පියවි ඇසින් දුටු කොළපාට අමුත්තා



කොළ පැහැති අමුත්තකු රාත්‍රී අහසේ දකින්න ලැබුණි. රාත්‍රී අහස පැහැදිලි නම්, වලාකුළු අඩු නම්, සඳුගේ දීප්තිය අඩු නම්, නගරවල ආලෝකය අඩු නම්, කොළ පැහැති මේ අමුත්තා, පියවි ඇසින් දකින්න ලැබුණි. මේ අමුත්තා ධූමකේතුවකි; එසේත් නැතිනම් වල්ගාතරුවකි. තාරකා විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ C/2022 E3 (ZET) යනුවෙනි. මෙම වල්ගාතරුව, අපට මෙසේ දකින්න ලැබුණේ වසර 50,000 කට පසුව වීම විශේෂත්වයකි.

C/2022 E3 (ZET) වල්ගාතරුව හඳුනා ගැනීම සිදුවූයේ පසුගිය 2022 වසරේදී මාර්තු මාසයේදීය. ඒ, එය බෘහස්පති ග්‍රහයා පසුකරද්දීය. දුරේක්ෂ ආධාරයෙන් වල්ගාතරුව මුලින්ම හඳුනා ගැනීම කළේ ‘ස්විකි ට්‍රාන්සියන්ට් ෆැසිලිටි’ (Zwicky Transient Facility) නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයන්ය. ඒ අනුව, එය C/2022 E3 (ZET) ලෙස නම් කෙරුණි. සෞරග්‍රහ මණ්ඩලයේ සීතල අඳුරු කලාපයේ සිට පැමිණි C/2022 E3 (ZET) වල්ගාතරුව, හිරුට වඩා ළං වූයේ පසුගිය ජනවාරි 21 වැනිදාය. ඉන්පසු එය පෘථිවියට වඩාත් ළං වී ගමන් කළේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය.

“C/2022 E3 වල්ගාතරුවේ දීප්තිය වැඩි වූයේ එය පෘථිවියට ළං වෙද්දී” යැයි මහාචාර්ය තෝමස් ප්‍රින්ස් පෙන්වා දෙයි. ඇමෙරිකාවේ කැලිෆෝනියා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා මහාචාර්යවරයකු වන ප්‍රින්ස්, ‘ස්විකි ට්‍රාන්සියන්ට් ෆැසිලිටි’ ආයතනය හා සම්බන්ධව කටයුතු කරයි. අනෙක් වල්ගාතරු මෙන්ම, C/2022 E3 ද නිර්මාණය වී ඇත්තේ අයිස් සහ දූවිලිවලිනි. එය කොළ පැහැයෙන් දිස්වන්නේ කොළ පැහැති ආලෝකය විහිදුවන බැවිනි. වල්ගා තරුවේ විෂ්කම්භය කිලෝ මීටරයක් යැයි පැරිස් නිරීක්ෂණාගාරයේ තාරකා භෞතික විද්‍යාඥ නිකොලස් බීවර් පවසා ඇත.

C/2022 E3 වල්ගාතරුවට පෙර, පෘථිවියේ අපට දකින්න ලැබුණේ ‘නියෝවයිස්’ (NEOWISE) වල්ගාතරුවය. ඒ, 2020 මාර්තු මාසයේ දීය. ‘නියෝවයිස්’ වල්ගාතරුව දකින්න ලැබුණේ දුරේක්ෂ ආධාරයෙනි. වඩා ජනප්‍රිය හේල් බොප් (Hale-Bopp) වල්ගාතරුව, අවසන් වරට දකින්න ලැබුණේ 1997 වසරේදීය. හේල් බොප් වල්ගාතරුව මහ දැවැන්තයෙකි. විෂ්කම්භය කිලෝ මීටර් 60 කි. “අනෙක් වල්ගාතරු හා සැසඳීමේදී C/2022 E3 විශාල එකක් නොවෙයි.” යැයි බිවේර් ඒ.එෆ්.පී. පුවත් සේවය සමඟ පවසා තිබේ.

උතුරු අර්ධගෝලයේ මහ වලසා සහ කුඩා වලසා තරු පංති අතරින් C/2022 E3 වල්ගාතරුව පැහැදිලිව දකින්න ලැබුණු බව ද බිවේර් වැඩි දුරටත් පවසයි. මීට පෙර මෙම C/2022 E3 වල්ගාතරුව පෘථිවිය අසලින් යන්න ඇත්තේ, පේලියෝකිලික අවදියේ, නියැන්ඩතාල් මානවයන් පෘථිවියේ වාසය කරද්දීය.

යළි වල්ගාතරුව යළි පෘථිවිය අසලින් යනු ඇත්තේ තවත් වසර 50,000 කිනි. විශ්වයේ රඳවා ඇති නාසා ආයතනයේ ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂය ද C/2022 E3 වල්ගාතරුව නිරීක්ෂණය කරන බවත්, වල්ගාතරුවේ ඡායාරූප ලබා ගැනීම සහ එහි දත්ත රැස් කර ගැනීම සිදු කළ බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ලබන පෙබරවාරි 10 වැනිදා C/2022 E3 වල්ගාතරුව අඟහරු සමීපයෙන් ගමන් කරනු ඇතැයි පවසන්නේ එහි ගමන් මඟ ගැන විමසිල්ලෙන් පසුවන ඇමෙරිකාවේ නාසා ආයතනයයි. වල්ගාතරුව ඌට් (Oort) වලාවේ සිට ආ එකක් යැයි හඳුනාගෙන තිබේ. අප සෞරග්‍රහ මණ්ඩලයේ අයිස්වලින් සුසැදි අබිරහස් වස්තූන් රැසක් ඇත්තේ ද ඌට් වලාවේය. තාරකා විද්‍යාඥ ජේ.එච්. ඌට් විසින් හඳුනා ගනු ලැබූ, නක්ෂත්‍ර ඒකක 30000 ත් 100000 ත් දුරකින් සූර්යය වාටා කක්ෂගත වන්නා වූ ධූමකේතු වලාවක් මෙම නමින් හැඳින්වෙයි. ඌට් වළාවේ දූවිලි සහ අයිස්වලින් සැදුණු ධූමකේතු 100,000,000,000,000 ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ.

