මිලියන 35 ක් පැරණි අබිරහස



අවුරුදු මිලියන 65 කට පෙර සිදුවුණු ඝාතන අභිරහසක සුලමුල කියන්නයි මේ හදන්නේ. අවුරුදු මිලියන 65 කට පෙර ඝාතනයට ලක්වූයේ වෙන කවුරුවත් නොව, පෘථිවියේ රජ කළ දැවැන්තයන් හෙවත් ඩයිනසෝරයන්ය. එදා මහා පිපිරීමක් සිදුවිය. පෘථිවිය කම්පා විය; ගිනියම් විය. 

කම්පන තරංග සමඟ‍, මීටර් ගණනක් උස සුනාමි රළ ගොඩබිමට කඩා වැදුණි. පිපිරීමෙන් ඉතිරි වුණු සියල්ල ද ඉන්පසු සුනුවිසුණු විය. ගිනියම් වූ පෘථිවියෙන් නැගුණු දූවිලි වලා, අහස වසා ගනිද්දී, හිරු එළිය වැටුණේ නැත. හිරුගේ උණුසුම අහිමි වෙද්දී, පෘථිවිය සීතල විය. 

මේ වනවිට ඩයිනසෝරයන් ද ඇතුළුව, පෘථිවියේ වාසය කළ ජීවීන්ගෙන් සියයට 60 කට වඩා වැඩි ගණනක් මියගොස් තිබුණි. විද්‍යාඥයන්ට අනුව, ඩයිනසෝරයන් ඝාතනය කළේ වෙන කවුරුවත් නොව, යෝධ ඇස්ට්‍රොයිඩයකි. එසේත් නැතිනම් ග්‍රහකයකි. මේ දැවැන්ත ග්‍රහකය ආවේ කොහෙ සිටද? මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට, මේ වනවිට විද්‍යාඥයෝ සමත් වී සිටිති. 

පුරාණයේ, ලතින් ඇමෙරිකාවේ (දකුණු ඇමෙරිකා මහද්වීපයේ) වාසය කළ මායන්වරුන්ගේ වාග් මාලාවේ අපූරු වදනකි. ඒ වදන චික්සුලුබ් Chicxulub ය. චික්සුලුබ් යන වදන ඇසීම පවා භීතිය ගෙන දෙන්නකි. එය හිරිගඩු පිපෙන මූසල වදනකි. අතීතයේ, චික්සුලුබ් යන වදන ඇසීමටවත් බොහෝ දෙනකු කැමැත්තක් දැක්වූයේ නැත. මායන්වරුන්ගේ ජනප්‍රවාදවලට අනුව, චික්සුලුබ් යනු මහා නපුර යන්නයි. යක්ෂයා හා සම්බන්ධ සියලු දේට චික්සුලුබ් යන වදන යොදා ගනී. සලරව කීවොත්, චික්සුලුබ් Chicxulub යනු හොඳ දෙයක් නොවෙයි. 

අද විද්‍යාඥයන්, චික්සුලුබ් යනුවෙන් හඳුන්වන ස්ථානයක් පෘථිවියේ ඇත. අද චික්සුලුබ් යනු වසර මිලියන 65 කට පෙර, ලොව පැරණිතම ඝාතන අබිරහස හා බැඳුණු ස්ථානයයි. චික්සුලුබ් යනු ආවාටයකි. චික්සුලුබ් ආවාටය ඇත්තේ, මධ්‍යම ඇමෙරිකාවේය. මෙම ආවාටය අයත් වන්නේ යුකටාන් Yucatan අර්ධද්වීපයටය. විද්‍යාඥයන්ට අනුව, මේ ආවාටය නිර්මාණය වූයේ දැවැන්ත ග්‍රහකයක් කඩා වැටීමෙනි. 

මේ ග්‍රහකය කිලෝ මීටර් 10 කට වඩා පළල යැයි අනුමාන කෙරේ. අතීතයේ, අවුරුදු මිලියන 65 කට පෙර, පෘථිවිය ගිනියම් වූයේ මෙම ග්‍රහකය පෘථිවියේ හැපීමෙනි. පෘථිවිය කම්පා වී ගිනි ගනිද්දී අහසින් ලාවා බෝල ඇද හැලෙන්න වුණැයි පැවැසෙයි. ගිනියම් වූ පෘථිවිය සැණින් සීතල වූයේ පෘථිවිය ජීවීන්ට සුදුසු තැනක් නොවන බවට පරිවර්තනය කරමිණි. අප කවුරුත් හොදින් දන්න ඩයිනසෝර දැවැන්තයා ටී රෙක්ස් පවා මියගියේ මෙම ග්‍රහකය නිසාය. ආවාටය පමණක් නොව, විද්‍යාඥයන්, මෙම ඩයිනසෝර ඝාතක ග්‍රහකය ද නම් කර ඇත්තේ චික්සුලුබ් යනුවෙනි. 

චික්සුලුබ් ග්‍රහකයට අපට ප්‍රශ්න රැසක් ඉතිරි කර තිබේ. ඒ අතරින් ඇති වැදගත්ම ප්‍රශ්නය, ග්‍රහකය පැමිණියේ විශ්වයේ කොතනක සිට ද යන්නය. තාරකා විද්‍යාඥයන් අද මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයා ගෙන තිබේ. විද්‍යාඥයන් පවසන්නේ, එම ග්‍රහකය, නැතිනම් ඇස්ට්‍රොයිඩය, පෘථිවියේ හැපුණේ සෞරග්‍රහ මණ්ඩලයේ ඈත සිටි පැමිණීමෙන් බවය. එය පැමිණියේ බෘහස්පති ආසන්නයේ සිට යැයි පැවැසෙයි. සාමාන්‍යයෙන් පෘථිවිය අසලින් පෘථිවිය පසු කර යන සහ අතීතයේ පෘථිවිට වැටුණු (යුකටාන් ග්‍රහකයට වඩා කුඩා ප්‍රමාණයේ) ග්‍රහක පැමිණෙන්නේ බෘහස්පති ආසන්නයේ සිට නොවෙයි; හිරු ආසන්නයේ සිටය. එහෙයින්, චික්සුලුබ් ග්‍රහකය බෘහස්පති අසල සිට පැමිණීම විද්‍යාඥයන්ට ගැටලුවකි. 

තාරකා විද්‍යාඥයන්ට අනුව‍ ග්‍රහක වර්ග තුනකි. හිරු අසල සිට පැමිණෙන ග්‍රහක සෙලිෂස් siliceous පවුලට අයත් වෙයි. S-type (එස් කාණ්ඩය) ලෙස මේවා වර්ගීකරණය වෙයි. චික්සුලුබ් ග්‍රහකය අයත් වන්නේ, එස් කාණ්ඩයට නොවෙයි. S-type යනු පාෂාණමය ග්‍රහකය. චික්සුලුබ් ග්‍රහකය අයත් වන්නේ, C-type එසේත් නැතිනම් සී කණ්ඩයටය. C-type යනු කාබනේෂස් carbonaceous පවුලට අයත් ග්‍රහකය. එයින් අදහස් වන්නේ මේවායේ ඉහළ කාබන් සංයුතියක් ඇතැයි යන්නය. ග්‍රහක වර්ග 3 කට වර්ගීකරණය කෙරෙනවා නම් අනෙක් වර්ගය කුමක්ද? අනෙක් වර්ගය, C-type නැතිනම් සී කාණ්ඩයේ ග්‍රහකය. කොන්ඩ්‍රයිට් chondrite ග්‍රහක ලෙස මේවා හැඳින්වෙයි. ඒ, මෙම ග්‍රහකවල මැටි වැඩියෙන් අන්තර්ගත වෙයි. 

 කාබනේෂස් ග්‍රහක නිර්මාණය වී ඇත්තේ බෘහස්පතිගෙන් එපිට කලාපයේය. එමෙන්ම අඟහරු සහ බෘහස්පති අතරමැද කලාපයේ ද මෙවැනි ග්‍රහක දකින්න ලැබේ. චික්සුලුබ් ග්‍රහකය පැමිණියේ කොතැන සිටදැයි ඒ අනුව විද්‍යාඥයන්ට පැහැදිලි වී ඇත. මෙවැනි ග්‍රහක, පෘථිවිය දෙසට පැමිණෙනවා නම් එසේ වන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ අනුව, පැහැදිලිය, පෘථිවියේ හැපුණු චික්සුලුබ් ඉතාමත් දුර්ලබ ග්‍රහකයකි. චික්සුලුබ් ආවාටයෙන් ලබා ගත් සාම්පල අධයයනය කිරීමෙනි. එම සාම්පලවලින් විද්‍යාඥයන්ට රුතීනියම් Ruthenium නමැති මූද්‍රව්‍ය හමුවී ඇත. මෙය පෘථිවියේ දකින්න නැති දුර්ලභ ලෝහයකි. මේ ග්‍රහකය දුරක සිට පැමිණ, පෘථිවියේ හැපුණේ ඇයි? 

මෙම පැනයට හරියටම පිළිතුරු දීමට නම්, විද්‍යාඥයන්ට තවමත් හරිහැටි හැකියාවක් නැත. කෙසේ නමුත්, විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ඈත අතීතයේ සෞරග්‍රහ මණ්ඩලය පැවැතියේ අද පවතින තත්ත්වයට නොවෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තූන් අතර ගුරුත්ව බලයන් වෙනස් විය. එහෙයින් ග්‍රහකයේ ගමන් මඟ පෘථිවිය හරහා වැටෙන්න ඇත. 


RECOMMEND POSTS