පුංචි හපනා අයිසෙක් බාරි



උපන් හපන්කම් ඇති දරුවකුට, මාපියන්ගෙන් නිසි මග පෙන්වීමක් ලැබෙනවා නම්, ශ්‍රේෂ්ඨත්වය කරා යෑම අමාරු වෙන්නේ නැහැ. අසාමාන්‍ය දක්‍ෂතා ඇති පුංචි හපනුන් ගැන විස්මිත තොරතුරු නිරන්තරයෙන් අසන්න ලැබේ. සමහර පුංචි හපනුන්, උපතින්ම ගායනයෙන් සහ නර්තනයෙන් දස්කම් දක්වයි. තවත් සමහරුන්, කුඩා කාලයේදීම ගණිත ගැටලු සහ භෞතික විද්‍යා ගැටලු විසදීමට සමත්ය. මෙවැනි අසාමාන්‍ය කුසලතා සහිතව උපත ලබන දරුවන් තම තමන්ගේ මාතෘභූමියට ආඩම්බරයකි. මේ එවැනි පුංචි පුතකු ගැන කතාවකි. සොබොර්නෝ පටෙක් බාරී Soborno Patek Bari එසේත් නැතිනම් අයිසෙක් බාරි Isaac Bari නමැති මේ පුංචි පුතා, ලෝකයේ ළාබාලතම මහාචාර්යවරයාය.

අයිසෙක් බාරි උපන්නේ, 2012 අප්‍රියෙල් 9 වැනිදාය. මෙම 2024 වසරට ඔහුගේ වයස අවුරුදු 12 කි. අයිසෙක් බාරිගේ මව සහ පියා ඇමෙරිකාවට සංක්‍රමණය වුණු බංග්ලාදේශ ජාතිකයන්ය. රෂීදුල් සහ ෂහේදා 2002 ජූනි 10 දින විවාහ වූ බව පැවැසෙයි. අයිසෙක් බාරි උපන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරය. ඔහුගේ පියා රෂීදුල් ගණිතඥයෙකි. දක්ෂයෙකි. මව ෂහේදා බාරි ය. 2020 වසරේ දී ග්ලෝබල් චයිල්ඩ් ප්‍රොඩජි Global Child Prodigy සම්මානයෙන් ද අයිසෙක් බාරි පිදුම් ලැබුවේය.

අයිසෙක් බාරිගේ පියා රෂිදුල්, කුඩා කළ අයිසෙක් හැදින්වූයේ රිෆාට් යන නමිනි. අයිසෙක් බාරිගේ පියා සහ මව ආර්ථික ගැටලු රැසකට මුහුණ දුන් යුවළකි. ඔවුන්ට හරිහැටි කෑමක් බීමක් නොමැති වූ අවස්ථාද තිබුණි. ඒත් මොන ගැටලු තිබුණත්, ඔවුන්ගේ ලෝකයට සතුට ගෙනාවේ අයිසෙක් බාරි ය. සහජ කුසලතා ඇති පුතකු ලැබීම ගැන රෂීදුල් සහ ෂහේදා සිටින්නේ ආඩම්බරයෙනි.

අද වනවිට අයිසෙක් බාරි බංග්ලාදේශයට ද ජාතික වස්තුවක් බවට පත් වී අවසන්ය. උපත ලබා මාස 6 පසු වෙද්දී, අයිසෙක් බාරි කතා කිරීමට පටන් ගත්තේය. එය ඔහුගේ පියාගේත් මවගේත් පුදුමයට හේතුවක් විය. අයිසෙක් බාරි, ලොව අසාමාන්‍ය දක්ෂතා පෙනුම් කරන දරුවකු වේවි යැයි එදා ඔහුගේ පියා හෝ මව සිතුවේ නැත.

වයස අවුරුදු දෙකේදී, අයිසෙක් බාරි, ගණිත ගැටලු, භෞතික විද්‍යා සහ රසායන විද්‍යා ගැටලු විසඳීය. ගණිතය, භෞතික විද්‍යා සහ රසායන විද්‍යාව සම්බන්ධයෙන් ඔහුගේ දැනුම අසමසමවිය. මේ පුංචි හපනා ගැන කවුරුත් කතා කළේ පුදුමයෙනි. වොයිස් ඔෆ් ඇමෙරිකා, Voice Of America රූපවාහිනී වැඩසටහනට සම්මුඛ සාකච්ඡාවක් සදහා ද අයිසෙක් බාරි සහභාගී විය. Voice Of America වැඩසටහනට ආ ළාබාලතම අමුත්තා ලෙස සැලකෙන්නේ ද අයිසෙක් බාරි ය. එම වැඩසටහන ලොව කාගේත් අවධානයට ලක්විය. සොබොර්නෝ පටෙක් බාරී, අයිසෙක් බාරි යනුවෙන් හැදින්වීම සිදුවූයේ ඉන්පසුවය. ඒ, සුප්‍රසිද්ධ විද්‍යාඥ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් සිහි ගන්වමිනි.

 

අයිසෙක් බාරි ගේ සහජ කුසලතා හඳුනාගත් බොහෝ මහාචාර්යවරුන් සහ අධ්‍යාපනඥයන් ඔහුට බොහෝ විශ්ව විද්‍යාලවලට ආරාධනා කර තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ලුරිස් රිචඩ්සන් සහ ජනාධිපති ෆවුස්ට්ගෙන් අයිසෙක් බාරි ට ලිපි දෙකක් ලැබී ඇත.

ලොව ළාබාලතම මහාචාර්යවරයා ලෙස අයිසෙක් බාරි මේ වනවිට ලෝක වාර්තා අතරට ද එක් වී සිටී. ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලවලින් ඔහුට නිරන්තරයෙන් ඇමතුම් ලැබේ. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන්, පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් ඔහුට ඇරැයුම් ලැබී ඇත. ලෝක නායකයන් අයිසෙක් බාරිගේ දක්ෂතා ඇගැයීමට ලක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා ඇත්තේ අයිසෙක් බාරි සුවිශේෂී දරුවකු බවය. අයිසෙක් බාරි ලෝකයේ ප්‍රබල පුද්ගලයන් බෙහෝ දෙනකුගේ අවධානයට ලක් වූ කීර්තිමත් දරුවකු යැයි කිවොත් එහි වරදක් නැත. අධ්‍යයන ජයග්‍රහණවලට අමතරව, අයිසෙක් බාරි  විනෝදාංශ ලෙස චිත්‍රපට නරඹයි. සංචාරයේ යෙදෙයි. විවිධාකාරයේ විද්‍යාත්මක පර්යේෂණවලටය යොමු වී සිටී.

‘ඔයා කන්න ආසා මොනවාද?’ ඔබ අයිසෙක් බාරිගෙන් විමසුවොත් ඔහු මෙසේ පිළිතුරු දෙනු ඇත. ‘මම කන්න ආසා කරන්නේ චීන කෑම. ඒ වගේමයි රසම රස බුරියානි’. අයිසෙක් බාරි තමන් ගැන මෙසේ පවසා තිබේ. ‘ඕනෑකම තිබෙනවා නම්, නිවැරදි මඟ පෙන්වීමක් සිදුවෙනවා නම්, මහන්සි වී වැඩ කරනවා නම්; අපි ඕනෑම කෙනකුට ශ්‍රීමත් අයිසැක් නිව්ටන් වෙන්න පුළුවන්.’


RECOMMEND POSTS