රාත්‍රී අහසේ දකින්න ලැබෙන වල්ගයක් සහිත දීප්තිමත් ආකාශ වස්තු ධූමකේතු එසේත් නැතිනම් වල්ගාතරුය. වල්ගාතරු ද සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයන්ය. වල්ගාතරු, ඇදුණු ඉලිප්සීය කක්ෂයක හිරු වටා ගමන් කරයි. රාත්‍රී අහස වර්ණවත් කරන වල්ගාතරුවක් යනු කිලෝ මීටර් ගණනක විෂ්කම්භයක් ඇති දූවිලි අයිස් බෝලයකි. වල්ගාතරුවක් තුනී වායු වැස්මකින් ආවරණය වී ඉතා කුඩා අංශුවලින් සෑදී ඇත. ප්‍රමාණයෙන් විශාල වල්ගාතරුවකට හිසක් ද, සංඝටක කොටසක් හෙවත් න්‍යෂ්ටියක් ද, පිටතට විහිදෙන දිගු වල්ගයක් ද ඇත. කුඩා වල්ගාතරුවලට වල්ගයක් නැත. වල්ගා තරුවක වල්ගය සැමවිටම පිහිටන්නේ හිරු දෙසට නොව; හිරුගෙන් විරුද්ධ දෙසටය. වල්ගාතරු දකින්න ලැබෙන්නේ නියමිත කාලයකට වරකි. හිරුට ළං වෙද්දී, වල්ගාතරුවේ වේගය පැයට කිලෝ මීටර් මිලියන දෙකක් පමණ වෙයි. හිරුගෙන් ඈතට යද්දී, වල්ගාතරුවේ වේගය අඩාල වෙයි. ඒ, පැයට කිලෝ මීටර් 100 ක් දක්වාය. වල්ගාතරුව වැඩි කාලයක් ඈත විශ්වයේ සෙමින් ගමන් කරන්නේ මේ නිසාය. 1997 හෙල් බොප් වල්ගා තරුව, 1811 වසරෙන් පසු පෘථිවියට පැහැදිලිව, දීප්තියෙන් දකින්න ලැබුණු වල්ගාතරුවය. ෂූමාකර් ලෙවි 9 නමැති වල්ගාතරුව, 1994 වසරේ බෘහස්පති ග්‍රහයා මතට පතිත විය. දුරේක්ෂ ආධාරයෙන් පෘථිවි විද්‍යාඥයෝ එය නිරීක්ෂණය කළහ. වඩාත් ප්‍රකට වල්ගාතරුව හේලිගේ වල්ගාතරුවය.

කවුරුත් හොඳින් දන්නා ප්‍රකට වල්ගාතරුව හේලිගේ වල්ගා තරුවය. හේලිගේ වල්ගා තරුව යනුවෙන් මෙය හැඳින්වෙන්නේ, එඩ්මන්ඩ් හේලිගේ නමින් එය නම් කර ඇති බැවිනි. එඩ්මන්ඩ් හේලි (1655-1742) බ්‍රිතන්‍ය ජාතික විද්‍යාඥයෙකි. ගණනය කිරීම් අනුව, ඔහු අනාවැකියක් පැවැසීය. ඒ, 1758 දී වල්ගාතරුව පෘථිවියට දකින්න ලැබෙන බවය. අනාවැකිය නිවැරදි විය. එඩ්මන්ඩ් හේලි මියගොස් වසර 16 ක් යද්දී වල්ගාතරුව දකින්න ලැබුණි. වල්ගා තරුවක් ගැන අනාවැකියක් කී පළමු අවස්ථාව මෙයයි.

හේලිගේ වල්ගාතරුව දකින්න ලැබෙන්නේ සෑම වසර 76 කට වරකි. හේලිගේ වල්ගාතරුවේ කක්ෂය බුද සහ සිකුරු අතරින්, නෙප්චූන් ද පසු කර යයි. චීන ඉතිහාස වාර්තා අනුව ක්‍රි.පූ. 240 වසරේ දී මෙම වල්ගාතරුව දකින්න ලැබී ඇත. ක්‍රි.ව. 837 දී වල්ගා තරුව යළිත් වරක් දිස්වුණු අවස්ථාවේදී, එය සිකුරු ග්‍රහයාටත් වඩා දීප්තියෙන් වැඩි බවත් අහස පුරා වල්ගය දිස්වුණු බවත් චීන තාරකා විද්‍යාඥයෝ පවසති. එංගලන්තයේ හැරොල්ඩ් රජු, 1066 දී වල්ගාතරුව දුටුවේය. ඊට මාස කීපයකට පසු විලියම්ගේ ආක්‍රමණයෙන් රජුට බලය අහිමි විය. ජනතාව දොස් නගන්න වූයේ වල්ගාතරුවටය. ඒ, අසුබ නිමිත්තක් බව පෙන්වා දෙමිනි.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS