වසර 50,000ට කලින් සඳ මතුපිට ජනාවාස



මීට වසර 50,000 කට පෙර, සඳ මත පුරාණ මිනිසුන් වර්ගයකගේ හෝ පිටසක්වළ ජීවීන් කොට්ඨාසයකගේ ජනාවාස පැවැති බවත්, ඒ පිළිබඳ තොරතුරු තව වසර දෙක තුනකින් අපට දැනගන්නට ලැබෙනු ඇති බවත් ප්‍රවීණ භූ විද්‍යාඥයකු මෙන්ම ලේඛකයකු ද වන ඇමෙරිකන් ජාතික ග්‍රෙග් බ්‍රෙන්ඩන් පවසයි.
71 හැවිරිදි බ්‍රෙන්ඩන්, මෙසේ පැවැසුවේ, අන්තර් ජාලය හරහා විකාශය වන පොඩ් කාස්ට් සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 

සඳ මතුපිට පුරාණ නගරයක නටබුන් ඇති බවත්, නිරවි යුද සමයේ සඳ තරණය කළ ඇමෙරිකාවත්, සඳට රොබෝ ගවේෂණ යානා යැවූ සෝවියට් රුසියාවත් මේ බව දැන සිටි බවත් බ්‍රෙන්ඩන් මෙම සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කර ඇත.

නිරවි යුද සමයේ දී එකිනෙකාට අවි අමෝරා ගනිමින්, අවි ශක්තිය පෙන්වන්න වූයේ ඇමෙරිකාවට සහ එවකට සෝවියට් රුසියාවය. එකිනෙකා පරයමින්, සඳ ජය ගැනීමට ඇමෙරිකාව සහ රුසියාව සටන් කළේය.

පළමුවෙන් සඳට රොබෝ ගවේෂණ යානයක් යැවීම කළේ සෝවියට් විද්‍යාඥයන්ය. නමුත් පළමුවෙන් මිනිසුන් සඳට යැවීම කළේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. ඒ, ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුම යටතේය.

ලබන වසරේ එනම් 2026 දී, චීනය ඔවුන්ගේ ‘චැංග් ඊ 7’ චන්ද්‍ර මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, 2028 දී ඉන්දියාව, ඔවුන්ගේ ‘චන්ද්‍රයාන් 4’ චන්ද්‍ර මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම මෙහෙයුම් දෙකම ක්‍රියාත්මක වන්නේ සඳ මතුපිට ගවේෂණය සඳහාය.

2026 සහ 2028 මෙහෙයුම්වලින් පසු, චීනයත් ඉන්දියාවත් 2028 දී සහ 2030 දී සඳට ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බවත් පැවැසෙයි.
ඇමෙරිකාව සහ සෝවියට් රුසියාව වසං කළත්, සඳ මත ජනාවාස ඇති බව සනාථ කරන නටබුන්, චීනය සහ ඉන්දියාව ලොවට හෙළි කරනු ඇති බව ග්‍රෙග් බ්‍රෙන්ඩන් පැහැදිලි කර ඇත.

සඳ මත පමණක් නොව ද අඟහරු මත ද ජීවය පැවැති බවට විශ්වාස කරන විද්‍යාඥයන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන්නේ බ්‍රෙන්ඩන් ය. මොහු මේ සම්බන්ධයෙන් පමණක් නොව, තවත් ආන්දෝලනාත්මක විද්‍යා පර්යේෂණ සහ ගවේෂණ සම්බන්ධයෙන් විද්‍යා කෘති ගණනාවක් පළ කර ඇත.

මේ අතර ලබන 2026 දී, යළි සඳ ගමනක් ආරම්භ කරන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා ඇත. ඒ ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේය. ලබන වසරේ මුල සිදුවන ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුමේදී සිදුවන්නේ, නාසා ගගනගාමීන් සිවු දෙනකු  ගගන කැප්සියුලයකින් සඳ වටා ගොස් ආපසු පෘථිවියට පැමිණීමය.‍ මෙම චන්ද්‍ර මෙහෙයුම සාර්ථක වුවහොත්, සඳ මත ජනාවාස පිහිටුවීමට ගගනගාමීන් යවන බව නාසා පවසා ඇත.
 
ඩේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS