බලශක්ති සැපයුමේ ජීවනාලිය

ඒ, 2024 ජූලි 13 වැනිදාය. මීළඟ ඇමෙරිකන් ජනාධිපතිවරණය යෙදී ඇත්තේ නොවැම්බර් 5 වැනිදාටය. ඊට තව ඇත්තේ දින 116 කි. 45වැනි ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපති සටනට ඉදිරිපත් වී සිටියේ ඔහුගේ දෙවැනි ධුර කාලය වෙනුවෙනි. ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයකුගේ ධුර කාලය සිවු වසරකි. එක් ජනපතිවරයකුට ධුර කාල දෙකක් සම්පූර්ණ කළ හැක. ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය 2017 ජනවාරි 20 සිට 2021 ජනවාරි 20 දක්වාය. 2020 ජනපතිවරණයෙන් ඔහු ඩිමොක්රටික් ජනපති ජෝ බයිඩන් හමුවේ පරාජය විය. 2024 ජනාධිපති සටනට ඔහු ඉදිරිපත් වූයේ එදා එනම් 2020 ජනපතිවරණයේදී අහිමි වුණු ජයග්‍රහණය, යළි ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.
2024 ජූලි 13 වැනිදා ට්‍රම්ප්, පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් නුවර එළිමහනේ පැවැති ජනරැලියක් ඇමතීමට වේදිකාවට ගොඩ වී සිටියේය. අසල ගොඩනැගිල්ලක වහලයක් මත, ආරක්ෂක නිලධාරීන්ගේ ඇස්වලට නොගැටී, සිරුමාරුවෙන් සැඟවී සිටියේ ස්නයිපර් තුවක්කුකරුවකි. ට්‍රම්ප් මහත් උද්යයෝගයෙන් ජන රැලිය අමතන්නට විය. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවෝ ඔල්වරසන් දෙන්නට වූහ. වහලේ සිටි ස්නයිපර් තුවක්කුකරු, මීටර් කීපයක් ඈත, පහළ වේදිකාවේ සිටි ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීය. ඔහු අට වරක් වෙඩි තැබීය.
50 හැවිරිදි ගිනි නිවන භටයකු වන කොරේ කොම්පැරටෝර් ජනතාව අතරේ සිටියේය. ඔහු ට්‍රම්ප් හිතවාදියෙකි. වහලේ සිටි තුවක්කුකරුගේ එක් වෙඩි උණ්ඩයකින් කොම්පැරටෝර් මැරී වැටුණි. තවත් දෙදෙනකුට බරපතල තුවාල සිදුවිය. එක් වෙඩි උණ්ඩයක්, ට්‍රම්ප්ගේ දකුණු කන් පෙත්ත සූරාගෙන ගියේය. ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි ජනපති ආරක්ෂක අංශ නිලධාරීන්, වහා ක්‍රියාත්මක වී ට්‍රම්ප් පෙරළා ගත්තේ ඔහුට ආරක්ෂාව දෙමිනි. තවත් ජනපති ආරක්ෂක නිලධාරියකු ඒ වන විට වහලයේ සිටි ස්නයිපර් තුවක්කුකරු දැක තිබුණි. ඔහු සැණින් පෙරළා වෙඩි තැබීය. ස්නයිපර් තුවක්කුකරු එතැනම අවසන් සුසුම් හෙළීය.
ස්නයිපර් තුවක්කුකරු 20 හැවිරිදි සුදු ජාතික තරුණයකු බවත්, ඔහුගේ නම මැතිව් කෲක්ස් බවත් පසුව හඳුනා ගැනුණි. මැතිව් කෲක්ස්ගේ ඉලක්කය තව දශම කීපයක් එහෙට මෙහෙට වුණා නම්, අද ට්‍රම්ප් ජීවතුන් අතර නැත. උණ්ඩය වදින්නේ ට්‍රම්ප්ගේ හිසට හෝ බෙල්ලටය. එසේ වූයේ නම්, ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ සිහිනය අවසන් වීමට ඉඩ තිබුණි. 2024 ජනාධිපතිවරණය ජයගනිමින් ට්‍රම්ප් ජනාධිපති නොවුණා නම්, අද ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හෙවත් ‘බීබී’ සමග එක් වී ඉරානය සමග යුද්ධයකට පැටලෙන්නේ නැත. අප කාටත් හිසරදයක් වුණු මේ යුද්ධය ආරම්භ කරන්නේ නැත. “අහෝ ... මැතිව් කෲක්ස්ගේ ඉලක්කය වෙනස් වුණා නම් ...” මේ ලෝකයේ බොහෝ දෙනකුට දැනෙන සිතුවිල්ලකි.
ට්‍රම්ප් සහ බීබී එක් වී, ඉරානයට ප්‍රහාර එල්ල කීරීම ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. අද මාර්තු 23 වැනිදාය. යුද්ධය ආරම්භ වී දින 24 කි. සතිවලින් නම් සති 3 කි. ඉරානය සම්බන්ධයෙන් ආරම්භ කළ යුද්ධය, ‘අවසන් කිරීම’ සම්බන්ධයෙන් තමන් සකලා බලන බව ට්‍රම්ප් පසුගිය 21 වැනිදා පැවැසීය. ට්‍රම්ප්ගේ වචනවල අර්ථය හරිහැටි තේරුම් ගැනීම වැදගත්ය. යුද්ධය, ‘අවසන් කිරීම’ යනු ට්‍රම්ප්ට අනුව, අප සිතන ආකාරයේ අර්ථයක් ඇති දෙයක් නොවන්නට පුළුවන. හේතුව, ට්‍රම්ප් කරන කියන දේ ඇතැම් විට පරස්පර විරෝධී වෙයි. 28 වැනිදා ඉරානයට පහර දීමෙන් පසු ට්‍රම්ප් පැවැසුවේ අපි (ඇමෙරිකාව) යුද්ධය දිනූ බවය. යුද්ධය දිනුවේ නම්, දින 24 ක් නැතිනම් සති 3 ක් තිස්සේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දිගින් දිගටම පහර දෙන්නේ ඇයිදැයි ඇමෙරිකානුවන් පවා විමසයි.
ඉරාන ඉස්ලාමීය පාලනය (රෙජීමය) පහසුවෙන් පෙරළා දැමීම කළ නොහැකි බව මේ වන විට ට්‍රම්ප්ට පවා වැටහී ඇති බවට සැකයක් නැත. එසේ වුවත්, ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ ඉරාන නායකත්වයෙන් මුල් පෙළ, දෙවැනි පෙළ, තෙවැනි පෙළ විනාශ කිරීමට ඇමෙරිකා සහ ඊශ්‍රායල හමුදා සමත් වී ඇති බවත්, දැන් සාකච්ඡා කරන්න පවා කිසිවකු නොමැති බවත්ය. කෙසේ හෝ වේවා, 21 වැනිදා ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේ, ‘ඉරානයේ ත්‍රස්තවාදී පාලනයට එරෙහිව මැදපෙරදිග කලාපයේ දියත් කළ දැවැන්ත යුද මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳව සලකා බලනවා. අපගේ අරමුණු සපුරා ගැනීමට ඉතා ආසන්නව සිටිනවා’ යනුවෙනි. ඇමෙරිකන් සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරානයේ මිසයිල හැකියාව අඩපණ කිරීමට, ගුවන් සහ නාවික හමුදා විනාශ කිරීමට හැකිවුණු බව ද ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය සටහන මගින් පැහැදිලි කර ඇත.
හෝමූස්
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්රහාරවලදී, ඉරානය ඔවුන්ගේ එකම ‘තුරුම්පුව’ භාවිතයට ගත්තේය. ඒ, හෝමූස් සමුද්‍ර සන්ධියයි. ඇමෙරිකාවට හෝ ඇමෙරිකන් හිතවාදී කිසිම රටක හෝ නැව්වලට හෝමූස් හරහා යෑමට ඉඩ නොදෙන බව ඉරානය තර්ජනය කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ අතිශය වැදගත් මාර්ගයක් වන්නේ, ලෝකයේ සමස්ත බොරතෙල් වෙළඳාමෙන් සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදු වන බැවිනි. මැදපෙරදිග තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වන්නේ සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. මේ රටවලින් නිෂ්පාදනය වන තෙල් එළියට එන්නේ, එසේත් නැතිනම් ජාත්‍යන්තර වෙළඳපොළට එන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය. එපමණක් නොව, ලෝකයේ ද්‍රවීකෘත ස්වාභාවික වායු (එල්.එන්.ජී.) වෙළඳාමෙන් සියයට 20 ක් පමණ ද මෙම සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර වෙළඳපොළට යයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය යනු ලෝක බලශක්ති සැපයුමේ ජීවනාලිය යැයි කීවොත් නිවැරදිය. මෙය මැදපෙරදිග කලාපයේ පිහිටි භූගෝලීය වශයෙන් ඉතා වැදගත්, ස්වාභාවික පටු මුහුදු මාර්ගයකි. පර්සියානු ගල්ෆ් කලාපය ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ මෙය සම්බන්ධ වෙයි. ඉරානය පිහිටන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ උතුරු දෙසිනි. ඉරානයට අයත් දූපත් කිහිපයක් ද සමුද්‍ර සන්ධිය තුළ ඇත. හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණු දෙසින් එක්සත් අරාබි එමීර් සහ ඕමානයේ මුසන්දම් අර්ධද්වීපය පිහිටා ඇත. මුසන්දම් අර්ධද්වීපය ඉතා කඳුකර ප්‍රදේශයක් වන අතර, එය සමුද්‍ර සන්ධියේ පටුම කොටසට ආසන්නව පිහිටයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ පටුම ස්ථානයේ පළල කිලෝමීටර් 33 පමණය. එසේ වුවත්, නැව් ගමනාගමනය සඳහා භාවිතා කරන නාවික මාර්ගයේ පළල ඊටත් වඩා පටුය. මෙම මාර්ගයේ පැමිණෙන සහ යන නැව් සඳහා වෙන වෙනම මංතීරු ඇති අතර, එක් එක් මංතීරු කිලෝමීටර් 3 ක් පමණ පළලය. මෙම මංතීරු අතර කිලෝමීටර් 3 ක් පමණ පළල මධ්‍යස්ථ කලාපයක් ද ඇත. සමුද්‍ර සන්ධිය ප්‍රමාණවත් තරම් ගැඹුරු වන අතර, ලෝකයේ විශාලතම බොරතෙල් ප්‍රවාහන නෞකාවලට පහසුවෙන් එහි යාත්‍රා කළ හැකිය. හෝමූස් සමුද්‍ර සන්ධියේ ගැඹුරුම කොටස ඕමානයේ මුසන්දම් අර්ධද්වීපය ආසන්නයේ දක්නට ලැබෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සහ ගෑස් ප්‍රවාහනය නොවන්නට, මැදපෙරදිග රටවලට විවෘත මුහුදට පිවිසීමට වෙනත් විකල්ප මාර්ග නොමැති තරම්ය. එබැවින්, එය ගෝලීය බලශක්ති සැපයුම සඳහා අත්‍යවශ්‍ය මාර්ගයකි. ආසියානු රටවල් වන අප ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව මෙම සමුද්‍ර සන්ධිය හරහා තෙල් ලබා ගන්නා ප්‍රධානම ගමනාන්ත වෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර හෝ එහි නාවික ගමනාගමනයට බාධා කිරීම, ගෝලීය ආර්ථිකයට සහ බලශක්ති වෙළඳපොළට විනාශකාරී බලපෑමක් ඇති කරයි. මේ වන විට එහි බලපෑම අපට දැනෙයි. තෙල් මිල ඉහළ යමින් පවතී. තෙල් හිඟයක් පවතී. හෝමූස් සමුද්‍ර සන්ධිය, තෙල් නෞකා ප්‍රවාහනයට පමණක් නොව එය මිලියන 100 ක ජනතාවක් පෝෂණය කිරීම සඳහා ආහාර ද්‍රව්‍ය හා ජලය ප්‍රවාහනය කිරීමට ද යොදා ගනී. ඇමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය මැදපෙරදිග ගල්ෆ් රටවල බොහොමක් අස්ථාවර කිරීමට හේතුවක් වෙමින් පවතී.
ගිම්හාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 (ෆැරන්හයිට් 122) ඉක්මවන අතර වගා කළ හැකි ඉඩම් ස්වල්පයක් ඇති බැවින්, ගල්ෆ් අරාබි රාජ්‍යයන්ගේ පානීය ජලයෙන් වැඩි ප්‍රමාණයක් මුහුදෙන් ලවණ ඉවත් කිරීමේ කම්හල් හරහා පැමිණෙයි. ඔවුන්ගේ ආහාර බොහොමයක් පැමිණෙන්නේ විදේශවලින්, නැව් මගිනි. සෞදි අරාබිය එහි ආහාරවලින් සියයට 80 කට වඩා වැඩියෙන් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආහාරවලින් සියයට 90 ක් ද කටාර් රාජ්‍යයේ ආහාරවලින් සියයට 98 ක් ද ලැබෙන්නේ හෝමූස් හරහාය. ඉරාකයේ ද, ප්‍රධාන ගංගා දෙකකට ප්‍රවේශය තිබියදීත්, ආහාර ආනයනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සිදුවෙයි. ඉරානය හෝමූස් වසා දැමීම සහ නැව් ගමනා ගමනයට බාධා කිරීම ඇමෙරිකාවේ මිතුරන් මෙන්ම ඇමෙරිකාවේ ආර්ථිකය ශක්තිමත් කරන සෞදියට, එමිරේට්ස් රාජ්‍යයට සහ කටාර් රාජ්‍යයට බරපතළ ගැටලුවක් වී අවසන්ය.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සහ අවහිර කිරීමට එරෙහිව තමන් සමග එක් වන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙසු රටවලින් කළ ඉල්ලීමට හිමිවූයේ යහපත් ප්‍රතිචාරයක් නොවෙයි. හෝමූස් වසා දැමීම නිසා බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කළ යුතු බව පෙන්වමින් ජපානය, කැනඩාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ඉතාලිය ඒකාබද්ධ නිවේදනයක් ද පසුගිය දා නිකුත් කළේය. ගල්ෆ් කලාපයේ නිරායුධ වෙළඳ නෞකාවලට, ගෑස් සහ ඉන්ධන ඇතුළු සිවිල් යටිතල පහසුකම් වලට ඉරානය එල්ල කරන ප්‍රහාර දැඩිව හෙළා දකින බවත් වර්ධනය වෙමින් පවතින මැද පෙරදිග කලාපයේ යුදමය තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පල කරන බවත් එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වී ඇත.
ඉරානය එල්ල කරන තර්ජන, මුහුදේ බෝම්බ ඇතිරීම, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඇතුළුව හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඉරානය ගන්නා සියලුම ක්‍රියාමාර්ග වහාම නතර කළ යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත. ජාත්‍යන්තර මුහුදේ නිදහසේ යාත්‍රා කිරීමට හැකිවීම ජාත්‍යන්තර නීතියේ ප්‍රධාන මූලධර්මයක් බව ද ජපානය, කැනඩාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ඉතාලිය පෙන්වා දී ඇත. ඉරානයේ ක්‍රියාකාරකම් මුළු ලෝකයටම බලපෑමක් එල්ල කර ඇති බවත් විශේෂයෙන් දැඩි අවදානම් රටවලට එය බලපා ඇති බවත් එම රටවල් අවධාරණය කර ඇත. ගෝලීය බලශක්ති සැපයුමට සහ ජාත්‍යන්තර නැව් මාර්ගවලට බාධා කිරීම ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බව ද ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට සහාය දෙන්නැයි කළ ඉල්ලීමට ට්‍රම්ප්ට සෙසු මිත්‍ර රටවලින් සහාය නොලැබීමත් සමග, ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ, ඇමෙරිකාවට හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ප්‍රයෝජනයක් නැති බවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිත කරන අනෙකුත් රටවල් විසින් අවශ්‍ය පරිදි එහි ආරක්ෂාව සහ මුර සංචාර කටයුතු සිදු කළ යුතු බවය. ඉල්ලීමක් කළහොත් පමණක්, ඇමෙරිකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ මුර සංචාර සඳහා පැමිණෙනු ඇතැයි ද ට්‍රම්ප් පැහැදිලි කළේය.
සමුද්‍ර සන්ධි
ලෝකයේ එකම සමුද්‍ර සන්ධිය හෝමූස් නොවෙයි. ලෝකයට වැදගත් වන එකම සමුද්‍ර සන්ධිය ද හෝමූස් නොවෙයි. සමුද්‍ර සන්ධියක් යනු විශාල ජල කඳන් දෙකක් යා කරන, සාපේක්ෂව පටු මුහුදු මාර්ගයකි. මේවා බොහෝ විට රටවල් දෙකක් හෝ මහාද්වීප දෙකක් අතර පිහිටා ඇත. මේවා ලෝක වෙළඳාමට, විශේෂයෙන්ම නෞකා ගමනාගමනයට ඉතාම වැදගත්ය.
මලක්කා සමුද්‍ර සන්ධිය - මෙය මැලේ අර්ධද්වීපය සහ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අතර පිහිටා තිබේ. ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ගවලින් එකකි. යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාව සිට ආසියාවට යන නැව්වලට මෙය ඉතාම වැදගත් වෙයි. විශේෂයෙන්ම තෙල් සහ අනෙකුත් භාණ්ඩ ප්රවාහනයටද මෙය අත්‍යවශ්‍යය.
බැබ් අල්-මන්ඩබ් සමුද්‍ර සන්ධිය - යේමනය සහ ජිබුටි/එරිත්‍රියාව අතර පිහිටා තිබෙන මෙය රතු මුහුද සහ ඒඩන් බොක්ක යා කරයි. සූවස් ඇල හරහා යන නැව්වලට මෙය ඉතාම වැදගත්ය. යුරෝපය සහ ආසියාව අතර කෙටිම මුහුදු මාර්ගය මෙයයි.
බොස්පොරස් සමුද්‍ර සන්ධිය - තුර්කියේ පිහිටා ඇති මෙය කළු මුහුද සහ මරමරා මුහුද යා කරයි. යුරෝපය සහ ආසියාව වෙන් කරන ස්වභාවික දේශසීමාවක් ලෙසත් මෙය ක්‍රියා කරන අතර, යුක්රේනය, රුසියාව වැනි රටවලට මුහුදට පිවිසීමට ඉතා වැදගත් වෙයි.
ඩාරදානෙල්ස් සමුද්‍ර සන්ධිය - තුර්කියේම පිහිටා ඇති මෙමගින් මරමරා මුහුද සහ ඒජියන් මුහුද යා කරයි. බොස්පොරස් සමුද්‍ර සන්ධිය සමඟ මෙය එකතු වී, කළු මුහුදේ සිට මධ්‍යධරණී මුහුදට යන ප්‍රධාන මාර්ගයක් බවට පත් වී ඇත.
ජිබ්රෝල්ටා සමුද්‍ර සන්ධිය - යුරෝපයේ (ස්පාඤ්ඤය) සහ අප්‍රිකාවේ (මොරොක්කෝව) අතර පිහිටා ඇති මෙය අත්ලාන්තික් සාගරය සහ මධ්‍යධරණී මුහුද යා කරයි. ලෝකයේ වැදගත්ම මුහුදු මාර්ගවලින් එකක් වන මෙය උපායමාර්ගිකව ඉතා වැදගත් ස්ථානයක පිහිටයි.
බෙරින් සමුද්‍ර සන්ධිය - ආසියාවේ (රුසියාව) සහ උතුරු ඇමරිකාව (ඇලස්කාව) අතර පිහිටා ඇති මෙමගින් බෙරින් මුහුද සහ චුක්චි මුහුද යා කරයි. මෙය ආක්ටික් කලාපයට පිවිසීමට වැදගත් වන අතර, අනාගතයේදී වෙළඳ මාර්ග සඳහා එහි වැදගත්කම වැඩි විය හැකිය.
මැගලන් සමුද්‍ර සන්ධිය - දකුණු ඇමරිකාවේ දකුණු කෙළවරේ, චිලී රාජ්‍යයේ පිහිටා ඇති මෙය අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය යා කරයි. පැනමා ඇළ ඉදිවීමට පෙර මෙය අතිශය වැදගත් මුහුදු මාර්ගයකි.
පෝක් සමුද්‍ර සන්ධිය - ඉන්දියාව සහ අප ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති මෙය බෙංගාල බොක්ක සහ මන්නාරම් බොක්ක යා කරයි. ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට ද මෙය වැදගත් වෙයි. සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය මගින් මෙම ප්‍රදේශයේ නැව් ගමනාගමනය වැඩි දියුණු කිරීමට උත්සාහයන් දරා ඇත.
දියේගෝ ගාසියා
මත්තල ගුවන්තොටුපළට ප්‍රහාරක ගුවන් යානා දෙකකට පැමිණීමට ඉඩ දෙන ලෙස ඇමෙරිකාව, ඉල්ලා සිටි බවත්, ශ්‍රී ලංකාවට පැමිණීමට ඉරාන නෞකා ද අවසර ඉල්ලා සිටි බවත් මෙම ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කිරීමට රජය පියවර ගත් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඒ, පවතින මේ යුද්ධයේ දී කිසිවකුගේ පැත්තක් නොගන්නා බව ඒත්තු ගන්වමිනි. ඉකුත් 21 වැනිදා වන විට, ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය ගැටුම් මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ගොස්, ඉන්දීය සාගරය දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් කර ඇත. ඒ, ඉරාන විප්ලවීය හමුදාව ඉන්දීය සාගරයේ පිහිටි අතිශය වැදගත් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා මධ්‍යස්ථානයක් වන ‘දියේගෝ ගාසියා’ කඳවුර ඉලක්ක කර ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කිරීමත් සමගය. කෙසේ නමුත් මෙම මිසයිලවලට නිවැරදි ඉලක්කවලට ළඟා වීමට නොහැකි වූ බව ඇමෙරිකන් හමුදාව පවසයි. එක් මිසයිලයක් ගුවනේදී අක්‍රීය වී කඩා වැටී ඇති අතර, අනෙක් මිසයිලය අමෙරිකානු යුද නෞකාවකින් නිකුත් කළ ප්‍රති-මිසයිල පද්ධතියක් මගින් විනාශ කෙරුණු බව පැවැසෙයි.
දියේගෝ ගාසියා දූපත පිහිටා ඇත්තේ ඉරානයේ සිට කිලෝමීටර් 4,000ක් දුරිනි. ඒ අනුව ඉරානයට කිලෝමීටර් 4,000ක් දුර විදිය හැකි මිසයිල ඇති බව තහවුරු වී තිබේ. මීට පෙර ඇමෙරිකාව පැවැසුවේ ඉරානය සතුව ඇත්තේ කිලෝමීටර් 2,000 ක දුරකට විදිය හැකි මිසයිල පමණක් බවය. දියේගෝ ගාසියා යනු ඉන්දියන් සාගරයේ පිහිටි ඉතාම උපායමාර්ගික වැදගත්කමක් සහිත දූපතකි. මෙය මධ්‍යම ඉන්දියන් සාගරයේ පිහිටි චාගෝස් දූපත් සමූහයේ විශාලතම දූපත වන අතර, භූගෝලීය වශයෙන් ගත් කල මෙය ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම පිහිටි දූපතක් නොවේ. ශ්‍රී ලංකාවේ සිට දියේගෝ ගාසියා දූපතට ඇති දුර දළ වශයෙන් කිලෝමීටර් 1,700ක් (සැතපුම් 1,000ක් පමණ) වන අතර, එය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවේ දකුණු වෙරළට කෙළින්ම දකුණු දෙසින් පිහිටා තිබේ. මෙම දූපතේ දේශපාලනික ඉතිහාසය ඉතා සංකීර්ණ සහ මතභේදකාරී එකකි. 1960 දශකයේදී බ්‍රිතාන්‍යය විසින් මෙම දූපත් සමූහයේ පදිංචිව සිටි ස්වදේශික ජනතාව බලහත්කාරයෙන් ඉවත් කොට, දියේගෝ ගාසියා දූපත ඇමරිකානු එක්සත් ජනපදයට යුද කඳවුරක් පවත්වාගෙන යාම සඳහා බදු දෙන ලදී. වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර නීතිමය සටන්වලින් පසුව, මෙම දූපත් සමූහයේ ස්වෛරීභාවය මොරිෂස් රාජ්‍යයට හිමිවිය යුතු බව තහවුරු විය. කෙසේ වෙතත්, එහි පවතින ඇමෙරිකානු යුද කඳවුරේ අවශ්‍යතාව මත, දූපතේ අයිතිය පිළිබඳ ගිවිසුම් තවමත් සංකීර්ණ ලෙස ක්‍රියාත්මක වේ. යුදමය වශයෙන් දියේගෝ ගාසියා ලෝකයේ අතිශය වැදගත් ස්ථානයකි. ඇමරිකානු ගුවන් සහ නාවික හමුදාවන් විසින් මෙම දූපතේ ප්‍රධාන කඳවුරක් පවත්වාගෙන යනු ලබන්නේ මැදපෙරදිග, දකුණු ආසියාව සහ අප්‍රිකානු කලාපයේ සිදුවන ඕනෑම ක්‍රියාකාරකමක් ඉතා ඉක්මනින් නිරීක්ෂණය කිරීමට සහ මැදිහත් වීමට පහසු වන පරිදිය. එහි සිටින ජනගහනය ප්‍රධාන වශයෙන්ම යුද කඳවුරේ සේවය කරන ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, සිවිල් ජනාවාසයක් එහි නොමැත
බීබීසී ඇසුරිනි

