බොහෝ දේ ජයගෙන ජීවිතයෙන් පැරදුණු දෙව්මි



දෙව්මි රන්සරා නැමති ඇය මේ වන විට අප අතරින් යන්නටම ගොසිනි. මා පළමුව ඇය පිළිබඳ ලිපියක් ලීවේ ඉකුත් වසරේ සැප්තැම්බරයේදීය. ඒ ඇය දෑත් දෙපා අප්‍රාණිකව තිබියදීත් අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබාගනිමින් දැක්වූ දක්‍ෂතා පිළිබඳවය.

ජීවිතය අපට සැම විටම සියල්ල ලබාදෙන්නේ නැත. කොතෙක් දේ ලැබුණත් නොලැබුණු දේ ගැන සිතමින් දුක්වන්නන් බහුල සමාජයට දෙව්මි ලබාදුන්නේ මහඟු ආදර්ශයකි.

දෑත් දෙපා මෙන්ම ශරීරයේ බොහෝ කොටස් උපතින්ම අප්‍රාණික තත්වයේ පැවතිය ද ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් ද ලකුණු 177ක් ලබාගත්තාය.

දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ දෙව්මි වසර 100 කට වැඩි එම පාසල් ඉතිහාසයේ හොඳම අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ලබාගත් ශිෂ්‍යාව ද වන්නීය.

උපතේ සිටම සුෂුම්නාව හරහා යන ස්නායුවක් අක්‍රීයවීමෙන් ආබාධිත තත්වයට පත්ව සිටි ඇය පෙනුමෙන් වයස අවුරුදු පහක දැරියකට සමාන වුවත්, සිතින් අංග සම්පූර්ණ ශරීරයක් හිමි බොහෝ දෙනාට වඩා සවිමත් වූවාය.

ගණිත අංශයෙන් අ.පො.ස.උසස් පෙළ හැදැරීමට කැමැත්තෙන් සිටිය ද ඒ සදහා මනස වැඩි වශයෙන් වෙහෙසවිය යුතු නිසා දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි එම ආශාව අතහැර දැමීමට ඇයට සිදුව තිබිණි. ඒ නිසාවෙන්ම වානිජ විෂය ධාරාව තෝරාගත් ඇය වෙනුවෙන්ම එම පාසලේ වානිජ විෂය ධාරාව ඇරඹීමට ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබිණි.

ඇගේ මී ළඟ අපේක්‍ෂාව වී තිබුණේ උසස් පෙළ විභාගයෙන් ලංකාවේ පළමු ස්ථාන 5 අතර ස්ථානයක් ලබාගැනීමය. විටින් විට රෝගීව රෝහල්ගත වන්නට සිදුවුවත් ඇය එම ඉලක්කය වෙනුවෙන් නොපසුබටව අධ්‍යාපන කටයුතුවල යෙදෙමින් සිටියාය.

වරින් වර ඇතිවන සෙම් රෝගී තත්වයක් උත්සන්නවීමෙන් පසුගිය දිනෙක අසනීප වූ ඇය මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ජීවිතයෙන් සමුගත්තේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ජීවිතයේ පෙරට ගිය ශක්තිමත් දියනියක ලෙසිනි.

“මට තනියම හැමදේම කරගන්න අමාරුයි. පොතපත වගේම සියලුම දේවල් මගේ ළඟටම ගෙනත් දෙන්න වෙනවා. පෑනේ විල්ල ගලවා පෑන අතටදීම, පොත්වල පිටු පෙරලාදීම වෙනත් අයකු කර දිය යුතුයි. මාව පාසලට එක්කගෙන යන්නේ අම්මා සහ තාත්තා වඩාගෙනයි. මට ටියුෂන් පන්තිවලට යන්න බැරිවුණා. පාසලේ මට වෙනම පුටුවක් පවා තිබෙනවා. නිවසේදීත් මම කටයුතු කරගන්නේ රෝද පුටුවක සිටයි. ඒත් මට පෑන අල්ලන්න පුළුවන්. අකුරු ලියන්න පුළුවන්. උසස් පෙළ විභාගයෙන් ලංකාවේ පළමු පස්දෙනා අඅතරට පැමිණීම මගේ බලාපොරොත්තුවයි. ඉන්පසු කරන්නේ කුමක්ද යන්න ගැන බලාපොරොත්තු පොදි බැද ගෙන නැහැ. ජීවිතයේ ලැබෙන අභියෝග සියල්ල ජයගෙන මම මගේ ගමන යනවා. මේ අභියෝගවලින් මා නවත්වන්න බැහැ. මම අසාමාන්‍ය කෙනෙක් කියා මම හිතන්නේ නැහැ. මටත් අනිත් අය කරන දේවල් කරන්න පුළුවන්.”

ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් ලැබූ ප්‍රතිඵලයෙන් පසු අප හා පැවසුවේ එලෙසය. කිසිවකින් පරාජය කළ නොහැකි වූ ඇය අද ජීවිතයෙන් පැරදී ගොසිනි.

ඇය වෙනුවෙන් ඇගේ පියා, මව, බාල සොහොයුරන් දෙදෙනා කළ සියලු කැපවීම්වලට ණය නොමැති දියනියක් ලෙස ඇය ජීවිතයෙන් සමුගත්ත ද ඇය නොමැති අඩුව ඔවුන්ගේ ජීවිතවලට සදාකල් දැනෙනු ඇත. අධ්‍යාපනයට මෙන්ම වාදනය ආදී විෂය බාහිර කටයුතුවලට ද දස්කම් දැක්වූ ඇය වැනි දියනියක අහිමිවීම රටට ද පාඩුවකි.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS