යුද්ධය තුන්වැනි සතියට

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී, ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය තෙවැනි සතියට අවතීර්ණ වී ඇත. ට්‍රම්ප් ඊශ්‍රායලය ද හවුල් කර ගනිමින් ඉරානය මට්ටු කිරීමට හමුදාව මෙහෙය වූයේ සති 4 කින් යුද්ධය අවසන් කරනවා යැයි කියමිනි. ඒත් අද වනවිට යුද්ධය අවසන් කරන්නේ කෙසේදැයි ට්‍රම්ප් පවා දන්නේ නැත. අද (15) යුද්ධය ආරම්භ වී 16 වැනි දිනයයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය නොනවත්වා ඉරානයට පහර දෙන අතර, ඉරානය ඊශ්‍රායලයටත්, ගල්ෆ් කලාපයේ ඇමෙරිකන් ඉලක්කවලටත් ප්‍රතිප්‍රහාර එල්ල කරයි. ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි ඇමෙරිකාවට තර්ජනය කර ඇත. ඒ, ඉරාන ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කලාපීය ඇමෙරිකන් ඉලක්කවලට නොකඩවා පහර දෙන බව කියමිණි. රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කළත්, උත්තරීතර නායකයා ලෙස එම ධුරයට පත් වූ 56 හැවිරිදි මොජ්ටාබා තවමත් ප්‍රසිද්ධියේ පෙනී සිට නැත. ඒ, ඔහු ද ඇමෙරිකන් හෝ ඊශ්‍රායල ප්‍රහාරයකින් තුවාල ලබා සිටින නිසා විය හැක. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව එය එසේය. නැතිනම් ඇමෙරිකාවෙන් හෝ ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් එල්ල වේවා යැයි බියෙන් මොජ්ටාබා ඉරානයේ රහස් තැනක සිටිනවා විය හැකිය. කෙසේ නමුත්, මොජ්ටාබා කමේනි සහ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයන් ගැන තොරතුරු සපයන්නකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේවනවිට තීරණය කර ඇත.
දැන් දැන් ඇමෙරිකාව, ඊශ්‍රායල, ඉරාන යුද්ධය තෙවැනි ලෝක යුද්ධය තෙක් ඔඩුදුවන බව පෙනෙයි. හෝමූස් සමුද්‍ර සන්ධිය දිගටම වසා දමන්නැයි මොජ්ටාබා කමේනී, ඉරාන විප්ලවීය හමුදාවට උපදෙස් දී ඇත. ඒ අනුව, පසුගිය දින කීපයේ හෝමූස් හරහා යාත්‍රා කළේ ඉරාන හිතවාදී නෞකා පමණි. ඉන්දු සහ චීන නෞකා ඒ අතර විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ ඉරානය ඉන්දියාවේ මිතුරකු බවය. ඒ සමඟම ඉන්දියානු නෞකා කිහිපයකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා සීමිත ආරක්ෂිත අවසරයක් ලබා දී ඇති බව ඉන්දියාවේ ඉරාන තානාපති මොහොමඩ් ෆතාලි පැවැසීය. මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර ගැනීම සඳහා තම තමන්ගේ යුද නැව් යොමු කරන්නැයි ප්‍රංශයෙන්, ජපානයෙන්, දකුණු කොරියාවෙන් සහ එක්සත් රාජධානියෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කර ඇත.
ඉරානය සමග හිතවත්කම් පැත්තකට දමා තමන්ගේ පැත්තට එන්නැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, චීනයෙන් ඉල්ලා ඇත. ඉරානය අමතක කරන ලෙසත්, චීනයට ඇති තරම් වෙනිසියුලාවෙන් තෙල් අරන් දෙන්නම් යැයි ද ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින්ට දන්වා ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල පසුගිය දා රැස් වී, ඉරානයට එරෙහිව යෝජානාවක් සම්මත කර ගත්තේය. ඒ, ඉරානය අසල්වැසි කලාපීය රටවලට ප්‍රහාර එල්ල කිරීම වැරදි බවත්, එය නැවැත්විය යුතු බවත් බල කරමිණි. මෙම යෝජනාව සම්මත වෙද්දී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයන් වන රුසියාව සහ චීනය නිහඬ විය. මේ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ස්තුති කර ඇති අතර, යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් රුසියාවට පනවා තිබූ සම්බාධක පවා දින 10 කට අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ අප ද රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සාකච්ඡා පවත්වා අවසන්ය. ඒ සම්බාධක ඉවත් කිරීමත් සමගය. ඊයේ (14) සිට ඉන්ධන ලබා ගැනීමට කියුආර් කේත ක්‍රමය ද යළි හඳුන්වා දීම සිදුවිය. දැන්ම තියා කියුආර් කේත ක්‍රමයට යෑම අප රජය ගත් නුවණැති ක්රියාමාර්ගයකි. මේ වනවිටත් අප අසල්වැසි රටවල් බොහොමයක් ඉන්ධන පිරිමසා ගැනීමට නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. අප කවුරු කවුරුත් ඉන්ධන, ගෑස් සහ ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් බිය පළ කර ඇත.
ඇමෙරිකන් සබ්මැරීන ප්‍රහාරයකින් විපතට පත්වුණු අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටිඉරාන නාවිකයන්ගේ මෘතදේහ ගුවනින්, ආමේනියාවට පිටත් කර හැරිය බවත්, එම මෘතදේහ ආමේනියාවේ සිට ගොඩබිම් මාර්ගය ඔස්සේ ඉරානය වෙත රැගෙන යෑම සිදුවනු ඇති බවත් පැවසෙයි.
ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසයක් සඳහා සහභාගී වී යළි ඉරානය වෙත යමින් සිටි අයිරිස් ඩේනා යුද නෞකාව ශ්‍රී ලංකාව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ඇමෙරිකා සබ්මැරීනයකින් එල්ලවු ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්වු අතර එහි සිටි නාවිකයින් 32 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මුදාගනු ලැබීය. ට්‍රම්ප් පසුව පවසා තිබුණේ ඇමෙරිකන් හමුදා ප්‍රධානීන් අණ දී, අයිරිස් ඩේනා නෞකාව විනාශ කළේ ‘එය විනෝදයක් වූ නිසා’ බවය. නෞකාවේ සිට මියගිය ඉරාන නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගෙන තිබූ අතර එම මළ සිරුරු කරාපිටිය රෝහලේ ජංගම ශීතාකාර තුළ තැන්පත් කර තැබීමෙන් පසු පසුගිය 13 වැනිදා විශේෂ ගුවන් යානයකින් පිටත් කර හැරුණි. විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි අතර දුරකථන සංවාදයක් ද පැවැති අතර, ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඒ බව තහවුරු කර ඇත. අයිරිස් ඩේනා නෞකාවේ සිටි නාවිකයන් මුදා ගැනීම සහ මෘතදේහ නැවතත් සිය රටට ලබාදීම සම්බන්ධයෙන් ද සෙයිද් අබ්බාස් අරග්චි ශ්‍රී ලංකා රජයට සිය කෘතවේදය පළ කළ බව ද පැවැසෙයි.
ඉකුත් 28 වැනිදා මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා කාලය තුළ කුඩා දරුවන් සහ ගරුවරුන් 200 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බවත් ඉරානයේ පාසල් 120 කට පමණ හානි සිදුව ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානි පවසා ඇත. යුදමය තත්ත්වය හේතුවෙන්
ඉරානයේ 1,444 දෙනකු, ලෙබනනයේ 773 දෙනකු, ඉරාකයේ 26 දෙනකු, ඊශ්‍රායලයේ 14 දෙනකු එමිරේස් රාජ්‍යයේ 3 දෙනකු, කුවේටයේ 6 දෙනකු, ඕමානයේ තිදෙනකු, බහරේනයේ දෙදෙනකු මියගොස් ඇතැයි පැවසෙයි. ඉරාන ප්‍රහාරවලින් මියගිය ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 11 කි. ඉරානය සමඟ පවතින යුද්ධය මේ වන විට තීරණාත්මක අදියරකට එළඹෙමින් පවතින බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා ඇත. ඒ, ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාව පහර දීමත් සමගය. එසේ වුවත්, කාර්ග් දූපතේ තෙල් අපනයන කටයුතු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක බවත්, එහි ස්ථාපිත තෙල් සමාගම්වල ක්‍රියාකාරකම් කිසිදු බාධාවකින් තොරව සිදුවන බවත් ඉරානය නිවේදනය කර ඇත.
ඉරානයට එරෙහිව සිදු කරනු ලබන යුද්ධයේදී අමෙරිකාව විසින් දෛනිකව ඩොලර් මිලියන 890 ක් වැය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. වොෂින්ටනය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය පසුගිය දා නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඇමෙරිකන් මාධ්‍ය මේ බව අනාවරණය කර ඇත. ඒ අනුව, දෛනිකව ඇමෙරිකා රජය ගුවන් මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 30ක්, නාවික මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 15 ක් සහ ගොඩබිම් මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 1.5 ක් වැය කරන බව සඳහන් වෙයි. ඔපරේෂන් එපික් ෆියුරි ලෙස නම් කර ඇති මෙම ඇමෙරිකන් මෙහෙයුම, ඇමෙරිකාව මේ දක්වා සිදු කළ මිල අධිකම හමුදා මෙහෙයුම බවට පත්ව තිබීම ද විශේෂත්වයකි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරානයට පහර දීම ආරම්භ කළේ ඉකුත් 28 වැනිදාය. එදින උදෑසන මහ අමුතු දෙයක් සිද්ධ විය. එය අබිරහස් කෙටි රේඩියෝ විකාශයනයකි. ජාත්‍යන්තර ගුවන් විදුලි තරංග මාලා ඔස්සේ අමුතු පණිවුඩයක් ඇසෙන්න විය. ඒ, පිරිමි හඬකි. බොහොම සන්සුන් ලෙස මේ පිරිමි හඬ පර්සියානු භාෂාවෙන් ඉලක්කම් කීපයක් කියයි. ඒවා එකිනෙකට වෙනස් ඉලක්කම්ය. පර්සියානු බස යනු ඉරාන වැසියන්ගේ භාෂාවය. අතීතයේ ඉරානය හැඳින්වූයේ ද පර්සියාව යනුවෙනි. මුලින්, මිනිත්තු කීපයකට සැරයක්, ඉලක්කම් මාලාව දෙවතාවක් කියවීම සිදුවෙයි. ඉන්පසු කෙටි නිහැඬියාවකි. නැතිනම් විරාමයකි. එම විරාමය බිඳී යන්නේ එම හඬ පර්සියානු බසින් ‘ඔබේ අවදානය පිණිසයි’ යනුවෙන් පැවසීමත් සමඟය. යළි ඉලක්කම් අංක කියවීම ආරම්භ වෙයි. සමහර වෙලාවට මෙය කෙටි පණිවිඩයකි. තවත් වෙලාවකට මෙය ඉතා දිගු පණිවිඩයකි.
සංඥාව නිකුත් වෙන ස්ථානය කාටවත් කිව නොහැකිය. එසේ වුවත්, ගුවන් විදුලි කෙටි තරංග ගැන අවබෝධයකින් කටයුතු කරන පිරිස් පවසන්නේ, මෙම අබිරහස් ගුවන් විදුලි විකාශය සිදුවන්නේ බටහිර යුරෝපයේ කොතැනක හෝ සිට බවය. යුද්ධය ආරම්භ වී පස්වැනි දිනයේ දී තවත් අමුතු දෙයක් සිදුවිය. ඒ කවුරුන් හෝ මේ ගුවන් විදුලි සංඥාවට බාධා කිරීමය. පර්සියානු හඬ ඇසීම වළක්වමින්, විද්‍යුත් ඝෝෂා (ඉලෙක්ට්‍රොනික් නොයිස්) මගින්, මෙම අබිරහස් ගුවන් විදුලි සංඛ්‍යාතය අඩපණ කිරීමට කිසියම් හෝ කෙනකු හෝ කිසියම් පාර්ශ්වයක් උත්සාහ ගත්තේය. ඒත් පලක් වූයේ නැත ගුවන් විදුලි සංඛ්‍යාතයට බාධා කරන්න කරන්න මෙම අබිරහස් ගුවන් විදුලි විකාශය, අලුත් සංඥාවකින් යළි විකාශන කටයුතු ආරම්භ කරයි.
මතුවන ලොකුම ප්රශ්නය වන්නේ මේ රහස් පණිවුඩ නිකුත් කරන්නේ කවුද? යන්නය. එසේ කරන්නේ ඇමෙරිකාවද? ගුවන් විදුලි තරංග ඔස්සේ ඇසෙන ඒ ඉලක්කම් පණිවුඩය ඇමෙරිකාව, ඉරානයේ සිටින තම ඔත්තුකරුවන්ට හෝ තමන්ට හිතවත් සෙසු කණ්ඩායම්වලට සක්‍රීය වීමට දෙන නියෝග මාලාවක්ද? එසේ නැතිනම් ඊශ්‍රායලය ඉරානයේ යුද ඉලක්ක සම්බන්ධයෙන් කරන දැනුම් දීමක්ද? එසේත් නැතිනම් මෙය ඉරානයේ සංඥාවක්ද? එය එසේ නම් ඊට බාධා කරනවා ඇත්තේ ඇමෙරිකාව හෝ ඊශ්‍රායලයයි. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශය හෝ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය හෝ කිසිවක් පවසා නැත. පවසන්නේද නැත. රහස් ඔත්තු සේවාවල ස්වභාවය එයයි. ඔවුන් කිසිවිටෙකත් තමන්ගේ තුරුම්පු හෙළි කරන්නේ නැත.
අද අප ජීවත්වන්නේ, තාක්ෂණය උපරිමයටම දියුණු යුගයකය. ඇඟිලි තුඩෙන් ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනකුට පණිවිඩයක් යවන්න අද අපට පුළුවනි. කොතරම් තාක්ෂණය දියුණු වුවත්, යුදමය තත්ත්වයකදී, එම රටවල් භාවිතයට ගන්නේ විශ්වාසනීය පැරැණි ක්‍රමවේදය. තාක්ෂණය කොතරම් දියුණු වුණත්, මිනිස් ජීවිත සහ රාජ්‍ය රහස් සම්බන්ධ කාරණාවලදී මිනිසා තවමත් විශ්වාසය තබන්නේ සරල නමුත් ආරක්ෂිත පැරණි ක්‍රමවේදයන් මතය. අන්තර්ජාලය විසන්ධි කළ හැකි වුවත්, අහස් කුස පුරා විසිරෙන ගුවන් විදුලි තරංග නතර කිරීම පහසු නොවෙයි. මෙම ගුවන් විදුලි විකාශය ද එවැන්නක් විය හැකිය. මෙම රහසිගත ක්‍රමවේදය, දශක ගණනක් පැරැණිය. නිරවි යුද සමයේ ඇමෙරිකා සී.අයි.ඒ ඒජන්තවරුන් සහ සෝවියට් (අතීතයේ රුසියාව) කේ.ජී.බී. බුද්ධි අංශ ඒජන්වරුන් මෙවැනි රහස් ඉලක්කම් හරහා රහස් පණිවුඩ යැවීම කළේය.
මේවා හඳුන්වන්නේ නම්බර් ස්ටේෂන් යනුවෙනි. මේවායේ ක්‍රියාකාරිත්වය ඉතා සරලයි, ඒත් අතිශය භයානකය. කෙටි තරංග ගුවන් විදුලි ඔස්සේ කිසියම් පුද්ගලයකු ඉලක්කම් සමූහයක් දිගින් දිගටම ප්‍රකාශ කරයි. මෙම ඉලක්කම් පිටුපස ඇත්තේ කිසිවකුට ලෙහෙසියෙන් විසඳිය නොහැකි සංකේතමය පණිවුඩයකි. ලෝකයේ ඕනෑම කෙනකුට සාමාන්‍ය ගුවන් විදුලි යන්ත්‍රයකින් මෙම පණිවුඩ ඇසිය හැකි වුවත්, එහි සැබෑ අර්ථය තේරුම් ගත හැක්කේ එම පණිවිඩය අදාළ වන වන්-ටයිම් පෑඩ් නැමැති රහස් කේත පොත හිමි පුද්ගලයාට පමණයි. ගණිතමය වශයෙන් මෙය බිඳලිය නොහැකි තරම් ප්‍රබල ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස තවමත් සැලකෙයි. එසේ නම්, බටහිර යුරෝපයේ කිසියම් ස්ථානයක සිට විකාශය වන මෙම ගුවන් විදුලි සංඥාවේ එවැනි රහස් පණිවුඩයක් අඩංගු වෙනවාද?
ඔබට මට, ලංකාවේ සිටින ඕනෑම කෙනකුට මේ අබිරහස් සංඥාවට කන් දිය හැක. මේ සංඥාව විකාශය වන්නේ, සාමාන්‍ය එෆ්.එම්. ගුවන් විදුලි නාලිකා මෙන් නොව, ලෝකය පුරා ඉතා ඈතට ගමන් කළ හැකි කෙටි තරංග හෙවත් එස්.ඩබ්ලිව්. ඔස්සේය. ඔබ සතුව පැරණි වර්ගයේ හෝ නවීන එස්.ඩබ්ලිව්. පහසුකම සහිත ගුවන් විදුලි යන්ත්‍රයක් තිබේ නම්, රාත්‍රී කාලයේදී සංඥා වඩාත් පැහැදිලිව ඇසෙනු ඇත. 7 MHz සිට 15 MHz අතර පරාසයේ ඇති සංඛ්‍යාත පිරික්සීම කළ හැක. හඬක් නැති තැන්වල ඇසෙන අමුතු ඝෝෂා හෝ එක්වරම ඇසෙන ඉලක්කම් කියවන හඬ කෙරෙහි අවධානය යොමු කර බලන්න. “සෙහ්, පන්ජ්, යෙල්, හාෆ්ට් (3,5,1,7) ... තවජ්ජොහ්, තවජ්ජොහ්, තවජ්ජොහ් (අවධානය යොමු කරන්න) ...” යනුවෙන් එය ඔබට ඇසෙනු ඇත.
ඉරානය තවමත්, දිගින් දිගටම එල්ල වන දැවැන්ත ගුවන් ප්‍රහාර දරාගෙන සිටී. සරලව කීවොත්, ඇමෙරිකාවට දැන් ඉරානය හිසරදයක් වී ඇති අතර, ලෝකයේ අප කාටත් මේ යුද්ධය හිසරදයකි. මේ යුද්ධය දැන් අපේ ජීවිත වෙනස් කිරීමට පටන්ගෙන ඇත. ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාර මැදි, ප්‍රතිප්‍රහාර එල්ල කරමින්, ඉරානට ඊට මුහුණ දෙන්නේ, ඔවුන් වසර ගණනාවක් ප්‍රගුණ කළ මොසෙයික් ආරක්ෂක උපාය මාර්ගය යනුවෙන් හැඳින්වෙන සුවිශේෂී උපක්‍රමය නිසා යැයි යුද විශ්ලේෂකයෝ පැහැදිලි කරති. සාමාන්‍යයෙන් රටක ආරක්ෂක පාලනය එක මධ්‍යස්ථානයක් සතුවෙයි. ඉරානයේ මෙය වෙනස්ය. ඉරාන සතුව ඇත්තේ විශාල පද්ධතියකි. ඉරානය එරට ස්වාධීන යුද කලාප 31කට බෙදා වෙන් කර ඇත. මෙය කුඩා කොටස් (කැබලි) එකතු කර නිර්මාණය කළ මොසෙයික් සිතුවමක් වැනිය. එක් කොටසක් විනාශ වුවත් පද්ධතිය අඩපණ නොවෙයි.
