බොන්ඩි බීච් වෙඩි තැබීම



එය ආරම්භ වූයේ තවත් සාමාන්‍ය ඉරිදා දිනයක් ලෙසිනි. ඕස්ට්‍රේලියාවේ යුදෙව්වන් බොන්ඩි බීච් නම් වෙරළේ ආචර් උද්‍යානයට රැස්ව සිටියේ හනුකා සැමරුම් උත්සවයට සහභාගීවීමටය. ඒත් නොසිතූ දෙයක් සිදුවිය. තුවක්කුකරුවන් දෙදෙනකු පැමිණ, හනුකා සැමරුමට සහභාගී වෙමින් සිටි යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමට පටන් ගත්තේය. පොලිසියට අනුව, වෙඩි තැබීම සිදුවූයේ සවස 6.47 ට පමණය‍. වෙඩි තැබීමක් සිදුවන බවත්, සියලු දෙනා ආරක්ෂිත ස්ථානවලට වී සිටින ලෙසත් නිව් සවුත් වේල්ස් පොලිසිය ජනතාවට දැනුම් දුන්නේය. වෙඩි තැබීම කළේ මුස්ලිම් ජාතිකයන් දෙදෙ‍ෙනකි. පොලිසිය, පසුව පැවැසුවේ, වෙඩි තැබීම කළේ පිය පුතු දෙදෙනකු බවය. ඔවුන් දෙදෙනා සිඩ්නි නගරයේ නිරිත දෙසින් පිහිටි බොන්නිරිග් පළාතේ පදිංචිකරුවන්ය. ප්‍රත්‍රයා 24 හැවිරිදි නවීඩ් අක්‍රම් ලෙස හඳුනා ගෙන ඇත. පියා සජීඩ් අක්‍රම් 50 හැවිරිදි අයෙකි.

ඉරිදා දිනයක් නිසා; නිවාඩු දිනයක් නිසා බොන්ඩි වෙරළේ ආචර් උද්‍යානය, යුදෙව්න්ගෙන් පමණක් නොව, සෙසු ඕස්ට්‍රේලියානුවන්ගෙන් ද පිරී තිබුණි. වෙඩි ප්‍රහාර එල්ල වෙද්දී සහ වෙඩි හඬ ඇසෙද්දී කලබලයට පත් වුණු පිරිස් හිස් ලූලූ අත දිව යන්න වූහ. රෙයිෆල් තුවක්කුවලින් සන්නද්ධ පියා සහ පුත්‍රයා, හනුකා සැමරුමට සහභාගී වුණු යුදෙව්වන්ට වෙඩි තබන දසුන්, ජංගම දුරකතනවල පටිගත විය. හනුකා සැමරුම් උත්සවයට සහභාගී වී සිටි යුදෙව්වන් ගණන 15 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඒ අතර සිටින බව පැවැසෙයි. හනුක්කා යනු යුදෙව්වන් විසින් සමරනු ලබන වැදගත් ආගමික මංගල්‍යයකි. මෙය ආලෝකයේ උත්සවය ලෙස ද හැඳින්වෙයි.

එය තවත් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් විය. නවීඩ් අක්‍රම්, අසල රථ ගාලේ ඉහළ සිට, ආගමික උත්සවයට සහභාගී වූ යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් ඉවක් බවක් නැතිව වෙඩි තැබීය. ඉන්පසු ඔහු වෙඩි තබමින් උද්‍යානය වෙත ඇවිද යද්දී, ඔහුගේ ඇඟට පැන, තුවක්කුව උදුරා ගනිමින් ඔහු මෙල්ල කර ගැනීමට එහි සිටි එක් නිර්භීත පුද්ගලයකුට හැකියාව ලැබුණි. ඔහුගේ අතට සහ උරහිසට ද වෙඩි ප්‍රහාර දෙකක් එල්ල විය. ජංගම දුරකතනවල සටහන් වුණු එම දසුන් ද මේ වනවිට ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇත. එම වීර ක්‍රියාව හේතුවෙන් බොහෝ දෙනකුගේ දිවි බේරුණි.

පොලිස් නිලධාරීන් පෙරළා කළ වෙඩි තැබිම්වලින් තුවාල ලැබූ නවීඩ් අක්‍රාම්, රෝහල් ගත කෙරුණි. 50 හැවිරිදි පියා පොලිස් වෙඩි පහරින් එම ස්ථානයේදීම මියගියේය. නවීඩ් අක්‍රම්ගේ ඇඟට පැන තුවක්කුව උදුරා ගත් වීරයා 43 හැවිරිදි දෙදරු පියකු සහ පලතුරු වෙළෙඳසැලක හිමිකරුවකු අහමඩ් අල් අහමඩ්ය. මොහු ද මුස්ලිම් වැසියෙකි. නවීඩ් අක්‍රම් සහ ඔහුගේ පියා පැමිණි මෝටර් රථයේ තිබී පුපුරන ද්‍රව්‍ය ද හමුවී ඇත. නවීඩ් අක්‍රම් එදා නිවසින් පිටවී ඇත්තේ, තාත්තා සමඟ මාළු අල්ලන්න යනවා යැයි මවට පවසමින් බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඕස්ට්‍රේලියාවේ මේ ආකාරයේ සමූහ ඝාතන දුලබය. මේ හා සමාන වෙඩි තැබීමක් මීට පෙර සිදුවූයේ 1996 වසරේ ටැස්මේනියාවේය. එය සිදුවූයේ පෝට් ආතර්හිදීය. 1996 සිද්ධියේදී එක් තුවක්කුකරුවකු කළ වෙඩි තැබීම්වලින් 35 දෙනෙක් ඝාතනය වූහ. ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ එදායින් පසු සිදුවුණු දරුණුතම වෙඩි තැබීමේ සිද්ධිය මෙය බවය. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව ඕස්ට්‍රේලියා රජය නිවේදනය කළේ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ යේදීමය. වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කම්පනයට පත්වුණු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් රූපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් ප්‍රකාශ කළේ එය ද්වේෂ සහගත යුදෙව් විරෝධී ක්‍රියාවක් බවය.

බොන්ඩි වෙරළ තීරය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි නගරයේ, මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ සිට නැගෙනහිරට දෙසට කිලෝ මීටර් 7 ක් පමණ දුරිනි. බොන්ඩි බීච් යනු සිඩ්නි නගරයේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණයයි. වෙරළ ආසන්නයේ ඇති අවන්හල් සහ සාප්පු සංචාරක ආකර්ෂණය දිනා ගෙන ඇත. නිවාඩු කාලවලදී, විශේෂයෙන්ම නත්තල ළං වෙද්දී, බොන්ඩි බීච් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පවතී. ශ්‍රී ලංකාවේ ආරුගම්බේ මෙන් බොන්ඩි වෙරළ තීරයද සර්ෆින් ක්‍රීඩාවට ප්‍රසිද්ධියක් උසුලයි.

ඕස්ට්‍රේලියාවේ යුදෙව්වන් යනු ශතවර්ෂ දෙකකට වඩා වැඩි ඉතිහාසයක් ඇති, රටේ සංස්කෘතික සහ ආර්ථික ක්ෂේත්‍රයන්ට විශාල දායකත්වයක් ලබා දෙන සක්‍රිය ප්‍රජාවකි. ඉතිහාසගත වාර්තා අනුව, ඕස්ට්‍රේලියාවට යුදෙව්වන්ගේ පැමිණීම ආරම්භ වූයේ 1788 දීය. පළමුවෙන් ඕස්ට්‍රේලියාවට රැගෙන ආවේ යුදෙව් සිරකරුවන් පිරිසකි. 20 වැනි සියවසේ මුල් භාගයේ කෙණෙහිලිකම්වලට ගොදුරු වුණු යුරෝපා රටවල යුදෙව්වන්, විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු දිවි ගලවා ගත් යුදෙව්වන් බොහෝ දෙනකුගේ පැමිණීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ යුදෙව් ප්‍රජාව විශාල වශයෙන් වර්ධනය විය.

ඕස්ට්‍රේලියාවේ යුදෙව්වන්ගෙන් බහුතරය ඇෂ්කෙනාසි යුදෙව්වන් වන අතර, ඔවුන් යුරෝපයෙන් පැමිණි අයගේ පරම්පරාවය. එසේම සෙෆාර්දි යුදෙව්වෝ ද සුළු වශයෙන් සිටිති. ඕස්ට්‍රේලියානු යුදෙව්වෝ, එරට විශාලතම නගර දෙක වන මෙල්බර්න් සහ සිඩ්නි අවට කේන්ද්‍රගත වී සිටිති. යුදෙව් ප්‍රජාව, ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයකි. එය සියයට 0.5 කි. සිඩ්නි නුවර ආසන්න වශයෙන් 43,738 ක් පමණ යුදෙව් ජනතාවක් වාසය කරන බව පැවසෙයි. මෙය ඕස්ට්‍රේලියාවේ මුළු යුදෙව් ජනගහනයෙන් සියයට 39 කි. වැඩිම යුදෙව්වන් ජීවත් වන නගරය මෙල්බර්න්ය.

පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ඕස්ට්‍රේලියා රජය නිල වශයෙන් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත්තේය. පලස්තීනය යනුවෙන් හැඳින්වෙන්නේ ගාසා තීරය නමැති කුඩා බිම් තීරුව සහ බටහිර ඉවුරය. පලස්තීනුවන් මුස්ලිම්වරුන්ය. ඕස්ට්‍රේලියා රජය, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය අනුව යමින්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත්තේ ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම්වැසියන් අමුඅමුවේ ඝාතනය කරන බැවිනි. ඊශ්‍රායලය යනු ලොව එකම යුදෙව් රාජ්‍යයයි. සිඩ්නි නුවර යුදෙවන් ඉලක්ක කර ගනිමින් සිදුවුණු මෙම කුරිරු ප්‍රහාරය තරයේ හෙළා දැකීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කළේය. ඕස්ට්‍රේලියා රජය, එරට මුස්ලිම් ප්‍රජාව අතරේ යුදෙව් විරෝධී ආකල්ප වර්ධනය කිරීමට උත්සහ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව සිදුවුණැයි චෝදනා කළේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ට ප්‍රසිද්ධියේ දොස් පැවැරීමක් ද කළේය. ඒ, ඕස්ට්‍රේලියා රජය, එරට යුදෙව්වන්ට නිසි ආරක්ෂාවක් ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS