රටවල් 366 ක කොඩි සිරුරේ පච්චා කොටාගෙන ඉන්දියාවේ ‘ගිනස් සීයා’ගෙන් අලුත් වාර්තාවක්
යළි යළිත් ගිනස් වාර්තා අතරට එක් වීමේ ආසාවෙන්, ලොව රටවල් 366 ක ජාතික ධජ සිරුරේ පච්ච කොටා ගත් 74 හැවිරිදි සීයා කෙනකු ගැන ඉන්දියාවේ නවදිල්ලි නුවරින් වාර්තා වේ.
හර් ප්‍රකාශ් රිෂී නමැති මෙම සීයා, මීට පෙර ද අසාමාන්‍ය ගිනස් වාර්තාවක් තබා ඇත. ඒ, බීම බට 496 ක් කටේ ඔබාගෙන බීම බීම මගිනි. ඒ සඳහා හර් ප්‍රකාශ් රිෂී ඔහුගේ දත් සියල්ල ගලවා දමා ඇත. ඉන්දියානුවන් හර් ප්‍රකාශ් රිෂී හඳුන්වන්නේ ‘ගිනස් රිෂී’ යන නමිනි.
‘වැඩිම බීම බට ප්‍රමාණයක් කටේ රඳවා ගෙන බීම බීමට හැකි වුණු එකම තැනැත්තා මමයි. ඒ වෙනුවෙන් මට මගේ දත් සියල්ල ගලවන්න වුණා. කටේ ඉඩ හදා ගන්න ඕනෑ නිසා’ යැයි රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් රිෂී සීයා පවසා ඇත.
ඉදිරියේ දී මුඛයේ ඉටි පන්දම් 50 ක් දල්වා ගෙන ගිනස් වාර්තාවක් පිහිටුවීමට ද තමා අපේක්ෂා කරන බව රිෂී සීයා පවසා ඇත.
හර් ප්‍රකාශ් රිෂී උපත ලබා ඇත්තේ නවදිල්ලියේ සිනමා ශාලාවකය. රිෂී පළමුවෙන්ම ගිනස් වාර්තාවක් තබා ඇත්තේ 1990 වසරේදීය. ඒ, මිතුරන් දෙදෙනකු ද හවුල් කර ගනිමින් පැය 1,001 ක් තිස්සේ නොකඩවා ස්කූටරයකින් ගමන් කරමිනි.
සීනි කියුබ යොදා ගනිමින් අගල් 64 ක් උසැති කුලුනක් නිර්මාණය කර ගිනස් වාර්තා අතරට එක් වී සිටින්නේ ද රිෂී සීයා ය.
1991 වසරේ දී හර් ප්‍රකාශ් රිෂී ඔහුගේ බිරිය බිම්ලා ද ගිනස් වාර්තා තැබීමට හවුල් කර ගෙන ඇත. ලොව කෙටිම අන්තිම කැමැති පත්‍රය ලියා ගිනස් වාර්තාවක් තබා ඇත්තේ බිම්ලාය. අන්තිම කැමැති පත්‍රයේ සඳහන් වන්නේ ‘සේරම පුතාට’ යන්න පමණි.
‘සල්ලි නැති දුප්පත් අපි වගේ අය උත්සහා ගන්නවා මොනවා හරි දෙයක් කරලා කැපී පෙනෙන්න. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කෙනෙක් වෙන්න. ඒකයි ඇත්ත. මමත් වාර්තා තබන්නේ ඒ හින්දයි. ඒකට හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕනෑ.’ යැයි රිෂී සීයා පැහැදිලි කරයි.
ලුසිත ජයමාන්න
රොයිටර් ඇසුරිනි