වෛද්‍ය අශෝක ඩයස්ට සම්මානයක්



දෙවැනි එලිසබත් මහ රුජින කිරුළ දරා වසර 70 ක් සපිරීම නිමිත්තෙන් පසුගිය ජූනි මාසයේ ප්ලැටිනම් ජුබිලිය සැමරිණි. ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් මහා බ්‍රිතාන්‍යයේ පමණක් නොව, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පවා විශේෂ උත්සව සංවිධානය කර තිබුණි.

නවසීලන්තයේ ද රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් නොයෙකුත් උත්සව සංවිධානය කර තිබුණු අතර, නවසීලන්තයේ අභිමානය සුරැකෙන ආකාරයට, නවසීලන්ත වැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී සේවය කළ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනකු ද ඇගැයීමට ලක් විය. නවසීලන්තයේ රාජ්‍ය නායිකාව එලිසබත් මහ රුජිනය.

එසේ ඇගැයීමට ලක් වුණු පිරිස අතරේ, නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන අශෝක ඩයස් මහතා ද සිටී. දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් අශෝක ඩයස් මහතා සිටින බව අපට දැනගන්න ලැබුණේ පසුගිය ජූනි මාසයේය. ඒ මහතා සේවා පදක්කමින් පිදුම් ලැබුවේ පසුගියදා ය.

නවසීලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මානසික, සමාජීය සහ අධ්‍යාත්මික යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින්, ප්‍රජා සෞඛ්‍ය සේවාවට සිදුකළ විශිෂ්ට සේවාව අගයමින් මෙම පදක්කම පිරිනැමීම සිදුවිය.

නවසීලන්තයේ පදිංචිව සිටින වෛද්‍ය අශෝක ඩයස් මහතා වෙත සම්මානය ප්‍රදානය කරනු ලැබුවේ නවසීලන්ත ආණ්ඩුකාරවරිය වන සින්ඩි කයිරෝ මහත්මිය අතිනි. නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම මෙරට පුරවැසියන් වෙනුවෙන් කළ මෙහෙවර අගැයීමට ලක් කෙරෙන බව ආණ්ඩුකාරවරිය පැහැදිලි කළාය.

ශ්‍රී ලංකාවේ රෝහල් වෙත ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙලක්  වෛද්‍ය අශෝක ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදුවෙයි. ‘කොවිඩ් 19’ වයිරස වසංගත සමයේ ඉහළ ප්‍රවාහයක් සහිත ඔක්සිජන් යන්ත්‍ර ශ්‍රී ලංකාවට සැපයීමට ද අශෝක ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදුවිය.

නවසීලන්ත පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS