පුටින්ගේ කොරෝනා එන්නත



‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසයෙන් බැට කන ලෝකයේ එකම බලාපොරොත්තුව, වයිරසය අඩපණ කළ හැකි හෝ වයිරය ආසාදනය වීම වැළැක්විය හැකි හෝ එන්නතකි. වයිරසවලට එන්නත් නිර්මාණය පහසු කාර්යයක් නොවන අතර, හෙම්බිරිස්සාවක් වැනි ‘කොවිඞ් 19’ වයිරසයට එන්නතක් නිර්මාණය අභියෝගයකි. ඒ, වයිරස සැමවිටම වෙනස් වන බැවිනි.

‘කොවිඞ් 19’ වයිරසය ලොව ගිල ගනිද්දී, රටවල් බොහොමයක ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් වයිරසය ආසාදනය වීමෙන් වැළැකීමට එන්නත් නිර්මාණයට යොමු විය. එය තරගයක් විය. ඒ අතරින් සාර්ථක වේවි යැයි අනුමාන කළ හැකි එන්නත් කීපයක් බලාපොරොත්තු දැල්වීමට ද සමත් විය. එයින් කැපී පෙනෙන්නේ බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය මැදිහත් වී නිපදවන එන්නත ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ද ඊට යොමු විය.

ඔක්ස්ෆර්ඞ් එන්නත පමණක් නොව, සෙසු එන්නත් ද අත්හදා බැලීම් අවසන් අදියරේ පවතකින බවත්, ඒවා ආරක්ෂිතව ලෝකවාසීන්ට ලබා ගැනීමට හැකිවනු ඇත්තේ ලබන වසර මැද දී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුනපුනා පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ පවසා තිබුණ ද, ලොවම මවිතයට පත් කරමින්, රුසියාව පැවැසුවේ එරට ‘ගමලේයා’ නමැති වෛද්‍ය පර්යේෂණ සමාගමේ විද්‍යාඥයන් සහ වෛද්‍ය පර්යේෂකයන් නිර්මාණය කළ එන්නත සර්ථක බවත් එය රුසියානුවන්ට ලබා දීමට පියවර ගන්නා බවත්ය. එන්නත ලියාපදිංචි කිරීමට ද රුසියන් රජය පියවර ගෙන තිබේ.

‘ගමලේයා’ සමාගම

එන්නත නිපදවා ඇති ‘ගමලේයා’ සමාගම රුසියන් රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන වෛද්‍ය පර්යේෂණ ආයතනයකි. එන්නත නිපදවා ඇත්තේ, ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වීමෙන් වැළැකී සිටීමටය. එන්නත නිර්මාණය ආරම්භ කළ දා පටන්, රුසියන් ජනපති පුටින් ඒ ගැන උනන්දුවක් දක්වා ඇතැයි ද පැවැසෙයි.

එන්නත නිර්මාණය, සෝවියට් දේශය, ඇමෙරිකාව සමඟ අභ්‍යවකාශය ජය ගැනීම වෙනුවෙන් කළ තරගයේ දී පළමුවෙන් ‘ස්පුට්නික්’ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හා සමාන යැයි රුසියන් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. රුසියානුවෝ මෙම කොරෝනා එන්නත නම් කර ඇත්තේ ද ස්පුට්නික් 5 යනුවෙනි.

සායනික වශයෙන් සිදු කරන පර්යේෂණ වාර්තා තවමත් අසම්පූර්ණ නමුත්, රුසියානුවන් වෙනුවෙන් එන්නත කඩිනමින් ලබා දීමට, එය ලියාපදිංචි කිරීමට රුසියන් තීරණය කළේ ජනපති පුටින් ඒ ගැන තබා ඇති විශ්වාසය නිසාය. ලියාපදිංචි කළත්, එන්නත අවුරුදු 18 අඩු සහ 60 ට වැඩි අය වෙනුවෙන් නිර්දේශ නොවනු ඇති බව ද පැවැසෙයි.

එන්නත ගැන විශ්වාසය තබමින්, රුසියන් ජනපති පුටින්ගේ දියණියක ද එන්නත ලබා ගත්තාය. රුසියන් ජනපතිට දියණියෝ දෙදෙනකි. ඒ, මරියා සහ කත්‍රිනා ය. කත්‍රිනාගේ වයස අවුරුදු 33 කි. මුලින්ම එන්නත ලබා ගත් කණ්ඩායමේ කෙනකු වන්නේ මරියා වොරොන්සෝවා ය. 35 හැවිරිදි මරියා, වෛද්‍ය පර්යේෂිකාවකි.

එන්නත ලබා ගත් දියණිය මරීයා (මැද)

සාමාන්‍ය ආරක්ෂිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර, රුසියාව මෙම එන්නත එරට වැසියන්ට ලබා දීමට සැරසෙන්නේ, කොරෝනා වයිරසයට පළමු එන්නත සොයා ගැනීමේ කීර්ති නාමය වෙනුවෙන් යැයි රටවල් ‘බොහොමයකින්’ චෝදනා එල්ල වෙයි. මෙම රටවල් ‘බොහොමය’ රුසියානු විරෝධී රටවල් බව ද කිව යුතුය. මහා බ්‍රිතාන්‍යය ද ඒ අතර වෙයි.

ලන්ඩනයේ ‘යුනිවර්සිටි කොලේජ්’ සරසවියේ ජාන විද්‍යා ඒකකයේ මහාචාර්ය ෆ්‍රොන්සුවා බැලොක්ස් පවසන්නේ රුසියාව ඉක්මන් වී, මෝඩ වැඩක් කරන්න සූදානම් වන බවය.

‘ගමලේයා ආයතනය එන්නත අත්හදා බලා ඇත්තේ රුසියානුවන් 144 දෙනකු යොදා ගනිමින්. ඔවුන්ගෙන් 38 දෙනකු ට දරුණු අතුරු ආබාධ ඇති වුණා. උණ, සිහිවිකල්වීම, සිරුර දුර්වලවීම, චර්ම ආසාදන ආදිය ඇති වුණා. රුසියානු රජය සාමාන්‍ය ආරක්ෂිත ක්‍රියාපටිපාටිය පසෙකලා එන්නත එරට වැසියන්ට ලබා දෙන්න හදිසි වීම අණුවන කමක්.’ යැයි මහාචාර්යවරයා පැහැදිලි කරයි.

ඇමෙරිකාවේ වයිරස සම්බන්ධ විශේෂඥවරයා මෙන්ම, ඇමෙරිකානු වසංගත රෝග විද්‍යායනයේ ප්‍රධානියා ද වන වෛද්‍ය ඇන්තනි ෆවුචිගෙන් ඇමෙරිකන් මාධ්‍යවේදීන් රුසියානුවන්ගේ ‘කොරෝනා එන්නත’ ගැන අදහස් විමසීමක් කළ අතර, ෆවුචි ඊට මෙසේ පිළිතුරු දුන්නේය. ‘රුසියාව ඔවුන්ගේ මෙම එන්නත නිපදවන්න චීනයේ සහාය ලබා ගන්නා බව රහසක් නොවෙයි. අපට ආරංචියි චීනය මෙම එන්නත එරට හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට ලබා දුන් බව. රුසියානු රජය හදිසි විය යුතු නැහැ. එන්නත ජනතාවට ලබා දීම කළ යුත්තේ එය ආරක්ෂිතදැයි තහවුරු කිරීමෙන් පසුවයි. ඒකට කාලය ගත වෙනවා. කලබලවෙලා හදිසියේ ඒක කරන්න බැහැ.’

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS