‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’



ටොංගා දුපත් රාජ්‍යය අසල මුහුදු පතුළේ ගිනි කන්දක් (යමහලක්) සක්‍රීය වී පුපුරා යෑම සහ ඉන්පසු සිදුවුණු සිදුවීම් මාලාව, පසුගිය සතිය පුරාම ලොව ප්‍රධාන පුවතක් වූ බව නොදන්නා කෙනෙකු නොමැත.

සාමාන්‍යයෙන් ගිනි කඳු පිපිරීම් අරුමයක් නොවෙයි. පසුගිය 2021 වසරේ ගිනි කඳු කීපයක් සක්‍රීය වූ බව අපට අසන්න දකින්න ලැබුණි. එසේ වුවත්, පසුගිය ජනවාරි 14 වැනිදා ටොංගා දූපත් රාජ්‍ය අසල සිදුවුණු ගිනි කඳු පිපිරීම එසේ මෙසේ එකක් නොවෙයි.

යමහල් විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට පසුගිය වසර 30 ක කාලය පුරාම මෙවැනි බිහිසුණු ගිනි කඳු පිපිරීමක් පෘථිවියේ කොතැනකවත් සිදුවී නැත. පසුගිය වසර 100 ක කාලය පුරා මිහිපිට සිදුවුණු මහා ඝෝෂාකාරී සිදුවීම ලෙස සැලකෙන්නේද මෙම ගිනි කඳු පිපිරීමය.

මෙම ගිනි කන්දේ පිපිරීම පරමාණු බෝම්බ මෙගාටොන් 10 ක් එකවර පුපුරා යෑමක් වැනිය. ගිනි කද්දේ බිහිසුණු හඩ ඇලෙස්කාවට පවා අසන්න ලැබුණු බව ඇමෙරිකන් භූ විද්‍යාඥයෝ කියති. ටොංගා ගිනි කඳු පිපිරීම, 1883 වසරේ සිදුවුණු ඉන්දුනීසියාවේ 'ක්‍රැකටෝවා' ගිනි කඳු පිපිරීමට වඩා බිහිසුණුය.

‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’ යන නමින් ටොංගා දුපත් වැසියන් නම් කර ඇති මෙම ගිනි කන්ද දුම් වලා පිට කරමින් පුපුරා ගිය දසුන් උඩු ගුවනේ චන්ද්‍රිකාවලට සටහන් විය. එම දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණු අතර, ගිනි කඳු පිපිරීම කොතරම් බිහිසුණු එකක්දැයි සනාථ කිරීමට එම දසුන් සමත් විය. උණුසුම් ජල වාෂ්ප, වායු, දූවිලි, අළු මිශ්‍ර වූ දුම්වලා අහස පුරා පැතිරී යන්න විය. දුම් වලා කිලෝ මීටර් 20 ක් ඈතට විහිදෙන්නට විය. මේ සියල්ල ගිනි කන්දේ මුහුදෙන් ඉහළ කොටසේ සිදුවුණු පෙරළියයි. ඒත් ප්‍රධාන පිපිරීම් සිදුවූයේ ගිනි කන්දේ පහළ මුහුද යටින් පිහිටි කොටසේය. එම බිහිසුණු පිපිරීම මහා බෝම්බයක් හිටිහැටියේ පුපුරා ගියා වැනි යැයි ටොංගා දුපත් වැසියෝ පවසති. ටොංගා දූපත අවට පිහිට රටවල් වන නවසීලන්තයටත්, ෆීජි දූපත් රාජ්‍යයටත් ඒ හඩ පැහැදිලිවට ඇසුණි. ගිනි කන්ද පිපිරී සාගරය කැලැඹෙද්දී සුනාමියක් රළ හට ගැනුණි.

ටොංගා යනු කුඩා දූපත් සමූහයකින් සැදුම්ලත් දකුණු දිග පැසිෆික් සාගර කලාපයේ රාජ්‍යයකි. ටොංගා රාජ්‍යයට අයත් දූපත් ගණන 170 කට වැඩිය. මේවා ප‍්‍රමාණයෙන් විවිධය. ජනාවාස ඇත්තේ ප‍්‍රධාන දූපත්වල පමණි. සුන්දර වෙරළ තීරයන්ගෙන්, වැසි වනාන්තරවලින් එම දූපත් පිරී ඇති අතර, එම දූපත් වටා මුහුදේ අලංකාර කොරල් පර දකින්න ලැබේ. ටොංගා දූපත් සංචාරක ආකර්ෂණයක් වන්නේ මේ නිසාය. ටොංගා ජනගහනය 1,05,697 කි. ටොංගා දූපත් සමූහයේ ප‍්‍රධාන දූපත වන්නේ ටොංගාටාපු ය. අගනුවර නුකුවලෝෆා ය. නිවාඩු නිකේතවලන් පිරුණු නුකුවලෝෆා බටහිර සංචාරකයන් අතරේ ප‍්‍රකටය. ටොංගා දූපත් පාලනය වන්නේ රජ කෙනකු යටතේය. 2012 වසරේ සිට ටොංගා රජු ලෙස කටයුතු කරන්නේ 62 හැවිරිදි 6 වැනි ටුපෝ ය.

‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’ ගිනි කන්ද ඇත්තේ ටොංගා දුපත් සමූහයට අයත් 'ෆොනුෆෝඕ' සිට කිලෝ මීටර් 30 ක් පමණ දුරින්, මීටර් 200 ක් මුහුදු මට්ටමින් උසට නැගී පිහිටන කුඩා යමහල් දූපත් දෙකක් මැදය. ‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’ ගිනි කන්දේ මීටර් 100 ක කොටසක් මුහුදු මට්ටමට ඉහළින් දිස්වෙයි. දුම් වලා පිටවනු දකින්න ලැබෙන්නේ මෙම කොටසිනි. හුන්ගා ටොංගා හුන්ගා හාපායි ගිනි කන්ද දෙපැත්තේ ඇති කුඩා යමහල් දූපත් මුහුදු මට්ටමින් ඉහළට එසවී නිර්මාණය වූයේ ද මුහුද යට සිදුවුණු ගිනි කඳු පිපිරීම් සහ හැල හැප්පීම් නිසාය. විද්‍යාඥයන් විසින් මෙම පුංචි යමහල් දූපත් සක්‍රීය යමහල් දූපත් ලෙස හැඳින්වීමට පටන් ගනු ලැබුවේ 2014 වසරේ සිටය. 2015 දී ‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’ ගිනි කන්ද බිහිසුණු ලෙස පුපුරා ගියේය. (එම පිපිරුම පසුගිය ජනවාරි 14 වැනිදා පිපිරුමට සමාන කළ නොහැක.) එම අවස්ථාවේදී ද සාගරය කැලැඹී සුළු සුනාමි තත්ත්වයක් නිර්මාණය විය. ‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’ යළි පුපුරා යෑම ආරම්භ කළේ පසුගිය දෙසැම්බරයේය.

පසුගිය 2021 දෙසැම්බර් 20 වැනිදා ගිනි කන්ද සක‍්‍රිය වීම ආරම්භ විය. දුම් වලා පිට කරමින් කුඩා පිපිරීම් සිදුවිය. ගිනි කන්දෙන් නැගුණු දුම්වලා කිලෝ මීටර් 70 ක් ඈතින් පිහිටි ටොංගා අගනුවර නුකුවලෝෆා පවා දකින්න ලැබුණි. ‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’ සක්‍රීය වී ඇති බැවින් ඒ ගැන අවධානයෙන් පසුවන්නැයි නවසීලන්තයේ වෙලිංටන් නුවර ‘ගිනිකඳු දුමාර නිරීක්ෂණ ඒකකය’ ගුවන් යානාවලට අනතුරු අඟවා තිබුණි. 2021 දෙසැම්බර් 20 වැනිදා ‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’ ගිනි කන්දේ පිපිරීම් සිදුවෙද්දී එම හඩ පැය කිලෝ මීටර් 2,000 ක් දුරින් පිහිටි නවසීලන්තයට අසන්න ලැබුණු බව ද වාර්තා වේ. මෙම පිපිරීම් සියල්ල මහා පිපිරීමක පෙරනිමිනි විය. පසුගිය ජනවාරි 14 වැනිදා ‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’ යළි  පිපිරීමට පටන් ගත්තේය. 15 වැනිදා මහ හඩ නගමින් ගිනි කන්ද පුපුරා ගියේ මහා සාගරය කලඹවමිනි. සුනාමි රළ හටගත්තේ ඒ අනුවය.

ගිනි කන්ද පුපුරා යද්දී ආසන්නයේ පිහිටි ටොංගා දූපත් එම පිපිරීමෙන් දෙදරා ගියේ ටොංගා වැසියන් මහත් සේ බියට පත් කරමිනි. බලධාරීන් සුනාමි අනතුරු නිකුත් කරද්දී ඒ බිය දෙගුණ තෙගුණ විය. ටොංගා වැසියෝ වෙරළබඩ ප්‍රදේශවලින් උස් බිම් වෙත දිව යන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. මිනිත්තු 8 ක් පමණ ගත වෙද්දී අඩි 3 ක් 4 ක් උස සුනාමි රළ ටොංගා දූපත් වෙත කඩා වැදුණි. නුකුවලෝෆා අගනුවර නිවාස සහ ගොඩනැගිලිවලට හානි සිදුවිය. දේවස්ථානයක් ද විනාශ විය. සුනාමි රළ පහරට හසුවුණු සිය බලු සුරතලුන් බේරා ගැනීමට උත්සහ ටොංගා නිවහන කරගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සුනාමි රළ පහරට හසුවී ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා විය. ඊට අමතරව තවත් දෙදෙනකු ජීවතක්ෂයට පත්වුණු බව ද දැන ගන්න ලැබුණි.

සුනාමියක් යනු මුහුදේ ඇති වන කැලැඹිල්ලක් හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට කඩා වැදීමය. සරලව කීවොත්, මුහුද ගොඩ ගැලීමය. ‘සුනාමි’ යන වදන ශ්‍රීලංකාවේ අපට ආගන්තුක නොවෙයි. අප සුනාමි ගැන දැනගත්තේ 2004 වසරේ අප රට මුහුණ දුන් සුනාමි ව්‍යවසනයත් සමඟය. 2004 වසරේ එම බිහිසුණු සුනාමියට නිර්මාණය වූයේ ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ සිදුවුණු අති ප‍්‍රබල භූමි කම්පාවකි. සුනාමියක් හට ගැනීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ මුහුදේ භූමිකම්පාය. ඊට අමතරව මුහුදු පතුළේ ගිනි කඳු පිපිරීමකින් හෝ අයිත් තට්ටු දියවී මුහුදට කඩා වැටීමෙන් ද සුනාමි නිර්මාණය වෙයි.

‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’ කඳු පිපිරීමෙන් හටගත් සුනාමි රළ ටොංගා දූපත් රාජ්‍යයට ඔබ්බෙන් පැසිෆික් සාගර කලාපයේ පිහිටා ඇති ෆීජි, සමෝවා, වනවාටු ආදී කුඩා දූපත් රාජ්‍යයන්ට කඩා වැදුණි. එසේ වූයේ එම දූපත්වල වැසියන්ට සුනාමි අනතුරු නිකුත්වී මිනිත්තු කීපයක් ගත වෙද්දීය. එහෙයින් ජීවිත හානි වාර්තා වන්නේ නැත. ෆීජි අගනුවර වන්නේ සූවාය. සූවා වැසියෝ කලබලයෙන් වෙරළාශිත ප්‍රදේශවලින් රට අභ්‍යන්තරයේ උස් ස්ථාන වෙත දිව යන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු සෙසු රටවල් වන්නේ නවසීලන්තය, ජපානය, පේරු, ඇමෙරිකාව සහ කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයටය. ජපානයේ අයිවාටේ ප්‍රාන්තයට මීටර් දෙකක් පමණ උස සුනාමි රළ කඩා වැදුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ටොංගා දූපත් රාජ්‍යයට සහ ඒ අවට දූපත්වලට සුනාමියෙන් සිදුවුණු හානිය සොයා බැලීමට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ගුවන් යානා යෙදවිණි. ඊට අමතරව සහන සේවා කටයුතු සඳහා හමුදාව යෙදවිණි. මේ වනවිට ගිනි කන්දෙන් විහිදෙන අළුවලින් ටොංගා දූපත් බොහොමයක් වැසී ගොස් ඇතැයි ද පැවැසෙයි.  ටොංගා වැසියන්ට හැකි සෑම සහයෝගයක්ම දෙන බව පැවසූ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මෙන්ම නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා ඒර්ඩන් පොරොන්දු වී ඇත.

කෙසේ නමුත්, පසුගිය 18 වැනිදා වනවිටත් ටොංගා දූපත් රාජ්‍යය සමග ජාත්‍යන්තර සන්නිවේදන සබඳතා නිසි ලෙස පවත්වා ගැනීමට නොහැකි වී තිබුණි. ඒ ගිනි කඳු පිපිරීමත් සමඟ හටගත් කම්පන තරංග හේතුවෙන් ටොංගා දිවයින් සමග මුහුද යටින් සම්බන්ධ වූ සබ්මැරීන කේබල විසන්ධි වි ගිය බැවිනි. කේබලය යළි පිළිසකර කිරීමට මාසයක් පමණ ගත වේවි යැයි පැවැසෙයි. ගිනි කන්දෙන් විහිදෙන අළුවලින් ගුවන් ධාවන පථය වැසී යාම නිසා නවසීලන්තය විසින් එහි යැවූ ආධාර රැගත් ගුවන් යානා ගොඩබැස්සවීමට නොහැකි වූ බව ද පැවැසිණි.

ඊට අමතරව විෂ අළු නිසාත් සුනාමි රළ ගොඩබිමට ආ නිසාත් ටොංගා දූපත් රාජ්‍යයේ ජලය දූෂණය වූ බවත් ටොංගා වැසියන්ට බීමට පිරිසුදු ජලය නොමැති බවත් වාර්තා විය. සුනාමියෙන් ටොංගා දූපත් රාජ්‍යයට සම්පූර්ණයෙන් සිදුවූ හානිය මෙතෙක් මුළුමනින්ම අනාවරණ වී නොමැති නමුත්, ටොංගා වැසියන් 80,000ක් පමණ පීඩාවට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා පැවැසීය.

(ඩේලිමේල්)


RECOMMEND POSTS