විශිෂ්ට ජයක්



අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 225න් 145ක්ම හිමිකර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත්කම් දක්වන පක්ෂවලටද මන්ත්‍රී ආසන හයක් හිමිව තිබෙන අතර ඒ අනුව ඒ මන්ත්‍රීවරුන්ගේද සහාය ලබාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පහසුවෙන්ම ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවන බව දේශපාලන විචාරකයෝ පවසති.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය කෙරෙන උපරිම මන්ත්‍රී ආසන ගණන 150කි.

පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තු වන දේශපාලන පක්ෂ වනුයේ ඊ.පී.ඩී.පී. ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තමිල් මක්කල් විදුතලේ පුලිකල් (ටී.එම්.වී.පී.) ය.

ඉහත දේශපාලන පක්ෂවලට මෙවර මැතිවරණයේදී හිමිව ඇති ආසන සංඛ්‍යාව පහකි.

මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද හැට අට ලක්ෂ පනස් තුන් දහස් හයසිය අනූවක් ලබාගත් අතර සමගි ජනබලවේගයට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද විසිහත් ලක්ෂ හැත්තෑ එක් දහස් නවසිය අසූවක් පමණි.

මැතිවරණයේදී දෙවැනුව වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇත්තේ සමගි ජන බලවේගයයි. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී මැතිවරණයට තරග වැදුණු සමගි ජන බලවේගයට නායකත්වය දුන්නේ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතායි.

මේ අනුව ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට ඉදිරියේදී අවස්ථාව උදාවනු ඇත.


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සතුට පළ කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේද අවසරය හා අනුමැතිය ඇතිව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ ක්‍රියාවට නැංවීමට මෙම ජනවරම යොදාගන්නා බවද ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මීළඟ අගමැතිවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අනිද්දා (9) ඉරුදින දිවුරුම් දීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන සිවුවැනි අවස්ථාව මෙය වේ. ඔහු හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ 2004 වසරේදී අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. ඉන්පසු 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කෙටිකාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් හෙතෙම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයට නැවතත් පත්විය.

නව කැබිනට් මණ්ඩලය ද ලබන සතියේදී පත් කිරීමට ද නියමිතය.

මහ මැතිවරණයට ඉදිරිපත් වූ මෙරට පැරැණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට මෙවර දිනාගත හැකි වූයේ එක් මන්ත්‍රී ආසනයක් පමණි. එය ද ජාතික ලැයිස්තුවෙනි.

පක්ෂ අභ්‍යන්තරයේ ඇති වූ ගැටුම් හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණයේදී වෙනමම තරග වැදීමට තීරණය කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය මෙසේ දැඩි පසුබෑමකට ලක්විය.

එදා මෙදා තුර ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය මෙතරම් දරුණු කඩාවැටීමකට ලක්වූ පළමු අවස්ථාව මෙය විය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සහ රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ප්‍රබලයෝ රැසක් මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත්වූහ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයද මෙවර මහ මැතිවරණයේදී පසුබෑමකට ලක්ව ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ ආසන හතෙන් දිනාගෙන ඇත්තේ ආසන තුනක බලය පමණි. එම දිස්ත්‍රික්කයේ ඉතිරි ආසන හතර දෙමළ ජනතා ජාතික සන්ධානය (ටී.එම්.ටී.කේ.), සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊ.පි.ඩී.පී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරේ බෙදී ගියේය. දෙමළ ජනතා ජාතික සන්ධානයට (ටී.එම්.ටී.කේ.) නායකත්වය දෙන්නේ උතුරේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ය.

පසුගිය පාර්ලිමේන්තුවේ ආසන හයක් දිනාගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ, තවත් කණ්ඩායම් සමඟ සන්ධානගත වෙමින් ජාතික ජන බලවේගය ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය. ජාතික ජන බලවේගයට මෙවර දිනාගත හැකි වූයේ ආසන 3ක් පමණි. එයද සැලකිය යුතු පසුබෑමක් හැටියට සැලකිය හැකිය.

මෙයට පෙර පැවැති මහ මැතිවරණයේදී (2015) එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 106 ක් දිනා ගැනීමට සමත්ව වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිනාගත හැකි වූයේ ආසන 95ක් පමණි.

මෙයට අමතරව ඒ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රී ආසන 16 ක්ද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන 06ක්ද ඊ.පී.ඩී.පී. පක්ෂය එක් මන්ත්‍රී ආසනයක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය එක් ආසනයක් ද හිමිකරගෙන තිබිණි.

සුජිත් හේවාජුලිගේ සහ හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS