සවුත් පාර්ස් සහ නෝත් ඩෝම්

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට පහර දීමටත්, ඉරානය පෙරළා ඊශ්‍රායලයටත්, අසල්වැසි කලාපීය රටවල ඇමෙරිකන් හමුදා කඳවුරු සහ ඇමෙරිකන් ඉලක්කවලට පහර දීමටත් පටන්ගෙන දින 20 ක් ගත වෙද්දී යුද්ධය නව මාවතකට පිවිස ඇත. ඒ ඉකුත් 18 වැනිදා ඉරානයේ සවුත් පාර්ස් වෙත ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාර එල්ල වීමත්, ඊට ප්‍රතිචාර දක්වමින්, ඉරානය කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමගය.
සවුත් පාර්ස් සහ නෝත් ඩෝම් යනු ලොව පවතින විශාලතම ස්වාභාවික වායු (ගෑස්) නිධිය වන අතර, මෙය පර්සියානු ගල්ෆ් කලාපයේ ඉරානය සහ කටාර් රාජ්‍යය අතර මුහුදු සීමාවේ පිහිටා ඇත. මෙම දැවැන්ත බලශක්ති කලාපය ඉරානය සහ කටාරය අතරේ බෙදී යයි. ඊශ්‍රායලය පහර දුන් ඉරානයට අයත් කොටස සවුත් පාර්ස් වන අතර කටාර් රාජ්‍යයට අයත් කොටස නෝර්ත් ඩෝම් ලෙස හැඳින්වෙයි. සවුත් පාර්ස් කොටසේ ස්වාභාවික වායු (ගෑස්) ඝන අඩි ට්‍රිලියන 1,800 ක් පවතී. වසර 13 ක් යනතුරු මුළු ලෝකයටම ස්වාභාවික වායු (ගෑස්) සැපයීම සවුත් පාර්ස් හරහා කළ හැකිය. සවුත් පාර්ස් වෙත මිසයිල ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී ඉරානය ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඒ ගැන චෝදනා කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් කටාර් රාජ්‍යයට අයත් නෝර්ත් ඩෝම් කොටසේ ඇති රාස් ලෆාන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ප්‍රතිඥා දුන්නේය. ඒ අනුව, ඉරානය රාස් ලෆාන් වෙත මිසයිල ප්‍රහාර එල්ල කළේය.
සවුත් පාර්ස් සහ නෝත් ඩෝම් සමස්ත කලාපය වර්ග කිලෝමීටර් 9,700ක පමණ වපසරියකින් යුක්තය. එයින් ද වර්ග කිලෝමීටර් 3,700ක් ඉරාන මුහුදු සීමාවේ පිහිටා ඇත. භූ දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් මෙම නිධිය ඉරානයට ඉතා වැදගත් වෙයි. ඉරානයේ දේශීය බලශක්ති අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ද මෙම නිධිය (සවුත් පරාස්) මගිනි. 1990 දශකයේ අගභාගයේදී මෙහි කැණීම් කටයුතු ආරම්භ වූ අතර, අදියර කිහිපයක් ඔස්සේ එහි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට ඉරාන රජය පියවර ගත්තේය. මෙහි පවතින වායු සංචිත ප්‍රමාණය ඝන මීටර් ට්‍රිලියන 14ක් පමණ වන බවත්, ඊට අමතරව බොරතෙල් බැරල් බිලියන 18ක් පමණ අඩංගු වන බවත් ගණන් බලා ඇත. මෙම වායු නිධියෙන් උපරිම ඵල ලබා ගැනීම සඳහා ඉරානය පර්සියානු ගල්ෆ් වෙරළ තීරයේ අසලූයේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත කාර්මික කලාපයක් ස්ථාපනය කර ඇත. එහිදී නිධියෙන් ලබා ගන්නා වායු (ගෑස්) පිරිපහදු කිරීම සිදුවෙයි. එල්ඒන්ජී හෙවත් ද්‍රවීකෘත ස්වාභාවික වායු නිෂ්පාදනය සිදුවෙයි. පෙට්රෝ රසායනික නිෂ්පාදන සිදු කෙරෙයි. කෙසේ නමුත්, ඇමෙරිකාව සහ යුරෝපය ඇතුළු බටහිර රටවල් ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විදේශීය ආයෝජන ලබා ගැනීමේදී ඉරානය විවිධ අභියෝගවලට මුහුණ දී ඇත. ගෝලීය බලශක්ති වෙළඳපොළේ ඉරානය සතු බලය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ සවුත් පාර්ස් නිධියයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර දේශපාලන වාතාවරණය හමුවේ, බලශක්ති සැපයුම පවත්වාගෙන යෑම සහ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා මෙම වායු නිධියෙන් ලැබෙන දායකත්වය මිල කළ නොහැකිය. කලාපීය බලවතුන් අතර පවතින තරඟකාරීත්වය හමුවේ වුවද, ඉරානය සිය බලශක්ති ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට මෙම ස්වභාවික සම්පත උපරිමයෙන් භාවිතයට ගනී.
ඉරානයෙන් ප්‍රහාර එල්ල වුණු රාස් ලෆාන් යනු ලොව විශාලතම සහ වැදගත්ම බලශක්ති අපනයන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන කාර්මික නගරයයි. දෝහා නගරයට කිලෝමීටර් 80ක් පමණ උතුරින් පිහිටි මෙම වෙරළබඩ කලාපය, කටාරයේ ආර්ථිකයේ හදවත යැයි කීවොත් එය නිවැරදිය. විශේෂයෙන්ම ලොව විශාලතම ස්වභාවික වායු නිධිය වන, නෝර්ත් ඩෝම් නිධියෙන් ලබාගන්නා වායු (ගෑස්) පිරිපහදු කිරීම සහ අපනයනය කිරීම සඳහා වූ ප්‍රධාන ද්වාරය වන්නේ මෙයයි. 1990 දශකයේ අගභාගයේදී මෙහි මෙහෙයුම් ආරම්භ වූ අතර, අද වන විට එය ලොව ද්‍රවීකෘත ස්වාභාවික වායු (එල්එන්ජී) නිෂ්පාදනයේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. මෙම කාර්මික නගරය තුළ, ලොව විශාලතම ‘ගෑස් සිට ද්‍රව’ දක්වා පිරිපහදු කටයුතු සිදු කෙරෙන පිරිපහදු මධ්‍යස්ථාන පිහිටා ඇත. පර්ල් ජී.ටී.එල් වැනි දැවැන්ත ව්‍යාපෘති හරහා ස්වභාවික වායු උසස් තත්ත්වයේ දියර ඉන්ධන බවට පත් කිරීම මෙහිදී සිදුවෙයි. මෙහි ඇති වරාය සංකීර්ණය, ලොව විශාලතම කෘත්‍රිම වරායන්ගෙන් එකක් වන අතර, එමගින් දිනකට ද්‍රවීකෘත ස්වාභාවික වායු මෙට්‍රික් ටොන් මිලියන ගණනක් ලොව පුරා විසිරී ඇති රටවලට ප්‍රවාහනය කිරීමට පහසුකම් සලසා ඇත. කටාර් එනර්ජි (බලශක්ති) සමාගම මගින් පාලනය වන මෙම කලාපය, තාක්ෂණික අතින් ඉතා දියුණු යටිතල පහසුකම්වලින් සමන්විතය. ආර්ථිකමය වශයෙන් බලන කල, රාස් ලෆාන් යනු කටාරය ලොව ධනවත්ම රටක් බවට පත් කිරීමට මූලික වූ සාධකයයි. මෙහි සිදුවන දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන් ලෝකයේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට කටාරයට විශාල හැකියාවක් ලැබී ඇත. විශේෂයෙන්ම යුරෝපය සහ ආසියානු රටවල් තම බලශක්ති අවශ්‍යතා සඳහා රාස් ලෆාන් වෙතින් අපනයනය කරන වායු මත දැඩි ලෙස රඳා පවතී. කාර්මික කටයුතුවලට අමතරව, මෙහි සේවය කරන දහස් සංඛ්‍යාත සේවකයින් සඳහා අවශ්‍ය නේවාසික පහසුකම්, විදුලි බලය සහ ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන ද මෙම පරිශ්‍රය තුළම ස්ථාපනය කර ඇත. ගෝලීය භූ දේශපාලනය තුළ ද රාස් ලෆාන් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී. පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින දේශපාලන අස්ථාවරත්වයන් හමුවේ වුවද, ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළට බාධාවකින් තොරව සැපයුම් ලබා දීමට මෙම මධ්‍යස්ථානය හැකි විය. කටාරයේ 2030 ජාතික දැක්ම යටතේ රාස් ලෆාන් තවදුරටත් නවීකරණය කිරීමටත්, එහි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමටත් පියවර ගනිමින් පවතී. මෙය හුදෙක් කාර්මික නගරයක් පමණක් නොව, කටාර් රාජ්‍යයේ ගෝලීය බලය විදහා දක්වන ප්‍රධාන සංකේතයකි.
රාස් ලෆාන් බලශක්ති අපනයන මධ්‍යස්ථානයේ පිරිපහදුවලට පහර දීමෙන් පසු ඉරානය අසල්වැසි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අල් හොසන් ගෑස් වැඩබිමේ පිරිපහදුවලටත්, සෞදියේ ප්‍රධාන පිරිපහදුවලටත් පහර දෙන බවට අනතුරු ඇඟවීය. ඇමෙරිකන් හමුදා කඳවුරු බොහොමයක් ඇත්තේ කටාරයේ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සහ සෞදියේය. රාස් ලෆාන් බලශක්ති අපනයන මධ්‍යස්ථානයේ පිරිපහදුවලට ඉරානයෙන් එල්ල වුණු ප්‍රහාරය දරුණු එකක් විය. සිදුවුණු හානිය අතිමහත්ය. එහෙත් ජීවිත හානි කිසිවක් සිදු නොවිණි. ඒ, ඉරානය පහර දීම් කළේ පෙර දැනුම්දීමකින් පසුව වීමය. මිසයිල ප්‍රහාර හේතුවෙන් මධ්‍යස්ථානයේ ස්ථාන දෙකක හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුවිය.
ඉරානයෙන් අසල්වැසි කලාපීය රටවලට දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල වීම එම රටවලට හිසරදයක් වී ඇත. කටාර් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉරානය කටාර් රාජ්‍යයට විශාල තර්ජනයක් වී ඇති බවය. කටාරයේ සිටින ඉරාන තානාපතිවරයා ඇතුළු සියලුම ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වහාම කටාරයෙන් පිටවී යන්නැයි කටාර් රජය නියෝග කළේය. කලාපීය බලශක්ති මර්මස්ථාන මේ අයුරින් යුද්ධයේ ඉලක්ක වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේය. ඉරානයේ සවුත් පරාස් වෙත එල්ල කළ ප්‍රහාරයට ඇමෙරිකාවේ සම්බන්ධයක් නොමැති බවත්, එසේ ප්‍රහාරයක් එල්ල වන බව තමන් දැන නොසිටි බවත් ට්‍රම්ප් අවධාරණය කළේය. ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායල, ඔවුන්ගේ අභිමතය පරිදි බවත් ට්‍රම්ප් පෙන්වා දුන්නේය. එපමණක් නොව, මින් ඉදිරියට ඉරානයේ ගෑස් නිධි සහ ගෑස් බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ද ට්‍රම්ප් ඊශ්‍රායලයට පැවැසීය. ‘කටාරය ඇමෙරිකාවේ අවංක මිතුරෙක්. මේ ගැටුමේ දී කටාරය අහිංසකයි. ඉරානය කටාරයේ රාස් ලෆාන් කාර්මික නගරයට පහර දීම මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. කෙසේ නමුත් රාස් ලෆාන් ප්‍රහාරය සඳහා ඉරානය පෙලඹුණේ ඊශ්‍රායලය පළමුවෙන් ඉරානයට එල්ල කළ ප්‍රහාරය නිසයි.’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේය.
ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය, මුළුමහත් මැදපෙරදිග කලාපයම දැඩි අවිනිශ්චිතතාවකට ඇද දමමින්, යුද්ධයේ ගිනිදැල් අසල්වැසි අරාබි සහ මුස්ලිම් රටවල් කරා ද ව්‍යාප්ත වීම නැවැත්විය නොහැකි බවක් පෙනෙයි. මෙම තීරණාත්මක මොහොතේ, කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් සෞදි අරාබියේ රියාද් නුවරට රැස්වූ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඊජිප්තුව, ජෝර්දානය, තුර්කිය සහ පාකිස්තානය ඇතුළු රටවල් 12 ක විදේශ අමාත්‍යවරු ඉරානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. එම හමුවේ දී විදේශ අමාත්‍යවරුන් අවධාරණය කළේ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ 51 වන වගන්තියට අනුව තමන්ට එල්ල වන ප්‍රහාර හමුවේ ස්වයං ආරක්ෂාව සඳහා ක්‍රියා කිරීමට ඕනෑම රටකට අයිතියක් ඇති බවය. මෙම රටවල් එකා මෙන් ඉරානයට ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කළේය. අසල්වැසි රටවල් ඉලක්ක කර ගනිමින් එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර වහාම නවත්වන්න, අරාබි රටවල ක්‍රියාත්මක ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම්වලට ආධාර දීම නවත්වන්න සහ හෝමුස් සමුද්‍ර සන්ධිය සහ බබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කිරීමෙන් වළකින්න යනු එම ඉල්ලීම් තුනය.
සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සෞද් කුමරු ප්‍රකාශ කළේ ඉරානය සමඟ වසර තුනකට පෙර ඇති කරගත් සබඳතා දැන් සුණු විසුණු වී ඇති බවය. ඉරානයට මෙම ප්‍රහාර නැවැත්වීම සඳහා ලබාදෙන කාලය පිළිබඳව ඔහු නිශ්චිතව සඳහන් නොකළත්, අවශ්‍ය වුවහොත් තම රටේ පූර්ණ ශක්තිය යොදවා ආරක්ෂාව තහවුරු කරන බවට ඔහු අනතුරු ඇඟවීමට ද අමතක කළේ නැත. ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඇතුළු ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුම ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය යාමත් සමඟ, නව නායක මොජ්තාබා කමේනි යටතේ ඉරානය වඩාත් දැඩි ස්ථාවරයක සිටින බව පෙනේ. ඉරාන රජයේ දත්ත වලට අනුව මේ වන විට එරට වැසියන් 1,444 ක් මියගොස් ඇත. ඉරාන විප්ලවීය හමුදාව පවසා ඇත්තේ තමන් ‘නව යුද සමයකට’ අවතීර්ණ වී ඇති බවය
මේ වන විට ඇමෙරිකාව තුළින්ම ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධයක් ගොඩනැගෙමින් පවතී.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායලය සමග එක් වී ඉරානයට පහර දෙන්නේ, ඉරානයෙන් ඇමෙරිකාවට කිසිදු ආකාරයක තර්ජනයක් පෙන්නුම් කරන අවස්ථාවක නොවන බව ඇමෙරිකා ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් එරට සෙනෙට් මණ්ඩල බුද්ධි කමිටුව හමුවේ සාක්ෂි දෙමින් පැහැදිලි කළාය. ගැබාර්ඩ් මේ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි සෙනෙට් බුද්ධි කමිටුවට ඉදිරිපත් කළාය. පසුගිය 2025 වසරේ ජුනි මාසයේ ඊශ්‍රායලය සහ ඉරානය අතරේ දින 12 ක යුද්ධයක් පැවැතිණි. එම යුද්ධය අවසන් වූයේ ට්‍රම්ප් මැදිහත් වී, ඇමෙරිකන් ගුවන් හමුදාව මෙහෙයවමින් ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික බලාගාරවලට බෝම්බ හෙළීමෙන් පසුවය. එදා එල්ල කළ එම ප්‍රහාරවලින් න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වුණු අතර, ඇමෙරිකන් හමුදාව පෙන්වා දුන්නේ, එම ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සැලකිය යුතු මට්ටමකින් අඩපණ කළ බව එය වසර ගණනක් ආපස්සට ගිය බවත්ය. බුද්ධි අංශ ප්‍රධානී ගැබාර්ඩ්, මේ බව කමිටුව හමුවේ පැහැදිලි කළාය. ගැබාර්ඩ්ගේ සාක්ෂි ඉදිරිපත් කිරීමත් සමග ජනාධිපති ට්‍රම්ප් ඉරානයට පහර දීම සාධාරණීකරණය කරමින් කී සියලු ප්‍රකාශ අභියෝගයට ලක්වුණු බව පැහැදිලිය. ට්‍රම්ප්ට අනුව, තමන් තම මිතුරා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හවුල් කර ගනිමින් ඉරානයට පහර දෙන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන යටතේ පරමාණු බෝම්බ නිපදවීමට සූදානම් බව පෙන්වා දෙමිනි. ඉරානයේ මෙම න්‍යෂ්ටික අභිලාෂයන් හේතුවෙන් ඉරානය සමග සාකච්ඡා කිරීමෙන් පලක් නොවන බව ද ට්‍රම්ප් පෙන්වා දී තිබුණි. එසේ වුවත්, ගැබාර්ඩ් සාක්ෂි දෙමින් පැවැසුවේ, ඉකුත් පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව ඉරානයට පහර දීම ආරම්භ කරද්දී, ඉරානයෙන් ඇමෙරිකාවට කිසිදු ආකාරයක තර්ජනයක් නොතිබුණු බවය. ගැබාර්ඩ් ඒ බව තහවුරු කිරීමට බුද්ධි වාර්තා ද ඉදිරිපත් කළාය.
මේ අතර, පසුගිය දා ඇමෙරිකන් ප්‍රති ත්‍රස්ත ඒකකයේ ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස්වුණු ජෝ කෙන්ට්, මාධ්‍යවේදී කටර් ක්ලාක්සන් සමග රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් විය. එම සම්මුඛ සාකච්ඡාව මේ වනවිට ආන්දෝලනයක් ඇති කර තිබේ. ට්‍රම්ප්, ජෝ කෙන්ට් හදුන්වා දී ඇත්තේ ‘පාවා දෙන්නකු’ සහ ද්‍රෝහියකු ලෙසය. ටකර් කාල්සන් යනු දැඩි ට්‍රම්ප් හිතවාදියෙකි. ජෝ කෙන්ට්, ඔහුගේ රූපවාහිනී වැඩසටහනට එක් වූයේ, සත්‍යය නොබියව හෙළි කළ යුතු බව පවසමිනි. සම්මුඛ සාකච්ඡාවේදී ඉරාන යුද්ධය ගැනත් ට්‍රම්ප් පරිපාලනය ගැනත් අදහස් දැක්වීය. විවේචනය කළේය.
ටකර් කාල්සන්: ඉරානය සිටියේ න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඔන්න මෙන්න කියාද?
ජෝ කෙන්ට්: නැහැ. පසුගිය ජූනි මාසයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. පසුගිය 28 වැනිදා යුද්ධය ආරම්භ වෙද්දී පවා එහෙම දෙයක් තිබුණේ නැහැ. මරා දැමුණු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී නීතියක් පනවා තිබෙනවා. ෆාත්වා නීතිය. 2004 දී ක්‍රියාවට නැංවූ ඒ නීතිය යටතේ ඉරානයට කිසිම ආකාරයකින් න්‍යෂ්ටික අවි නිපදවීමක් කරන්න බැහැ. ෆාත්වා නීතිය ඉරානය විසින් උල්ලංඝනය කරනු ලැබුවා යැයි කියන්න අපට කිසිම බුද්ධි තොරතුරක් ලැබී නැහැ. උත්තරීතර නායක අයතුල්ලා උම්මත්තකයෙක් නොවෙයි. මැරෙන්න බය වුණු කෙනෙක් නෙවෙයි. ඔහු දැන සිටියා ඔහුගේ මරණින් ඉස්ලාමීය පාලනය අවසන් නොවන බව. ඉරාන ජනතාව අද ඉරාන ඉස්ලාමීය රජය සමග ඉන්නවා. අපි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි අර්ජානි ඝාතනය කළා. අලි අර්ජානි තමයි ඇමෙරිකාවට සිටිය එකම බලාපොරොත්තුව සාකච්ඡා මාර්ගයෙන් ඕනෑම ගැටලුවක් විසඳාගන්න පුළුවන් විදියට. ඊශ්‍රායලය ඔහු ඝාතනය කළා. ට්‍රම්ප් මේ යුද්ධය පටන් ගත්තේ ඊශ්‍රායල සතුටු කරන්නයි. ඉදිරියට වෙන්නේ කුමක්දැයි ට්‍රම්ප් පවා දන්නේ නැහැ.
මේ අතර, මේ අතර, ඉරානය සමඟ දිගටම යුද වැදීමට, ඇමෙරිකන් ඩොලර් බිලියන 200 කට අධික අතිරේක ප්‍රතිපාදන ප්‍රමාණයක් අවශ්‍ය බව, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් ‘පෙන්ටගනය’ එරට කොංග්රස් මණ්ඩලයට දැනුම් දී ඇත. ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙන්නේ, පෙන්ටගනය ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයෙන් ලබා ගැනීමට මෙම අතිරේක ඩොලර් බිලියන 200 ක ‘යුද වියදම’ ඉරානයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකටත් වඩා වැඩි බවය. ඉකුත් 2025 වසරේ ඉරානයේ දළ දේශීය නිෂ්පාදිතය සටහන් වූයේ ඩොලර් බිලියන 356.51 ක් වශයෙනි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය ද හවුල් කර ගනිමින්, ඉරානය සමග යුද්ධයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදා ය. ඉරානය සමග යුද්ධයකට යෑම ට්‍රම්ප්ගේ තනි තීරණයක් වුණු අතර, ඊට කොංග්රස් මණ්ඩලයේ (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) නිසි අවසරය හිමි නොවිණි. ඉරාන යුද්ධය දැන්ම අවසන් කළ නොහැකි බවත්, යුද මෙහෙයුම් තවත් ශක්තිමත් කිරීමට, අවි ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමට මෙම අතිරේක ඩොලර් බිලියන 200 ක මුදල අවශ්‍ය බව පෙන්ටගනය පෙන්වා දී ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකා සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරාන ආරක්ෂක පද්ධතිය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර දැනට සති තුනකට ආසන්න කාලයක් ගතවී ඇත. ඇමෙරිකන් මධ්‍යම අණදෙන මූලස්ථානයට අනුව, මේ දක්වා ඉරානයේ ඉලක්ක 7,800 කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉරාන නෞකා 120 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර හෝ අඩපණ කර හෝ ඇත. මේ සඳහා ඇමෙරිකන් ප්‍රහාරක ජෙට් යානාවලට ගුවන් ගමන් වාර 8,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කර තිබේ. ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට යුද්ධයේ පළමු සතිය තුළ පමණක් ඇමෙරිකාව ඩොලර් බිලියන 11 කට වඩා වැය කෙරුණි.
අල් ජසීරා ඇසුරිනි

