යුරේනස්ගේ රහස් මිතුරා

පෘථිවියේ සිට සැතපුම් බිලියනයක් ඈතින්, යුරේනස් ග්‍රහලෝකය පිහිටයි. යුරේනස් අයිස්වලින් සමන්විත, අයිස් යෝධයෙකි. අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් පුළුල් ලෙස ගවේෂණයට ලක් නොවුණු ග්‍රහයා යුරේනස් යැයි කීවොත් නිවැරදිය. එබැවින් යුරේනස් ග්‍රහයා කේන්ද්‍රකොට ගනිමින් අලුත් අලුත් සොයා ගැනීම් සිදුවීම අරුමයක් නොවෙයි. පසුගිය දා නාසා විද්‍යාඥයන්ට යුරේනස්ට අයත් රහස් චන්ද්‍රයෙකු සොයා ගැනීමට හැකි විය. මේ චන්ද්‍රයා රහස් චන්ද්‍රයකු ලෙස නාසා විද්‍යාඥයන් හඳුන්වන්නේ මෙය යුරේනස්ගේ කක්ෂයේ රහසේ රැඳී සිටින බැවිනි.
මේ නව රහස් චන්ද්‍රයාට තවමත් නමක් දමා නැත. චන්ද්‍රයා සොයා ගත්තේ ජේම්ස් වෙබ් දුරේක්ෂයයි. ජේම්ස් වෙබ් යනු අභ්‍යවකාශ දුරේක්ෂයක් වන අතර, මෙය අභ්‍යවකාශයේ ඈත රඳවා ඇත. නාසා ආයතනය සතු ප්රබලතම දුරේක්ෂය ලෙස අද සැලකෙන්නේ ද ජේම්ස් වෙබ් දුරේක්ෂයයි. ජේම්ස් වෙබ් දුරේක්ෂය සොයා ගත් මෙම චන්ද්‍රයා සැතපුම් හයක් පමණ පළලින් යුක්තය. එය අපේ චන්ද්‍රයාට වඩා 350 ගුණයකින් කුඩාය. මෙම නව චන්ද්‍රයා සොයා ගැනීමත් සමඟ යුරේනස් සතු චන්ද්‍රයන් ගණන 29 තෙක් ඉහළ ගොස් ඇත. “යුරේනස්ගේ කක්ෂයට බොහෝ ළං වුණු චන්ද්‍රයන් බොහොමයක් සිටී. වෙනත් කිසිම ග්‍රහලෝකයට මේ විදියට සමීප චන්ද්‍රයන් ඇත්තේ නැහැ. එම චන්ද්‍රයන් සහ යුරේනස්ගේ සිහින් වළලු පද්ධතිය අතරේ අන්තර් සම්බන්ධතාවක් පවතිනවා. අපට දකින්න ලැබුණු මෙම නව චන්ද්‍රයා ද පිහිටන්නේ වළලු පද්ධතියට සමීපවයි.” යැයි ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මවුන්ටන් විව් පිහිටි සෙටී විද්‍යා ආයතනයේ මැතිව් ටිස්කරේනෝ පැහැදිලි කරයි.
නාසා තාරකා විද්‍යාඥයන් මෙම නව චන්ද්‍රයා මුලින්ම දුටුවේ, මෙම 2025 පෙබරවාරි දෙවැනිදාය. “අධෝරක්ත කැමරා ආධාරයෙන්, මිනිත්තු 40 ක් තිස්සේ ලබා ගත් ඡායාරූප 10 ක් අධ්‍යයනය කිරීමේ දී නව චන්ද්‍රයා දකින්න ලැබුණා.” යැයි කොලරාඩෝ පිහිටි SwRI සෞරග්‍රහ මණ්ඩල විද්‍යා සහ ගවේෂණ අංශයේ ප්‍රධාන විද්‍යාඥවරියක් වන ආචාර්ය මරියම් එල් මෞටාමිඩ් පවසා ඇත. මෙය කුඩා වුවත් වැදගත් සොයා ගැනීමක් බවත්, නාසා ආයතනයේ 'වොයේජර් 2 ගවේෂණ යානය යුරේනස් අසලින් යද්දී පවා, මෙම චන්ද්‍රයා දකින්න නොලැබුණු බව එල් මෞටාමිඩ් වැඩි දුරටත් පැහැදිලි කර ඇත. ඒ අනුව, මෙම නව චන්ද්‍රයා යුරේනස්ගේ විශාල චන්ද්‍රයන් වන මිරැන්ඩා, ඒරියල්, අම්බ්රියෙල්, ටයිටේනියා සහ ඔබෙරොන් (ශේක්ස්පියර් සහ ඇලෙක්සැන්ඩර් පෝප්ගේ චරිත අනුව නම් කර ඇත.) වටා කක්ෂගත වන 14 වන කුඩා චන්ද්‍රයා ලෙස සොයාගෙන ඇත.
“මෙම නව චන්ද්‍රයා යුරේනස්ගේ මධ්‍යස්ථානයේ සිට සැතපුම් 35,000ක් (කිලෝමීටර් 56,000ක්) පමණ දුරින් පිහිටයි. ඔෆීලියා (යුරේනස්ගේ ප්‍රධාන වළලු පද්ධතියෙන් පිටත පිහිටි චන්ද්‍රයා) සහ බියන්කා යන චන්ද්‍රයන්ගේ කක්ෂ අතර පිහිටි ග්‍රහලෝකයේ සමක තලයේ කක්ෂගත වී තිබෙනවා” යැයි ආචාර්ය එල් මෞටාමිඩ් වැඩිදුරටත් පැහැදිලි කර ඇත. නව චන්ද්‍රයාට තවමත් නමක් දී නැති බැවින්, තාරකා විද්‍යාව ගැන උනන්දු වන බොහෝ දෙනා එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත්තේ ‘බොබ්’ වැනි සරල නමක් නව චන්ද්‍රයාට සුදුසු බවය. දැනට මෙම චන්ද්‍රයා S2025/U1 යන කේත නාමයෙන් හැදින්වෙයි. බුධට හෝ සිකුරුට චන්ද්‍රයන් නැත. අප පෘථිවියට ඇත්තේ එක් චන්ද්‍රයෙකි. අඟහරුට ෆෝබෝස් සහ ඩීමෝස් නම් චන්ද්‍රයන් දෙදෙනෙක් සිටින අතර, බ්‍රහස්පතිට චන්ද්‍රයන් 95 ක් සිටී. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයා වන ගැනිමීඩ් අයත් වන්නේ ද බෘහස්පතිටය. යුරේනස්ගේ චන්ද්‍රයන් ගණන 274 කි.
යුරේනස් ග්‍රහලෝකය අනෙක් ග්‍රහලෝකවලින් වෙනස් වන ප්‍රධාන හේතු කිහිපයක් ඇත. අනෙක් ග්‍රහලෝකවලට සාපේක්ෂව යුරේනස් භ්‍රමණය වන්නේ පැත්තට ඇල වී සිටින ආකාරයෙනි. විද්‍යාඥයන් පවසන්නේ යුරේනස් පෙරළි පෙරළී හිරු වටා යන බවය. යුරේනස්ගේ ඇලවීම, අංශක 98 ක අක්ෂීය ඇලවීමකි. මෙම සුවිශේෂී ඇලවීම හේතුවෙන් යුරේනස් මත සෘතු වෙනස් වීම ඉතා අසාමාන්‍යය. එක් එක් ධ්‍රැවය වසර 42ක් පමණ අඛණ්ඩ හිරු එළියට නිරාවරණය වන අතර, ඉතිරි වසර 42ක කාලය අඳුරේ පවතී. යුරේනස් නිල්-කොළ පැහැති ග්‍රහලෝකයකි. මෙම වර්ණයට හේතුව එහි වායුගෝලයේ ඇති මීතේන් වායුවය. මීතේන් රතු ආලෝකය අවශෝෂණය කර නිල් ආලෝකය පරාවර්තනය කරයි. යුරේනස් ග්‍රහලෝකය ප්‍රධාන වශයෙන්ම හයිඩ්රජන්, හීලියම් සහ මීතේන් වලින් සෑදී ඇත. යුරේනස් යනු සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ශීතලම ග්‍රහලෝකය ද වෙයි.
ස්තුතිය - නාසා ආයතනයට

