විසදුම් නැති ඊශ්‍රායල පලස්තීන අර්බුදය



ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳුමක් නොමැතිව ඔඩුදුවන්නේ දශක ගණනක් තිස්සේය. මෙය එක් භූමියක් වෙනුවෙන් අයිතිය ඉල්ලන ජන කණ්ඩායම් දෙකක අරගලයකි. ඓතිහාසික අරගලයකි. පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ ආරම්භ වෙද්දී, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ පෘතුගාලය යන රටවල් පලස්තීනය රාජයයක් ලෙස පිළිගත්තේය. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට එකම විසඳුම ද්වී රාජ්‍ය විසඳුමක් බව කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ පෘතුගාලය ද අවධාරණය කර ඇත.

රාජ්‍යක් ලෙස පිළිගනී

පලස්තීනය යනුවෙන් හැඳින්වෙන්නේ, බටහිර ඉවුර සහ ගාසා තීරයයි. මේවා එකිනෙකට වෙනස් ස්ථාන දෙකක පිහිටා ඇති ප්‍රදේශ දෙකකි. ගාසා තීරයේ බලයේ සිටින්නේ හමාස් සංවිධානයයි. ඒ, 2007 වසරේ ගාසා තීරයේ පැවැත් වූ මැතිවරණයෙන් ජය ගනිමිනි. ඊශ්‍රායලය යුද වදින්නේ ද මෙම හමාස් සටන්කාමීන් සමඟය. පසුගිය දා පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ පෘතුගාලය යන රටවල් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්තේ ඊශ්‍රායලය කෝප ගන්වමිනි.

ගාසා තීරය

ගාසා තීරය කිලෝ මීටර් 41 ක් දිග කිලෝ මීටර් 10 ක් පළල කුඩා බිම් තීරුවකි. ඊශ්‍රායලයට ඊජිප්තුවට සහ මධ්‍යධරණී මුහුදට අතර මැදිව මෙය පිහිටයි. පලස්තීනුවන් මිලියන 2.3 කට නිවහන වන්නේ ගාසා තීරයයි. ලොව වැඩිම ජනගහන ඝනත්වයක් ඇත්තේ ද ගාසා තීරයේය. ගාසා තීරයට ඉහළ ගුවන් කලාපය සහ ගාසා තීරයට අයත් වෙරළ තීරය පාලනය කරන්නේ ඊශ්‍රායලයයි. දේශසිමා හරහා ගාසා තීරයට යැවෙන භාණ්ඩ සදහා අවසර දෙන්නේ ඊශ්‍රායලයේ කැමැත්ත අනුව පමණි. ඊජිප්තුවේ සහාය ඊශ්‍රායලයට හිමිවන අතර, ගාසා තීරය හරහා ඊජිප්තුවට ඇති දේශසීමා පාලනය සිදු කරන්නේ ඊජිප්තුවය.

යුදෙව්වන්ගේ රට

මැදපෙරදිග කලාපයේ ඉස්ලාම් නොවන එකම රට ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය යනුවෙන් රටක් බිහිවීම සිදුවූයේ 1948 දීය. ඊශ්‍රායලය හැඳින්වෙන්නේ යුදෙව්වන්ගේ රාජ්‍යය යනුවෙනි. යුදෙව්වන්ගේ අතීතය ක්‍රිස්තු වර්ෂයටත් පෙර වසර ගණනාවක් ඈතට යයි. ජේසුතුමන් ජීවත් වූ බව පැවැසෙන්නේ පලස්තීනයේ ජෙරුසිලම ප්‍රදේශය ආශ්‍රිතවය. ජේසුතුමන් සහ ඔහුගේ ඥාතීන් සියලු දෙනා යුදෙව්වන්ය. අතීතයේ යුදෙව්වන් සැලකිය යුතු අන්දමින් එම ප්‍රදේශයේ ජීවත් වුණු බව ඒ අනුව පැහැදිලිය. වර්තමානයේ ලෝකයේ සෑම රටකම පාහේ යුදෙව්වෝ සිටිති. යුදෙව්වන් සහ මුස්ලිම් වැසියන් අතර පවතින්නේ ආගමික වශයෙන් සුළු වෙනස්කමක් පමණි. එහෙත්, ලෝකයට කැපී පෙනෙන සේවයක් කළ පිරිසක් ලෙස යුදෙව්වන් අවිවාදයෙන් හැඳින්විය හැකිය. යුදෙව්වන් අනෙක් ජාතීන්ට වඩා බුද්ධිමත් පිරිසකි. චින්තන ශක්තියක් ඇති පිරිසකි.

