වොයේජර්ට ඇසුණු ‘ගුම්’ නාදය



ඇමෙරිකා නාසා ආයතනයට අයත් වොයේජර් 1 යානය ගැන අටුවා ටීකා අවශ්‍ය නැහැ. වොයේජර් 1 යනු 1977 වසෙර් දී නාසා ආයතනය විසින් අභ්‍යවකාශයට යැවූ රොබෝ ගවේෂණ යානයකි.

වොයේජර් 1 යානයේ අරමුණ අප සෞරග්‍රහ මණ්ඩලයේ පිටත ග්‍රහලෝක ගැන තොරතුරු රැස් කිරීමය. මේ වන විට පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කර ඇති මිනිසා විසින් නිර්මාණය කරන ලද අභ්‍යවකාශ යානය ලෙස සැලකෙන්නේ ද වොයේජර් 1 ය. සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන්, මේ වනවිට පෘථිවියේ සිට කිලෝ මීටර් බිලියන 22.5 කට වඩා දුරින් වේගයෙන් ගමන් කරමින් සිටින වොයේජර් 1 යානයට, සෞරග්‍රහ මණ්ඩලය ඔබ්බෙන් ගැඹුරු අභ්‍යවකාශයෙන් එන අද්භූත මෙන්ම අබිරහස් ‘ගුම් නාදයක්’ අසන්නට ලැබී ඇත.

වොයේජර් 1 යානය මේ වනවිට අපේ හිරුගේ බලපෑමෙන් බොහෝ දුරස්ව, අන්තරීක්ෂ තාරකා මධ්‍යය හරහා ගමන් කරමින් සිටින අතර, නාසා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, යානයේ ඇති ප්ලාස්මා තරංග පද්ධතිය හරහා හඳුනාගත් මෙම ගුම් නාදය එසේත් නැතිනම් එම ශබ්දය, හීලියෝස්ෆියරයෙන් ඔබ්බට අයනීකරණය වූ වායුවේ සියුම් තරංග නිසා ඇති වූවක් බවය. ඉතා දුර්වල සහ ඒකාකාරී මෙම ගුම් නාදය, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මායිම සහ ඔබ්බෙහි ඇති විශාල අභ්‍යවකාශය අතර එතරම් අවබෝධයක් නොමැති අන්තර්ක්‍රියා පිළිබඳ වටිනා තොරතුරු ලබා දිය හැකිය.

කෝනෙල් සහ අයෝවා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් නේචර් ඇස්ට්‍රොනොමි විද්‍යා සඟරාවට මෙම ගුම් නාදය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර ඇතැයි ද පැවැසෙයි. 1970 දශකයේ පැරණි තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන සහ කිලෝබයිට් 70ක මතකයක් පමණක් ඇති වොයේජර් ගවේෂණ යානය දියත් කර දශක ගණනාවකට පසුවත් එයින් විස්මිත දත්ත පොළොවට ලැබේ.

(ස්තුතිය - නාසා ආයතනයට)


RECOMMEND POSTS