ඉරානයේ සෑම පළාතකටම පත් කර ඇති අණදෙන නිලධාරීන්ට, තෙහෙරාන් අගනුවර සමඟ සන්නිවේදනය බිඳ වැටුණත් ස්වාධීනව යුද තීරණ ගැනීමේ බලය දී ඇත. ඉකුත් 28 වැනිදා, ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්, උත්තරීතර නායක අල් කමේනි ඝාතනය වුණු සැණින්, ඉරාන විප්ලවීය හමුදාව මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර නිකුත් වුණේ මේ ස්වාධීන ක්‍රියාකාරීත්වය නිසයි. ඉරාන විප්ලවීය හමුදාවේ සියලුම මිසයිල සහ ඩ්‍රෝන බලඇණි සඟවා ඇත්තේ කඳුකර ප්‍රදේශ යට නිර්මාණය කළ අතිවිශාල භූගත බංකර් පද්ධති තුළය. මේ නිසා සතුරාගේ චන්ද්‍රිකා නිරීක්ෂණවලට හසු නොවී ඕනෑම මොහොතක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඔවුන්ට හැකියාව ඇත.
ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ මිල අධික ගුවන් යානාවලට මුහුණ දෙනවා වෙනුවට, ඉතා ලාභදායී ඩ්‍රෝන, නාවික බිම් බෝම්බ සහ කුඩා ප්‍රහාරක යාත්‍රා දහස් ගණනින් පාවිච්චි කරමින් සතුරා වෙහෙසට පත් කිරීමේ උපක්‍රමය මෙහිදී ඉරාන හමුදාව භාවිත කරන ක්රමවේදයයි. ඇමෙරිකාව බලාපොරොත්තු වූයේ කෙටි කාලීන, දැවැන්ත ප්‍රහාර මාලාවකින් නායකත්වය විනාශ කර යුද්ධය නිම කිරීමටය. එසේ වුවත් දැන් ඔවුන්ට සිදු වී ඇත්තේ එක් සතුරකු සමඟ නොව, ස්වාධීන යුද මධ්‍යස්ථාන 31 ක් සමඟ සටන් කිරීමටය. මෙය යුද්ධය දිග්ගැස්සීමටත්, ඇමෙරිකානු සම්පත් වැඩි වශයෙන් විනාශ වීමටත් ප්‍රධාන හේතුවක් වී ඇත.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඉලක්ක කර ගනිමින්, ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රහාරය සාර්ථක වී, නෙදන්යාහු මියගිය බවටත් රාවයක් පැතිර යයි. ඒ සමාජ මාධ්‍ය ඔස්සේය. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් දිනපතා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් යුද්ධය ගැන කතා කළත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටින්නේ අල්ප වශයෙනි. එසේ මාධ්‍ය හමුවේ පෙනී සිටිනවා නම්, නෙදන්යාහු මියගිය බවට රාවයක් පැතිරෙන්නේ කෙසේද? ඉරානය පෙන්වා දෙන්නේ, මාධ්‍ය හරහා දකින්න ලැබෙන වීඩියෝ දසුන්වල සිටින්නේ නෙදන්යාහු නොව, ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ නෙදන්යාහුගේ රුවක් බවය. නෙදන්යාහු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරන එක් වීඩියෝවක, නෙදන්යාහුගේ එක් අතක ඇගිලි 6 ක් තිබෙන බව පෙනෙයි. ඒ අනුව, නෙදන්යාහුගේ මෙම වීඩියෝව ඒ.අයි. නිර්මාණයක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එසේ වුවත්, පවතින මෙම කටකතා ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ රජයේ නිල ප්‍රකාශකයින් අවධාරණය කරන්නේ අගමැතිවරයා සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව සිටින බවය. ඔහු ආරක්ෂිත රහසිගත ස්ථානයක සිට යුද්ධය මෙහෙයවන බව ද ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා ඇත.

