මිනිසාගේ මීළඟ පරිණාමය හෝමෝ ඔප්ටිමස්



මේ සටහන කියවන ඔබ අවුරුදු 20 ට අඩු නම්, මේ සටහනේ ඇති දේවල් ඔබේ ජීවිත කාලයේ දී සියැසින් දැක ගැනීමට පමණක් නොව, සමහරවිට ‘විද්‍යුත් අමරණීයත්වයට’ පත් වීමට පවා ඔබට හැකි වනු ඇත. අනාගතයේ දිනෙක ඔබේ අදහස්, සිතුවිලි එසේත් නැතිනම් ඔබේ චින්තනය හා දැක්ම, අත්දැකීම් පරිගණක ගත කර, ගබඩා කර මතු පරම්පරා සඳහා භාවිතයට ගැනීමට හැකිවනු ඇත.

හෝමෝ ඉරෙක්ටස්, හොමෝ සේපියන් සේපියන් ලෙස පරිණාමය වුණු මානවයා, එසේත් නැතිනම් මිනිසා නමැති දියුණු බුද්ධිමත් සත්වයා, නව තාක්ෂණය සහ පරිගණක සමඟ බද්ධ වනවා පමණක් නොව, ඒ හරහා අනාගතයේ දිනක මිනිසා තවත් පරිණාමය වී, නව මානව විශේෂයක් බවට පත් වනු ඇත. එම නව මානවයා හෝමෝ ඔප්ටිමස් වනු ඇත.

 


මෙම අදහස ලොවට ඉදිරිපත් කරන්නේත්, මානව පරිණාමයේ මීළඟ අදියර ‘හෝමෝ ඔප්ටිමස්’ ගැන අදහස් දක්වන්නේත් ආචාර්ය ඉයන් පියර්සන්ය. පියර්සන් අනාගතය පිළිබඳ විදු ඇසින් අදහස් දක්වන විද්‍යාඥයෙකි. ඔහු පෙන්වා දෙන අන්දමට, හෝමෝ ඔප්ටිමස්ගේ පහළ වීම, 2050 දී පමණ ආරම්භ වනු ඇත. පියර්සන් මෙම අනාවැකි පළ කළේ ඉකුත් දා පැවැත් වුණු ‘බිග් බෑන් ෆෙයර්’ නමැති විද්‍යා තාක්ෂණ වෙළෙඳ ප්‍රදර්ශනයේදීය. ‘බිග් බෑන් ෆෙයර්’ වෙළෙඳ ප්‍රදර්ශනය එක්සත් රාජධානියේ පැවැත්වුණු විශාලතම විද්‍යා තාක්ෂණ වෙළෙඳ ප්‍රදර්ශනයයි. මීට ඉදිරිපත් කර තිබුණේ අනාගත තාක්ෂණික නිපැයුම්ය.


අද වනවිට අන්තර් ජාලය අපේ ජීවිතවලට නැතිවම බැරි දෙයක් වී අවසන්. සමහරුන් කන්නේ බොන්නේ පමණක් නොව නිදා ගන්නේ ද අන්තර් ජාලයේ උපදෙස් අනුවය. සියලුම එදිනෙදා කටයුතු නිවසින් පිටතට අඩියක්වත් තබන්නේ නැතිව අන්තර් ජාලය ඔස්සේ කර ගැනීමට හැකියාව ඇත. ආචාර්ය ඉයන් පියර්සන් විශ්වාස කරන්නේ තව අවුරුදු 35 ක් ගත වෙද්දී, මනුෂ්‍යයින් සෘජුවම අන්තර් ජාලය හා බද්ධ වී, අන්තර් ජාලයේ ජීවත් වනු ඇති බවය. නිවෙස්වල ඇති කරන සුරතල් සතුන් සමඟ කතා කිරීමට ද අපට හැකිවනු ඇතැයි පැවැසෙයි. ඒ, මනුෂ්‍ය මොළයට සවි කෙරෙන කුඩා පරිගණක හෝ පරිගණක චිප ඇසුරිනි. පියර්සන් පෙන්වා දෙන අන්දමට මෙය නව පෙරැළියක් වනු ඇත.


බයෝ තාක්ෂණය සහ නැනෝ තාක්ෂණය අනාගතයේ පෙරැළි රැසකට දායක වනු ඇත. ප්‍රමාණයෙන් කුඩා වුණත්, බොහෝ දේ කළ හැකි ආකාරයේ මොළයක් මිනිසාට ලැබෙනු ඇත. ඒ අනුව, මිනිස් සිරුරේ ද වෙනස් වීම් සිදුවේවි. ප්‍රමාණයෙන් කුඩා සිරුරක් තිබීම අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා වාසි දායක වේවි. කුඩා ප්‍රමාණයේ මිනිසුන් අභ්‍යවකාශයේ රැගෙන යෑම ද පහසුවක් වේවි. ‘පුංචි සුරංගනාවන්ට වගේ පියාපත් නිර්මාණය කිරීමට හැකිවේවි. ඒ අනුව, සැහැල්ලු සිරුරකින් ගුරුත්වාකර්ෂණයට ඔරොත්තු දීමට මිනිසාට හැකිවේවි’ යැයි ආචාර්ය පියර්සන් පැහැදිලි කරයි.


ආචාර්ය පියර්සන් ඉදිරිපත් කරන අදහස් විද්‍යාඥයන් සහ පර්යේෂකයන් බොහෝ දෙනකු තහවුරු කර ඇතැයි ද වාර්තා වේ. මිනිසාට පරිගණක සමඟත් නව තාක්ෂණික උපකරණ සමඟත් සම්බන්ධ වීමට මිනිසාගේ සම ‘ඉලෙක්ට්‍රොනික සමක්’ බවට පත් වනු ඇත. මෙය සිදුවන්නේ විද්‍යුත් සංවේදක සමේ සවි කිරීම හරහාය. ඇතැම් ඉතා කුඩා විද්‍යුත් උපාංග සිරුර තුළ සෛල අතරේ තැම්පත් කිරීමට ද හැකිවනු ඇත. මෙවැනි උපාංගවලින් සිරුරේ ක්‍රියාකාරීත්වය පවා වැඩි දියුණු වෙයි. කලවා ප්‍රදේශයේ සවි කරන මෙම උපාංගවලින් පාදවල ශක්තිය වැඩි කරයි. මොළයට සවි කෙරෙන රැහැන් රහිත උපාංගවලින් මනසින් පවා අන්තර් ජාලයට සම්බන්ධ වීමට හැකි වනු ඇත.


මුහුණ ලස්සන කිරීමට ආලේපන භාවිතා කිරීම අවහ්‍ය වන්නේ නැහැ. මුහුණේ කම්මුල්වල සහ ඇස් යට සවි කෙරෙන උපාංගවලින් සම අව පැහැ ගැන්වීම වෙනස් කරයි. රැගි වැටීම නැති කරයි. දත් ආරක්ෂා කර ගැනීමටත්, පහසුවෙන් එක් දතක් වෙනුවට තවත් දතක් සවි කර ගැනීමටත් හැකි වනු ඇත. සිරුරේ සෞඛ්‍ය නිසි ලෙස පවත්වාගෙන යෑමටත් රෝගී වීම වැළැක්වීමටත් සෛල අතර තැම්පත් කෙරෙන මෙම උපාංගවලට හැකියාව ලැබෙනු ඇත. දියවැඩියා රෝගියකු නම්, අවහ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉන්සියුලීන් සිරුරට ලැබෙන විදියට එම උපාංග සකස් කළ හැකි වේවි.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS