරන යානා සහ රෝවර් යානා යනු ඒවාය. පියාසර කරන යානා යනු ග්‍රහ වස්තු අසලින් සහ ඒවායේ කක්ෂයට පිවිස ගවේෂණ කටයුතුවල නියැලෙන රොබෝ යානාය. පතිත කරවන යානා යනු ග්‍රහලෝකවලට ගොඩ බෑමෙන් පසු දත්ත රැස්කරමින් ගවේෂණය කටයුතු කතරන යානාය. රෝවර් යානා යනු ග්‍රහලෝක හෝ ග්‍රහවස්තු මතුපිටට ගොඩබෑමෙන් පසු එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතුවල යෙදෙන රෝද කට්ටල සහිත යානාය. ‘ඉන්සයිට්’ යනු පතිත කරවන යානයකි.

‘ඉන්සයිට්’ යානය අඟහරු මතුපිට සිට භූකම්පන 1,300 ක දත්ත පෘථිවියට එවීම කළේය. යානය සතුව තිබුණු භූ කම්පන මානය ප්‍රංශ ඉන්ජිනේරුවන්ගේ විස්කමකි. අවසන් වරට ‘ඉන්සයිට්’ යානයේ භූ කම්පන මානයේ අවසන් වරට භූ කම්පනයක් හටගත්තේ 2022 මැයි මාසයේය. එය රික්ටර් පරිමාණයේ ඒකක 5 ක් සටහන් කර තිබුණි. එම භූ කම්පනයෙන් සිදුවුණු දෙදරීම පැය 6 ක් තිස්සේ පැවැතිණි. අඟහරු පස කැණීම් කරමින් අඟහරු පෘෂ්ඨයේ ඇති ස්ථර අධ්‍යයනය කිරීම ද කළේ ‘ඉන්සයිට්’ යානයයි.

‘ඉන්සයිට්’ යානය අඟහරු බලා යැවීම සිදුවූයේ 2018 මැයි 5 වැනිදාය. ඇට්ලස් වර්ගයේ රොකට්ටුවක ආධාරයෙන් ‘ඉන්සයිට්’ යානය, එම වසරේ නොවැම්බර් 26 වැනිදා අඟහරු මතුපිට පෙර සැලැසුම් කළ ස්ථානයට පතිත කෙරුණි. යානය පැයට සැතපුම් 12,300 ක වේගයකින් (වෙඩි උණ්ඩයකටත් වඩා වේගයකින්) අඟහරු මත ගොඩබෑම සිදුවන්නේ සියුම් ගණනය කිරීම් අනුවය. ඒ සඳහා විශේෂ පැරැෂූට් කට්ටල යොදා ගැණුනි.

යානය පතිත කිරීම සිදුවන්නේ නාසා විද්‍යාඥයන් විසින් කලින් තෝරා ගනු ලැබූ ස්ථානයටය. ‘ඉන්සයිට්’ යානය මෙසේ අඟහරු බලා යෑම,  අඟහරු මතුපිටට ගොඩබෑම සහ ගවේෂණය අභ්‍යවකාශ ගවේෂණයේ තවත් වැදගත් සංධිස්ථානයකි. ‘ඉන්සයිට්’ අඟහරු පෘෂ්ඨය සිදුරු කර, පාෂණ ස්ථර ගවේෂණය කරමින්, භූ කම්පන ගැන අධ්‍යයනය කරමින් ලබා ගත් දත්ත පෘථිවි විද්‍යාඥයන් වෙත ලැබෙන්න සැලැස්වූයේ රේඩියෝ සංඥා ආධාරයෙනි.

‘ඉන්සයිට්’ යානයේ බර කිලෝ ග්‍රෑම් 360 කි. දිග මීටර් 6 ක් වන අතර පළල මීටර් 1.5 කි. ‘ඉන්සයිට්’ යානය නිපදවූයේ අවුරුදු දෙකක ගවේෂණ කාලයක් සඳහාය. කෙසේ නමුත් එය අවුරුදු 4 ක් සාර්ථකව මෙහෙයුම් කටයුතුවල නියැලුණි. ‘ඉන්සයිට්’ යානය වෙනුවෙන් නාසා වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 828 කි. යානය නාසා ආයතනය වෙනුවෙන් නිපදවූයේ ‘ලොක්හීඩ් මාර්ටින්’ සමාගමේ ඉන්ජිනේරුවන්ය.

‘ඉන්සයිට් ගවේෂණ යානයේ ප්‍රධාන අරමුණ වුණේ, අඟහරු ග්‍රහලෝකයේ භූගෝලීය විෂමතා හඳුනා ගැනීම. අඟහරු භූමිකම්පා ගැන අධ්‍යයනය කිරීම. අඟහරු අභ්‍යන්තරය ගවේෂණයයි. මීට පෙර මේ අයුරින් අඟහරු අභ්‍යන්තරය ගවේෂණය සිදු කර නැහැ’ යැයි ගවේෂණ මෙහෙයුම මෙහෙයවීම සිදු කරන විද්‍යාඥ බෲස් බෙන්ඩර්ට් පවසා තිබේ. ‍භූ විද්‍යාත්මකව, අඟහරුගේ සිදුවුණු පරිණාමය සොයා බැලීමට ද ‘ඉන්සයිට්’ යානයේ තවත් ප්‍රධාන අරමුණක් විය.

2018 වසරේ දී ‘ඉන්සයිට්’ ගවේෂණ යානය සමඟ තවත් කුඩා යානා දෙකක් ද අඟහරු වෙත යැවීම සිදුවිය. මේ යානා දෙක සියයට සියයක්ම නාසා ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ඒවාය. මේවා නම් කෙරුණේ මාර්ස් කියුබ් 1 සහ 2 යනුවෙනි. මේවා ප්‍රමාණයෙන් බ්‍රීෆ්කේසයක් තරම්ය. ඉන්සයිට් පසුපසින් අඟහරු වෙත ගිය මෙම යානා අඟහරුගේ කක්ෂයේ ඔවුන්ට නියමිත ස්ථානවල රැඳුණි. තවමත් හොඳින් ක්‍රියාත්මක මෙම යානා යොදා ගැනෙන්නේ සන්නිවේදන කටයුතු සඳහාය.

‘ඉන්සයිට්’ රොබෝ යානය අඟහරු වෙත යැවීමට නාසා ආයතනය සූදානමින් සිටියේ 2016 වසරේදීය. කෙසේ නමුත් ගුවන්ගත කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී තාක්ෂණික ගැටලු කිහිපයක් හටගත්තේය. ඒ අනුව, එම තාක්ෂණ ගැටලු විසඳීම කෙරෙහි අවදානය යොමු විය. රොබෝ යනය යළි ඇමෙරිකාවේ කොලරාඩෝ ඩෙන්වර්හි ලොක්හීඩ් මාටින් සමාගමේ පර්යේෂණාගාරයට යවනු ලැබුණි. 

2016 වසරේ සිදුවුණු ප්‍රමාදය හේතුවෙන් නාසා බලධාරීන්ට ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක මුදලක් අමතරව, ගවේෂණය යානය වෙත යෙදවීමට සිදුවිය. යානයේ දෝෂය හටගෙන තිබුණේ එහි භූ කම්පන මානයේය. එය නිවැරදි කිරීම ඉතා ප්‍රවේසමෙන් සිදුවිය. 2016 වසර වෙද්දී යානය සඳහා ගිය වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 675 ක් වූ අතර සියලු දෝෂ නිවැරදි කිරීමෙන් පසු 2018 මැයි මාසයේ යානය ගුවන්ගත කරද්දී එහි වටිනාකම වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 828 කි.

අඟහරු මතුපිටට හෝ අඟහරු කක්ෂයට ගවේෂණ යානයක් හෝ අඟහරු මතුපිට එහෙමෙහෙ යා හැකි රොබෝ රෝවර් යානයක් හෝ යැවීම පහසු කටයුත්තක් නොවෙයි. මෙහෙයුම් 10 ක් දියත් කළොත් සාර්ථක වන්නේ එයින් මෙහෙයුම් හතරක් පමණ යැයි නාසා විද්‍යාඥයෝ පවසති. පළමුවෙන්ම අඟහරු මතට රොබෝ ගවේෂණ යානයක් ගොඩබෑම කළේ ඇමෙරිකාව නොව සෝවියට් රුසියාවය. ඒ, මාර්ස් 2 නමැති යානයයි. මෙය සිදුවූයේ 1971 වසරේදීය. එම වසරේදීම සෝවියට් රුසියාව මාර්ස් 3 නමින් තවත් ගවේෂණ යානයක් අඟහරු මත පතිත කළේය.

1973 දී, සෝවියට් රුසියාව අඟහරු වෙත ‘මාර්ස් 6’ යානය යැවීය. ඇමෙරිකාව පළමුවෙන් අඟහරු ජයගත්තේ ‘වයිකිං 1 සහ 2’ ගවේෂණ යානා මගිනි. ඒ, 1976 දීය. වසර ගණනාවකට පසු ඇමෙරිකා නාසා ආයතනය 1992 දී පාත්ෆයින්ඩර් යානය සහ සෝජූනර් රෝවරය අඟහරු වෙත යැවීය. 1999 දී නාසා ආයතනය ‘මාර්ස් ක්ලයිමට් ඕබිටර්’ අඟහරු කක්ෂයට ඇතුළත් කළේය. එම වසරේදී ‘මාර්ස් පොල්ර් ලෑන්ඩර්’ සහ ‘ඩීප් ස්පේස් 2’ යානා අඟහරු මත ගොඩබැස්සවීමට සැලැස්වීය.

එක්සත් රාජධානිය අඟහරු ජය ගනිමින් ‘බීගල් 2’ යානය අඟහරු යැව්වේ 2003 දීය. 2004 දී නාසා ආයතනය ස්පිරිට් රෝවරය අඟහරු මතට ගොඩබැස්සීය. 2008 දී ‘ෆීනික්ස්’ ගවේෂණ යානය අඟහරු මත පතිත කිරීමට නාසා සමත් විය. 2012 වසරේ දී නාසා ආයතනය අඟහරු බලා යැව්වේ කියුරියෝසිටි රෝවරයයි. යුරෝපා සහ රුසියානු අභ්‍යවකාශ ආයතන එක් වී, ‘ස්කිපරෙල්ලි’ ගවේෂණ යානය අඟහරු වෙත යැව්වේ පසුගිය 2016 දීය. ස්කිපරෙල්ලි යානය සාර්ථකව අඟහරු මතට පතිත කිරීමට නොහැකි විය.

ස්තුතිය - නාසා ආයතනයට

RECOMMEND POSTS