‘භාරත් ජෝදෝ’ පාද යාත්‍රාව



කොංග්‍රස් පක්ෂ යොවුන් සේනාංකයේ නායක, 31 හැවිරිදි සත්‍යම් ඨාකූර්, ‘භාරත් ජෝදෝ’ පාද යාත්‍රාව සමඟ එක්වූයේ, තිරුවනන්තපුරම් පසු කර යද්දීය. සත්‍යම් ඨාකූර්, පාද යාත්‍රාවට එක් වූයේ පසුපසිනි. එය ද එක්තරා ආකාරයනට අපූරු අත්දැකීමක් විය. පාද යාත්‍රාවට සහාය දක්වමින්, කොතරම් පිරිසක්උනන්දුවෙන් මඟ දෙපස රැස්වී සිටියේදැයි සත්‍යම්ට පැහැදිලිව දැකගත හැකි විය. සත්‍යම් ඨාකූර්, මහාරාෂ්ට්‍රයේ පල්ඝාර් දිස්ත්‍රික්ක යොවුන් සේනාංක නායකයාය.

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ දිගම පාද යාත්‍රාව යනුවෙන් කොංග්‍රස් පක්ෂය විසින් හඳුන්වා දෙනු ලැබූ පාද යාත්‍රාව සමඟ සත්‍යම් එක් වූයේ බොහොම කැමැත්තෙන් සහ ආසාවෙනි. දියපට්ටා නැගී තුවාල වුණු දෙපා සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගිය සත්‍යම්ට එම රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ලැබුණේ කරුණාව සහ සෙනෙහස මුසු ගෞරවයකි. එසේ සෙනෙහස සහ ගෞරවය හිමිවූයේ ඔහු පාද යාත්‍රාවට එක් වූ අයකු වූ බැවිනි. ‘පාද යාත්‍රාවට එක් වී, දියපට්ටා නැගෙන තුරු පයින් ගමන් කිරීම පහසු දෙයක් නොවෙයි ඒක වේදනාකාරීයි වෙහෙසකරයි ඒත් අභිමානයත් සමඟ ඒ වේදනාව යටපත් වෙනවා. මා පාද යාත්‍රාවට එක් වූයේ එසේ කළ යුතු නිසා. එය මගේ වගකීම නිසා’ යැයි සත්‍යම් කියයි.

‘මා පාද යාත්‍රාවට එක්වූයේ පසුපසින්. නායකයන් සියලු දෙනා සිටියේ ඉදිරියේ මා සිටියේ පැය එකහමාරක් පමණ පසුපසින්. පාද යාත්‍රාවේ අවසානය දක්වාත්, අවසන් පාද යාත්‍රිකයා පැමිණෙන තුරුත්, ජනතාව මඟ දෙපස රැඳී සිටියා. මට එය දකින්න ලැබුණා. නිවෙස්වලින් කුරුම්ඹා අපට ලැබුණා. පලතුරු සහ තේ ලැබුණා. කකුල් තුවාල කරගෙන කොර ගසමින් අමාරුවෙන් යන පාද යාත්‍රිකයන්ට වෙහෙස නිවා ගන්න, අසුන් ගන්න අවට නිවෙස්වල වැසියන්ගේ කරුණාව අපට ලැබුණා. ඇවිදින්න අමාරු පාද යාත්‍රිකයන් රැගෙන යන්න නිවැසියන් ඉදිරිපත් වුණා. ඒත් අප විවේක ගැනීම ප්‍රතික්ෂේප කළා. අප පාද යාත්‍රාවට එක් වී සිටියේ ජනතාව වෙනුවෙන්. ඒක ආඩම්බරයක්.’ යැයි සත්‍යම් පැහැදිලි කරයි.

සත්‍යම් ඨාකූර්, ඇමෙරිකාවේ ගුවන් නියමුවකු ලෙස රැකියාව කළ අයෙකි. දැන් ඔහු යළි පල්ඝාර් දිස්ත්‍රික්කයේ ඔහුගේ උපන් ගම වෙත පැමිණ මහජන සේවය වෙනුවෙන් කැප වී සිටී. තමන් පාද යාත්‍රාව සමඟ එක් වූයේ, තමන් තම ජීවිත කාලයේ ලබන සුවිශේෂී අත්දැකීමක් නිසා බවය. පක්ෂ නායක රාහුල් ගාන්ධි සමඟ පාද යාත්‍රාවට එක් වීම තමන්ට ආඩම්බරයක් බව සත්‍යම් කියයි.

සත්‍යම් ඨාකූර්, රාහුල් ගාන්ධි සමඟ එක් වී, කන්‍යාකුමාරි සිට කාශ්මීර් දක්වා කිලෝ මීටර් 3,570 ක් දුර පාද යාත්‍රාවට සම්බන්ධ වුණු යොවුන් නායක නායිකාවන් 118 දෙනාගෙන් කෙනෙකි. පාද යාත්‍රාවට එක්වුණු බොහෝ දෙනා තරුණ තරුණියන්ය. ඔවුන් සියලු දෙනා 38 ට අඩුය. පාද යාත්‍රාව සමඟ එක්වුණු පිරිස අතරින් සියයට 30 ක් කාන්තාවන්ය.

පාද යාත්‍රාව සමඟ එක්වුණු බොහෝ දෙනා කොංග්‍රස් පක්ෂයේ ප්‍රකට ක්‍රියාකාරීන්ය. සමස්ත ඉන්දීය කොංග්‍රස් කමිටුවේ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු ප්‍රධානී කන්හයියා කුමාර් ද ඒ අතර විය. ඊට අමතරව, පාද යාත්‍රාවේ සංවිධාකයන් අතර සන්දීප් සිං සිටී. රාහුල් ගාන්ධිගේ නැගණිය මෙන්ම කොංග්‍රස් පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක ද වන ප්‍රියංකා ගාන්ධිගේ ප්‍රධාන ආධාරකරුවකු වන්නේ සන්දීප් ය. පාද යාත්‍රාව සමඟ එක් වුණු තමන් කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරිකයකු වන්නේ සම්රාත් කේෂාරි ජෙනා ය.

කොංග්‍රස් පක්ෂ යොවුන් සේනා නායකයකු වන36 හැවිරිදි ජෙනා, ඔඩිෂ්සා ප්‍රාන්තයේ, කෙන්ද්‍රාපරා නගරසභා සාමාජිකයෙකි. ‘පාද යාත්‍රාව සමඟ එක් වෙලා දින දෙකක් හෝ තුනක් එක දිගට පයින් යෑම ලේසි නැහැ. කකුල් රිදෙනවා. දියපට්ටා මතු වෙනවා. ඒත් මා යාත්‍රව සමඟ එතක් වී සිටින්නේ ඒක මට වටිනා නිසා. මට වැදගත් නිසා. මේක ඓතිහාසික පාද යාත්‍රාවක්. මා මේ ඇවිද යන්නේ මාගේ නායකයා (රාහුල් ගාන්ධි) සමඟයි. ඒක මට ආඩම්බරයක්. මඟදී ආපසු හැරෙන්න බැහැ. මා ආපසු හැරෙන්නේ නැහැ. පාද යාත්‍රාව අවසන් කරනවා.’ යැයි සම්රාත් ජෙනා කියයි.

