මහ ඇමැති ස්ටාලිංගේ ආධාර



‘ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්’ හෙවත් ‘ඩී.එම්.කේ’ පක්ෂයට නායකත්වය දෙන මුතුවේල් කරුණානිධි ස්ටාලින් හෙවත් එම්.කේ. ස්ටාලින් තමිල්නාඩු මහ ඇමැතිවරයාය. ස්ටාලින්, තමිල්නාඩුවේ 8 වැනි මහ ඇමැතිවරයා වන අතර, ඔහු අභාවප්‍රාප්ත මහ ඇමැති කරුණානිධිගේ පුතුන් තිදෙනාගෙන් කෙනෙකි.  ‘ඩී.එම්.කේ’ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින්, ස්ටාලින් තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැති ධුරයට පත් වූයේ පසුගිය 2021 මැයි 7 වැනිදාය.

උතුරේ දෙමළ වැසියන් වෙනුවෙන් මෙන්ම ඉන්දු ශ්‍රී ලංකා ධීවරයන් අතරේ පවතින ගැටලුවලදී ද හඬක් නැගූ දේශපාලන චරිතයක් ලෙස ස්ටාලින් ප්‍රසිද්ධය. කෙසේ නමුත් පසුගිය දා තමිල්නාඩු මහ ඇමැති ලෙස ස්ටාලින් සිය හඬ අවදි කළේ ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන් ගැන පමණක් නොවෙයි, සමස්ත ශ්‍රී ලාංකිකයන් ගැනය. ඒ, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවට ආධාර ලබා දිය යුතු බවටය. ඒ අනුව, තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ  නව යෝජනාවක් ඒකමතිකව සම්මත කෙරුණි. අර්බුද රැසකට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ලබා දෙන්නැයි ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීම එම යෝජනාව හරහා සිදුවිය.

ඊට අමතරව, මහ ඇමැති ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට වෙනම ලිපියක් ද යැවීය. ඒ ශ්‍රී ලංකාවේ වැසියන්ට මානුෂීය ආධාර ලබා දීම ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය හරහා සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසය. ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ශ්‍රී ලංකාවට යැවීම වැදගත් බව එම ලිපිය හරහා ද තමිල්නාඩු මහ ඇමැතිවරයා පෙන්වා දී තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා රු. කෝටි 200 කට වැඩි වටිනාකමින් යුත් ආධාර තොගයක් මෙරටට එවීම සිදුවිය.  තමිල්නාඩු ප්‍රාන්තයෙන් මෙරටට එවන ලද විශාල මානුෂීය ආධාර තොගය මෙය යැයි ද පැවැසෙයි. ඉන්දීය මහකොමසාරිස් - ගෝපාල් බාග්ලේ මහතා විසින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙත එම ආධාර තොගය බාර දෙනු ලැබුණි. ඒ පසුගිය 22 වැනිදාය.

වරාය සහ නාවික අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්තිල් තොණ්ඩමාන් සහ ආහාර කොමසාරිස් ජී. ක්‍රිෂ්ණමූර්ති යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා රු. කෝටි 200 කට වැඩි වටිනාකමින් යුත් ආධාර තොගයට සහල් මෙට්‍රික් ටොන් 9000 ක්,  කිරිපිටි ටොන් 50 ක් සහ ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 25 ක් අයත් වේ. මෙම ආධාර තොගය පසුගිය 18 දා තමිල්නාඩුවෙන් පිටත් කර තිබුණි. මීට පෙර ද සහල් මෙට්‍රික් ටොන් 40,000 ක්, කිරිපිටි ටොන් 500 ක් සහ ඖෂධ ලංකාවට ලබාදීමට තමිල්නාඩු රජය පියවර ගෙන තිබුණි.

මෙම ආධාර උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල වෙසෙන, මෙම අවශ්‍යතා දැඩි ලෙස ඇති ජනතාව අතර බෙදා හැරෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක දැක්විණි. මේ අතර, මෙම ආධාර තොගය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට හා තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් මහතා වෙත සිය ස්තූතිය පළ කිරීමට ද අමතක නොකළේය.

ඉදිරියේදී ඉන්දියාව විසින් තවත් මානුෂීය ආධාර සහ වෙනත් සහයෝගයන් ද ශ්‍රී ලංකාව වෙත ලබා දීමට නියමිතව ඇතැයි ද පැවැසෙයි. ඉන්දියානු රජය මෙන්ම ජනතාව විසින් ගනු ලබන විවිධ ප්‍රයත්නයන් මගින් ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ලබා දෙන වැදගත්කම මෙයින් පිළිබිඹු වෙයි. ඇමරිකානු ඩොලර් බිලියන 3.5කට අධික ආර්ථික ආධාර,කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා එන්නත්, පරීක්ෂණ කට්ටල සහ මෙට්‍රික් ටොන් 1000කට ආසන්න ද්‍රව ඔක්සිජන් ලබා දීම සහ සමුද්‍රීය ව්‍යසන අවම කිරීම සඳහා ඉන්දියානු නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය විසින් කඩිනම් ප්‍රතිචාර දැක්වීම ඇතුළු විවිධකාර අයුරින් ඉන්දියව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දී තිබේ.

(ඉන්දියන් එක්ස්ප්‍රෙස්)


RECOMMEND POSTS