තාඩන පීඩන

දෙවැනි ලෝක යුද්ධයට පෙර යුරෝපයේ, රටවල් බොහොමයක යුදෙව්වෝ වැඩි ප්‍රමාණයක් ජීවත් වූහ. ක්‍රිස්තු වර්ෂ 70-135 අතර කාලයේ රෝම අධිරාජ්‍යයන් පැමිණ, ජෙරුසලම ගිනි තබමින්, යුදෙව්වන් ඉන් පිටුවහල් කෙරුණි. පිටුවහල් කෙරුණු එම යුදෙව්වෝ ලොව එක එක රටවලට ගොස් ඒවායේ ජීවත් වීමට පටන් ගත්හ. එම රටවලින් ඔවුහු දැඩි තාඩන පීඩනවලට ලක් වූහ. හිට්ලර් ජර්මනියට පැමිණ නාට්සිවාදය ආරම්භ කරද්දී, ඔහු දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රධාන වගකිවයුත්තා බවට පත් විය. දෙවැනි ලෝක යුද්ධයට පෙර සිටම හිට්ලර් යුදෙව්වන් සංහාරයකට කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. අල්ලා ගන්නා යුදෙව්වන් දස දහස් ගණනින් වධකාගාරවලට යැවුණි. ගෑස් කාමරවලට යැවුණි. හිට්ලර් යුදෙව්වන් ඝාතනය කළ අයුරු දුටු යුරෝපය පමණක් නෙව මුළු ලොවම කම්පා විය.

ඊශ්‍රායලය බිහිවීම

දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙද්දී, යුදෙව්වන්ට තමන්ගේම කියා නිජ බිමක් අවශ්‍ය විය. නිදහසේ ජීවත් වීමට තැනක් අවශ්‍ය විය. 1947 වසරේ දී, එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ලෙස, යුදෙව්වන්ගේ මුල් භූමිය වන පලස්තීන භූමි ප්‍රදේශය දෙකට කඩා එක් කොටසක් යුදෙව්වන්ටත් අනෙක් කොටස අරාබි ජාතිකයන්ටත් වෙන් කිරීමට බෙදා දීම සිදුවිය. මෙසේ බෙදා දීම කළේ එවකට එම ප්‍රදේශය පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. 1948 දී, යුදෙව්වෝ ඔවුන්ගේ භූමි ප්‍රදේශය ඊශ්‍රායලය යන නමින් වෙනම රාජ්‍යයක් බවට පත් කර ගත්හ. භූමිය බෙදීම සිදුවූයේ සියයට 43.5 පලස්තීනය ලෙස සහ සියයට 56.5 ක් ඊශ්‍රායලය ලෙසය. අරාබි රටවල් මීට තදින් ම විරෝධය දක්වන්න විය.

ඊශ්‍රායලයේ බලය

අරාබි රටවල් හමුදා යොදවා පහර දෙද්දී, ඊශ්‍රායලය අරාබි රටවලට දඩුවම් කිරීමක් ලෙස අසල්වැසි හැම රටකින්ම තුන් ගුණකක භූමි ප්‍රමාණයක් අල්ලා ගැනීම කළේය. අරාබි රාජයයන් දෙකක්, රුසියාවේ ද සහාය ඇතිව, තමන්ට අහිමි වුණු බිම් කොටස් යළි අත්පත් කර ගැනීමට කටයුතු කළේය. කෙසේ නමුත් සටන් අවසන් වෙද්දී, මුළු පලස්තීනයේම පාලන බලය ඊශ්‍රායලය සතු විය. ඊශ්‍රායලය යටතේ පාලනය වන පලස්තීන ප්‍රදේශවල ජනතාව, ඊශ්‍රායල හමුදාව සමඟ ගැටුම් ඇති කර ගන්න පටන් ගත්තේ ඉන්පසුවය. එම ගැටුම් නිසා පලස්තීන නිදහස් කර ගැනීමේ සංවිධානය බිහිවිය. හමාස් කණ්ඩායම බිහිවිය. පසුව ඇතිකරගත් එකඟතාවකට අනුව, පලස්තීන භූමිය, පාලන ප්‍රදේශ තුනකට වෙන් විය. ඒ ඊශ්‍රායලය, ගාසා තීරය සහ බටහිර ඉවුර ලෙසිනි. 2005 වසරේ දී, ඊශ්‍රායලය ගාසා තීරය පලස්තීනුවන් වෙනුවෙන් නිදහස් කළේය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS