සිංගප්පූරවේ නව කළමනාකරණ සැලැස්මක්



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් සේ සලකා, දෛනික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යෑමට, නව කළමනාකරණ සැලැස්මක් සකස් කර, එය ජනතාවට ඉදිරිපත් කිරීමට, සිංගප්පූරු බලධාරීහු තීරණය කළහ. 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් ලෝකය දැඩි ලෙස පීඩාවට පත් වී, හෙම්බත් වී සිටිද්දී, සිංගප්පූරු බලධාරීන් ඉදිරිපත් කළ මෙම නව සැලැස්ම කාගේත් මවිතයට හේතුවක් විය.

කොවිඩ් 19 වසංගතය කිසිදා ලොවෙන් තුරන් නොවනු ඇති බැවින්, කළ යුතු වන්නේ ඊට අනුගත වෙමින් ජීවත් වීම යැයි 'නව සාමාන්‍යකරණයක්' සඳහා නව මාර්ගෝපදේශ ද හඳුන්වා දෙමින් සිංගප්පූරු 'කොවිඩ් 19' කාර්ය සාධක බළකාය මෙම කළමනාකරණ සැලැස්ම ජනතාවට ඉදිරිපත් කළේය. ඒ අනුව මින් ඉදිරියට සිංගප්පූරුවේ නිරෝධායන ක්‍රියාවලියක් සිදු වන්නේ නැත. කාර්යාල, ව්‍යාපාර ඇතුළු සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙයි. ජනතාවට කිසිදු බාධාවකික් තොරව ඒකරාශී වීමට ද අවස්ථාව ලැබේ. ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් හෝ හුදෙකලා කිරීමක් සිදුවන්නේ ද නැත. දෛනිකව ආසාදිතයන් සහ මරණ වාර්තා කරන්නේ ද නැත. මේ වනවිටත් ඉතාමත් සාර්ථක ආකාරයට ආරම්භ කර ඇති 'කොවිඩ් 19' එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව වේගයෙන් ක්‍රියාත්මක කිරීම දිගටම සිදුවන බවත්, ආසාදිතයන් සොයා සිදු කරන පරීක්ෂණ, ලබා දෙන ප්‍රතිකාර කිසිදු අඩුවක් නොමැතිව දිගටම සිදුවනු ඇතැයි පැවැසෙයි.

සිංගප්පූරු වෙළෙඳ අමාත්‍ය ගැම් කිම් යොං, මුදල් අමාත්‍ය ලොරෙන්ස් වොංග් සහ සෞඛ්‍ය අමාත්‍ය ඔන්ග් යේ කුන්ග් එක් වී, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම නව මාර්ගෝපදේශ සකස් කළ අතර, අමාත්‍යවරුන් තිදෙනා ඇතුළු සිංගප්පූරු කොරෝනා කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයෝ එක් වී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළහ. 'වසංගතය ආරම්භ වෙලා මාස 18 කට වැඩියි. සිංගප්පූරු වැසියන් හැටියට අප කවුරුත් වයිරස වසංගතයට එරෙහි සටනින් දැඩි ලෙස හෙම්බත් වී සිටිනවා. කවුරුත් අහන්නේ එක ප්‍රශ්නයයි. මේ වසංගතය අවසන් වෙන්නේ කවදාද යන්නයි. අවාසනාවකට කොවිඩ් 19 වසංගතය අවසන් වෙන්නේ නැහැ. අවසන් වේවි යැයි බලාපොරොත්තු තබා ගන්නත් බැහැ. අප කළ යුත්තේ නව සාමාන්‍යකරණයට අනුව ජීවත් වීමයි. අප නව කළමනාකරණ සැලැස්මක් සකස් කළේ ඒ නිසයි. කෙසේ නමුත් මේ නව සාමාන්‍යකරණයට අනුව ජීවත්වෙන්න නම්, සිංගප්පූරු වැසියන් හැමෝම වගකීමෙන් යුතුව එකා මෙන් කටයුතු කරන්න ඕනෑ' යැයි සිංගප්පූරු සෞඛ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

සිංගප්පූරුව තුළ සිංගප්පූරු වැසියන් නිරෝධායනයට යොමු නොකළත්, සිංගප්පූරුවේ දේශසීමා ආරක්ෂාව තර කරමින්, එරටට පැමිණෙන විදේශිකයන් පරීක්ෂාවට ලක් කෙරේ. ඒ, 'ඩෙල්ටා' වැනි බිහිසුණු වයිරස විකෘති ප්‍රභේද කල්තියා හඳුනා ගැනීම සහ එවැනි ප්‍රභේද රටට ඇතුළුවීම වළක්වා ගැනීමටය. 'කොවිඩ් 19' වයිරස වසංගතයේ බිහිසුණු විකෘති ප්‍රභේදය ලෙස සැලකෙන්නේ 'ඩෙල්ටා' ප්‍රභේදයයි. ඉන්දියාවෙන් ආරම්භ වුණු මෙම දෙමුහුන් විකෘතිය මේ වනවිට රටවල් 85 කට වඩා වැඩි ගණනකට පැතිර ගොස් අවසන්ය.

නව කළමනාකරණ සැලැස්මට අනුව, පී.සී.ආර් පරීක්ෂණ හරහා ප්‍රතිඵල ලබා ගැනීමට පැය 48 ක් පමණ ගතවන බැවින්, ආසාදිතයන් ඉක්මනින් හඳුනා ගැනීමේ නව ක්‍රමවේද හඳුන්වා දෙන බවත් ගුවන්තොටුපොළ, වරාය, කාර්යාල ගොඩනැගිලි, පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන, සුපිරි වෙළෙඳ සංකීර්ණ, රෝහල් ආදියේ ආසාදිතයන් සෙවීමේ පහසු මෙන්ම වේගවත් පරීක්ෂණ ක්‍රියාවට නංවන බව පැවැත් වූ මාධ්‍ය හමුවේ දී සිංගප්පූරු වෙළෙඳ අමාත්‍ය ගැම් කිම් යොං පෙන්වා දුන්නේය.  කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරන සිංගප්පූරු වැසියන්ට, ඔවුන්ගේ සංකූලතා අනුව, අවශ්‍ය ඖෂධ ලබා දීම සිදු කරන බවත්, අවශ්‍ය ඖෂධ සෑම රෝහලකටම ලබා දීමට කටයුතු කරන බව ද මාධ්‍ය හමුවේදී පැහැදිලි කෙරුණි.

මෙම නව කළමනාකරණ සැලැස්මට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැං ලූන්ගේ අනුමැතිය ද හිමිවී ඇත. 'කොවිඩ් 19' වසංගතයට මුහුණ දෙමින් සාර්ථකව එය පාලනය කරගත් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුම් සිංගප්පූරුවට හිමිවී තිබේ. මේ වනවිට සිංගප්පූරුවෙන් වාර්තා වී ඇති සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 62,544 ක් වන අතර සමස්ත මරණ වාර්තා වන්නේ 36 ක් ලෙසය. සිංගප්පූරුවේ මිලියන 5 කට එන්නත් ලබා දී ඇති අතර, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති ගණන මිලියන 2 කි. ප්‍රතිශතයක් වශයෙන් සිංගප්පූරුවේ සියයට 36.1 ක් සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් යැයි සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

සිංගප්පූරු සෞඛ්‍ය අංශ මැදිහත් වී එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය 2020 දෙසැම්බර් 30 වැනිදාය. ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත සහ 'මොඩර්නා' යන ප්‍රතිශක්තිකරණ එන්නත සිංගප්පූරු වැසියන්ට ලබා දීම සිදුවෙයි. පෞද්ගලික රෝහල් හරහා 'සිනොවැක්' එන්නත ද ලබා ගැනීමට හැකිය. සිංගප්පූරුවේ අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන් ලබා දෙන්නේ 'ෆයිසර් එන්නතය.

ස්ට්‍රේට් ටයිම්ස් වාර්තාවක් ඇසුරිනි


RECOMMEND POSTS