රාජස්තානයේ, කොංග්‍රස් පක්ෂයේ, සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමේ නායිකාව වන්නේ 43 හැවිරිදි රූබී ඛාන් ය. තමන්ගේ කකුලේ නැගී ආ දියපට්ට තමන්ට හිමිවුණු පදක්කම් යැයි ඇය කියයි. තමන් නියෝජනය කරන සුළු ජාතීන් වෙනුවෙන් පාලක භාරතීය ජනතා පක්ෂයේ අවධානය යොමු වී නැති බැවින්, තමන් තම පක්ෂයේ පාද යාත්‍රාව සමඟ එක්වීම, තවත් එක් නිදහස් සටනක් යැයි රූබී ඛාන් පැහැදිලි කරයි. රූබී ඛාන් සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක පමණක් නොවෙයි; ඇය ලේඛිකාවක ද වන්නීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රබල භාරතීය ජනතා පක්ෂය හමුවේ මහ මැතිවරණ, ප්‍රාන්ත මැතිවරණ සහ අතුරු මැතිවරණ පරාජය වූ කොංග්‍රසය, භාරත් ජෝඩෝ පාද යාත්‍රාව ආරම්භ කළේ පසුගිය සැප්තැම්බරයේය. පාද යාත්‍රාව ආරම්භ කිරීමට සියල්ල සූදානම් වූයේ සැප්තැම්බරයේ නොව, ඔක්තෝබර් දෙවැනිදාය. කෙසේ නමුත් පාද යාත්‍රාවේ ආරම්භය සැප්තැම්බර් 7 වැනිදා තමිල්නාඩුයේ කණ්‍යාකුමාරි නගරයෙන් ඇරැඹිණි. ඉහළ යන උද්දමනය, විරැකියාව, ඉන්දීය තරුණ ප්‍රජාව මුහුණ දෙන ගැටලු, කාන්තාවන් මුහුණ දෙන ගැටලු ආදියට විසඳුම් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට පෙන්වා දෙමිනි. පාද යාත්‍රාවට ඉන්දීය කොංග්‍රසයේ තරුණ නායකයන් සහභාගී වීම එහි සාර්ථකත්වය මෙන්ම ශක්තිය ද පෙන්වීමකි.

52 හැවිරිදි, රාහුල් ගාන්ධි, ඔහුගේ වයසට හොඳ ජව සම්පන්න අයකු බවත්, වේගයෙන් ඇවිදීමට දක්ෂයකු බවත්, පාද යාත්‍රාවට එක් වී සිටින කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පවසති. රාහුල්ට ඕනෑ දිනකට කිලෝ මීටර් 25 ක් දුර ඇවිදින්නයි. ඒත් පාද යාත්‍රාව දිනකට කිලෝ මීටර් 20 කට සීමා වෙනවා. දිනපතා සුදු වතින් සැරැසුණු රාහුල් පාද යාත්‍රාවට එක් වන්නේ ඉතා උනන්දුවකිනි. පාද යාත්‍රාව සමඟ එක්වන කොංග්‍රස් ක්‍රියාකාරීන්ගේ ශක්තිය රාහුල්ය. පාද යාත්‍රාවට එක් වුණු රාහුල් ගාන්ධිට, කොංග්‍රස් පක්ෂ නායකයකු ලෙස තමිල්නාඩුවේ කණ්‍යාකුමාරි නගරයේදීත්, පසුව කේරළයේදීත් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඔහුට ජනතාව අතරට යෑමට අවස්ථාවක් ලැබුණි.

පාද යාත්‍රාව, රාහුල් ගාන්ධි යළි ජනප්‍රිය කරවීමේ අරමුණින්, සංවිධානය කරනු ලැබූවක් යැයි විපක්ෂයෙන් දිගින් දිගටම එල්ල වන විවේචන කොංග්‍රස් නායකයෝ තරයේ ප්‍රතික්ෂේප කරති. කොංග්‍රස් පක්ෂය තුළින්ම රාහුල්ට එල්ල වුණු චෝදනා අපමණය. මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒයවාට සහභාගී නොවීම සහ අවශ්‍යම අවස්ථාවේ පක්ෂයේ සහායට නොසිටීම ආදිය එම චෝදනාය. කෙසේ නමුත් අද රාහුල් පෙරැළියකට ලක් වෙමින් සිටී.

ඉදිරි මාස කිපය තිස්සේ රාහුල් පාද යාත්‍රාවට එක් වී ඇවිදිනු ඇත. ඒ, තමන් ජනතාව වෙනුවෙන් කැපවුණු ජනතා නායකයකු බව තහවුරු කරමිණි. තමන් පරාජය බාර නොගන්නා බවත්, තමන් ශක්තිමත් නායකයකු බවත් පෙන්වමිනි. “ගාන්ධි පවුල වෙනුවෙන් වැඩි අවධානයක් දීම වරදක් යැයි මා සිතන්නේ නැහැ. ගාන්ධි පවුල සහ රටේ දේශපාලනය අතරේ පවතින්නේ එසේ මෙසේ බැඳීමක් නොවෙයි. පක්ෂයත් රටත් එකට තබා ගන්න ඔවුන්ට හැකිවුණා.” යැයි තමිල්නාඩු මන්ත්‍රීවරයකු වන එස්. ජෝතීමානී පවසයි.

කොංග්‍රස් පාද යාත්‍රාව, ගාන්ධි පවුල රැක ගැනීමට සංවිධානය කරනු ලැබූවක් යැයි පාලක භාරතීය ජනතා පක්ෂයෙන් එල්ල වන චෝදනා ජෝතීමානී තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙතෙක් පාද යාත්‍රාව ආ ගමන් මඟ සාර්ථක බව පෙනෙයි. කොංග්‍රස් පක්ෂයට පාද යාත්‍රාව ශක්තියක් වී ඇතැයි පෙනෙයි. උතුරු දෙසට ඇදෙන පාද යාත්‍රාව හරහා කොංග්‍රස් පක්ෂයට නව ජවයක් ලැබෙමින් පවතින බව සත්‍යයකි.

කොංග්‍රස් පක්ෂ යොවුන් සේනාංකය ඔවුන්ගේ දායකත්වය වැඩි වශයෙන් පාද යාත්‍රාවට ලබා දුන්නත්, එය පසුපස සිටින්නේ කොංග්‍රස් පක්ෂ දේශපාලන යෝධයන් කීප දෙනෙකි. රාජස්තාන මහ ඇමැති අශෝක් ගෙල්හොත්, පක්ෂයේ පැරණිම සාමාජිකයකු වන දිග්විජය සිං, ජයිරාම් රමේෂ්, කොංග්‍රස් පක්ෂ මහ ලේකම්වරයකු වන වී.කේ වෙනුගපාල් ඒ අතර සිටිති. පාද යාත්‍රාවට දේශපාලනික තල්ලුව ලබා දුන්නේ ගෙල්හොත්ය.  දිග්විජය සිං පාද යාත්‍රා සම්බන්ධයෙන් මනා පලපුරුද්දක් ඇති අයෙකි.ර 2017 -18 තෙක් කාලයේ කිලෝ මීටර් 3,300 ක් දුර නර්මදා පරික්‍රම පාද යාත්‍රාවට නායකත්ව දුන්නේ දිග්විජය සිං බව කොංග්‍රස් පක්ෂ සාමාජිකයන් අදත් සිහිපත් කරන්නේ ගෞරවයෙනි. ජයිරාම් රමේෂ්, පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාය. පාද යාත්‍රාවට නිසි මාධ්‍ය අනුග්‍රහය ලබා දීම සම්බන්ධයෙන් වතකීම කරපිට පටවා ගෙන සිටින්නේ ජයිරාම් රමේෂ් ය. කොංග්‍රස් සාමාජිකයන් සංවිධානය කර ගනිමින්, පාද යාත්‍රාව ආරම්භ කිරීමට කටයුතු කළ ප්‍රබලයකු ලෙස වී.කේ වෙනුගපාල් ද සැලකෙයි.

දිගින් දිගටම සිදුවුණු මැතිවරණ පරාජය හමුවේ, අධෛර්යයට පත්වුණු කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් අතරේත්, පක්ෂ සංවිධායකයන් අතරේත් පක්ෂය කෙරෙහි උනන්දුවක් නිර්මාණය වෙමින් පවතී. පක්ෂ නායකයා ජනතාව වෙනුවෙන් වීදි බැස සිටින්නේ නම්, ඕනෑම මොහොතක එම නායකයා වෙනුවෙන් ඉදිරිපත් වීමට පක්ෂ සාමාජිකයන් සූදානම් බව පැහැදිලිය. ‘අපට විශ්වාසයි පාද යාත්‍රාව හිතනවාටත් වඩා සාර්ථක වේවි. එය ඉන්දියාවේ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට හැකිවේවි.’ යැයි කොංග්‍රස් නායකයෝ පවසති.

‘ද වීක්’ සගරාව ඇසුරිනි


RECOMMEND POSTS