භූමිකම්පාවයි: සුනාමියයි



රුසියාවේ, නැගෙනහිර දෙසින් පිහිටි කම්චැට්කා අර්ධදීපය ප්‍රබල භූමිකම්පාවකින් දෙදරා ගියේ අද (30) උදෑසනය. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය වාර්තා වූයේ පෙට්‍රපෞලොව්ස්ක් කම්චැට්ස්කී වෙරළාශිත නගරයට ඔබ්බෙන් කිලෝ මීටර් 136 ක් දුරින්, මුහුදු පතුළේය. භූමි කම්පාව හටගත් ස්ථානය සහ ගැඹුර සැලකිල්ලට ගනිමින්, රුසියාවටත් අසල්වැසි කලාපීය රටවලටත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන් අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් කරමිණි.

පළමුවෙන්ම, සුනාමි රළ කඩා වැදුණේ නැගෙනහිර රුසියාවටය. නැගෙනහිර රුසියාවේ කුරිල් දූපතේ, සෙවේරෝ කුරිල්ස්ක් වරාය නගරයට සුනාමි රළවලින් හානි සිදුවිය. මීටර් 3 ත් 4 ත් අතරේ සුනාමි රළ කඩා වැදුණු අතර, වරායේ ගොඩනැගිලි සහ නිවාසවලට හානි විය. බෝට්ටු සහ කුඩා නැව් සුනාමි රළවලට හසුවී ගසගෙන ගියේය. ළදරු පාසලකට ද හානි සිදුවිය. සෙවේරෝ කුරිල්ස්ක් වරාය නගරයේ ජනගහනය 2,000 ක් පමණය.

රුසියාවේ සහ ජපානයේ වෙරළිශ්‍රිත ප්‍රදේශවලට අමතරව, තායිවානය, පිලිපීනය, චීනය, ගුආම් හවායි දූපත්, ටොංගා, ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ කැලිෆෝනියා, ඔරෙ​ගන්, වොෂින්ටන් පමණක් නොව, බ්‍රිටිෂ් කොලම්බියා, මෙක්සිකෝ, පේරු සහ එක්වදෝරයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි. සුනාමි රළ කඩා වැදීම සිදුවූයේ ඉන් පැය කීපයක් ගත වෙද්දීය.

ඇමෙරිකාවේ පාලනය යටතේ පවතින හවායි දූපත්වලටත්, ඇලෙස්කාවටත් මීටර් 3 ක් පමණ උස සුනාමි රළ කඩා වැදුණි. සුනාමි රළවලට මුහුණදීමට සූදානම් වන ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් පිළිපඳිමින් ආරක්ෂිතව සිටින ලෙසත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කල්තියා අනතුරු අගවමින් කියා සිටියේය.

ජපානයේ මුළු පැසිෆික් වෙරළ තීරයටම, සුනාමි රළ කඩා වැදුණි. ජපානයේ එන්.එච්.කේ. පුවත් සේවය වාර්තා කළේ හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා මීටරයක් දක්වා උස සුනාමි රළ ජපානයේ පැසිෆික් වෙරළ තීරයට කඩා වැදුණු බවය. කූජි වරායට සහ හමනාකා නගරයට සෙන්ටි මීටර් 60 ක් උස රළ කඩා වැදුණි. ජපානයට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් එරට ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට මේ දක්වා කිසිදු බලපෑමක් සිදුව නොමැති බව ද පැවැසෙයි.

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය යනු, 2011 වසරේ ජපානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් සහ සුනාමියකින් බැට කා හානි සිදුවුණු බලාගාරයකි. ටෝකියෝවට උතුරින් පිහිටි පැසිපික් වෙරළ තීරයේ සෙන්ඩායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ධාවනය පථය වසා දැමීමට තීරණය කිරීමත් සමග ප්‍රවාහන කටයුතු අඩපණ විය.

පසුගිය දින 10 ක කාලයේ කම්චට්කා අර්ධද්වීපය භූමිකම්පා මාලාවකට මුහුණ දුන්නේය. ඒ අතරින්, දරුණුතම භූමිකම්පාව ලෙස අද (30) භූමිකම්පාව සැලකිය හැකිය. අද හටගත් භූමිකම්පාවෙන් පසු කම්චට්කා අර්ධද්වීපයේ ගිනි කදු සක්‍රිය වීමක් ද සිදුවිය.

සුනාමි යන වදන අද අපට ආගන්තුක නැත. ඒ 2004 සුනාමියෙන් අප බැට කෑ බැවිනි. 2004  දෙසැම්බර් 26 වැනි දින ඉන්දුනීසියාවට ඔබ්බෙන් සාගරයේ හටගත් භූමිකම්පාවෙන් පසු සුනාමි රළ හටගත්තේය. සුනාමි රළ හටගත්තේ රික්ටර් පරිමාණයේ ඒකක 9.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකිනි. එම භූමකමිපාවෙන් 230,000කට ආසන්න පිරිසක් මිය ගියහ. රටවල් 14කින් මරණ වාර්තා විය.

‘සුනාමි’ යනු ජපන් වදනකි. එහි අරුත ‘වෙරළට නැගෙන රළ’ යන්නය. සුනාමියක් හට ගැනීම ස්වභාවික සන්සිද්ධියකි. සුනාමියක් හිටිහැටියේ හටගන්නේ නැත. සුනාමියක් හට ගැනීමට නම් සාගර පතුළේ භූමිකම්පාවක් හටගත යුතුය. එසේත් නැතිනම් සාගරයේ ගිනි කදු පිපිරීමක්, ග්ලැසියර් නායයෑමක් හෝ දැවැන්ත ග්‍රහකයක් සාගරයට කඩා වටීමෙන් හෝ සිදුවී සගරයේ කැලඹීමක් සිදුවිය යුතුය.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS