මාලදිවයිනේ නව ජනාධිපති



ආසියානු කලාපයේ බල කඳවුරු වන්නේ ඉන්දියාව සහ චීනයයි. ලෝකයේ කාර්ය බහුලම නැව් මාර්ග වැටී ඇත්තේ ඉන්දීය සාගරයේ මාලදිවයින දූපත් රාජ්‍යය අසලිනි. එහෙයින්, මිලියනකට වඩා අඩු ජනගහනයක් ඇති මාලදිවයින දූපත් රාජ්‍යය, ඉන්දියාවටත් චීනයටත් මූලෝපායික වශයෙන් ඉතා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.

පසුගිය දා පැවැති මාලදිවයින ජනාධිපතිවරණය එක්තරා ආකාරයකට ඉන්දියාවත් චීනයත් අතර සටනක් විය. පසුගිය 30 වැනිදා පැවැත්වූයේ මාලදිවයින ජනාධිපතිවරණයේ දෙවැනි වටයයි. දෙවැනි වටයක් පැවැත්වීමට හේතුව, පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වීමය.

පසුගිය 30 වැනිදා පැවැති දෙවැනි වටයෙන් ජයග්‍රහණය කළේ විපක්ෂ නායකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු මා​ලේ අගනුවර නගරාධිපති මොහොමඩ් මුයිසු ය. 45 හැවිරිදි මුයිසු නියෝජනය කරන්නේ මාලදිවයින ප්‍රගතශීලී පක්ෂයයි. දෙවැනි වටය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනූ මොහොමඩ් මුයිසු සහ ජනාධිපති ධුරයේ සිටින 61 හැවිරිදි ඊබ්‍රහීම් සෝලී අතරේය. පළමු වටයෙන් ද සෝලි අභිබවා ඉදිරියට පැමිණියේ මොහොමඩ් මුයිසු ය. ඒ අනුව දෙවැනි වටයෙන් මුයිසු ජයග්‍රහණය කරන බව පැහැදිලි විය. සෝලි නියෝජනය කරන්නේ මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි.

සෝලී ඉන්දීය හිතවාදියෙකි. මුයිසු චීන හිතවාදියෙකි. ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යෑමට ජනාධිපති සෝලී සමත් වූ බැවින්, ඉන්දීය හමුදා මාලදිවයිනේ රැඳී සිටී. භූගෝලීය දේශපාලනික වශයෙන් එය චීනයට අභියෝගයකි. ඉන්දීය සාගර කලාපයේ චීනයේ බලය වැඩිවීම, ඉන්දියාවට තර්ජනයකි. නවදිල්ලියට අනුව, මාලදිවයිනේ ඉන්දීය සෙබළු 75 දෙනෙක් රැඳී සිටිති. ඉන්දීය රජයට අනුව, එම සෙබළුන් මාලදිවයිනේ රැඳී සිටින්නේ, ඉන්දීය රජය මාලදිවයිනට පරිත්‍යාග කළ හමුදා ගුවන් යානයක සහ හමුදා හෙලිකොප්ටරයක මෙහෙයුම් සඳහාය.

ඉන්දීය හමුදා මාලදිවයිනේ රැඳී සිටීම මාලදිවයිනේ ස්වෛරීත්වයට තර්ජනයක් බව මොහොමඩ් මුයිසු මැතිවරණ රැලිවලදී දිගින් දිගට පෙන්වා දුන්නේය. මුයිසු සිය මැතිවරණ ව්‍යාපාරය පැවැත්වූයේ ද ‘ඉන්දියාව එපා’ තේමාව ඔස්සේය. ජයග්‍රහණයෙන් පසු සිය පළමු ජන රැලිය මාලේ අගනුවර පවත්වමින් මුයිසු කීවේ, තමන් දිවුරුම් දුන් සැණින්, ඉන්දීය සෙබළුන් ආපසු යැවීමට පියවර ගන්නා බවය.

මුයිසු බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබූ සිවිල් ඉන්ජිනේරුවෙකි. ඊබ්‍රහිම් සෝලිට පෙර, අබ්දුල් යමීන්ගේ රජයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ අමත්‍ය ධුරය හෙබවූයේ මුයිසු ය. අද වනවිට දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විඳින අබ්දුල් යමීන් ද දැඩි චීන හිතවාදියෙකි. මුයිසු යන්නේ, යමීන්ගේ අඩිපාරේය.  යමීන්ගේ රජය, චීනය සමඟ එක් වී, මාලදිවයිනේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කළේය. එයින් එක් ව්‍යාපෘතියක් වන්නේ මාලේ අගනුවර සිට ගුවන්තොටුපොළ දක්වා දිවෙන පාලමය. මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක් බව පැවැසෙයි. පසුගිය වසරේ මුයිසු සහ චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් අතර වීඩියෝ හමුවක් පැවැත්විණි. එහිදී මුයිසු අවධාරණය කළේ තම රජයක් යටතේ මාලදිවයින යළිත් චීනය ට සමීප වනු ඇති බවය.

අබ්දුල් යමීන් මේ වනවිට සිර දඩුවම් විදිමින් සිටී. ඔහුට වසර 11 ක සිරදඬුවමක් නියම වී ඇත. ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා ද ඇතුළු දූෂණ වංචා චෝදනා රැසකට වරදකරු වීමෙනි. මාලදිවයින චීනයේ ණය උගුලට හසු කළේ යමීන් යැයි ද චෝදනා එල්ල වී තිබේ. යමීන් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි එය දේශපාලන පලිගැනීමක් බව පවසයි. මුයිසු දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් 17 වැනිදාය.

ඉන්පසු මුයිසුගේ පළමු රජකාරිය වනු ඇත්තේ අබ්දුල් යමීන්ගේ සිරදඬුවම නිවාස අඩස්සියකට පෙරැළීමය. ඊබ්‍රහීම් සෝලී බලයට පැමිණියේ 2018 දී යමීන් පරාජය කරමිණි. යමීන්, ඔහුට විරුද්ධව නැගී සිටි විපක්ෂ ක්‍රියාකාරීන් බොහෝ දෙනකු අධි ආරක්ෂිත මාෆුෂි බන්ධනාගාරයට යැවූ ජනාධිපතිවරයෙක් විය. අද යමීන් සිටින්නේ ද එම මාෆුෂි බන්ධනාගාරයේය.

‘ඉන්දියාව ආර්ථික, වෙළඳ සහ යටිතල පහසුකම් නැංවීම සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරනවා. අප ඒ කිසිවක් නවත්වන්නේ නැහැ. ඉන්දියාව සමඟ සබඳතා දිගටම පවත්වාගෙන යනවා. ඒත් මාලදිවයිනේ යටිතල පහසුකම් නැංවීමට චීනය ඉන්දියාවට පෙර සිට අප සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ නිසා චීනය ලේසියෙන් අමතක කරන්න බැහැ’ යැයි මුයිසු මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

‘ඔබ චීන හිතවාදියෙකුද?’ යනුවෙන් විදෙස් මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින්, මුයිසු මෙසේ කීවේය. ‘හුඟ දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය අහනවා. ඇත්තම කීවොත් මම මාලදිවයින හිතවාදියෙක්. මම හැමදේම කරන්නේ මාලදිවයින වැසියන් වෙනුවෙන්. ඔවුන්ගේ යහපත වෙනුවෙන්’

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS