පිටසක්වළයන් ගැන සාක්ෂි



පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන කසුකුසුවක් නිර්මාණය වූයේ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන අසාමාන්‍ය සිරුරු දෙකක් මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ දී ප්‍රදර්ශනය කිරීමත් සමඟය. එය බොහෝ දෙනාගේ මවිතයට හේතුවක් විය. අසාමාන්‍ය සිරුරු මෙක්සිකෝ පාර්ලිමේන්තුවට රැගෙනවිත්, ඒවා ප්‍රදර්ශනය කළේ මෙක්සිකන් මාධ්‍යවේදී ජේමී මවුසාන් සහ එරට නාවික හමුදා වෛද්‍ය හෝසේ දෙ යේසුස් සල්සේ බෙනිටිස් ප්‍රමුඛ කණ්ඩායමය.

70 හැවිරිදි ජේමී මවුසාන්, දශක ගණනක් තිස්සේ පිටසක්වළ ජීවීන් සැබෑවක් යැයි ඔප්පු කිරීමට වෙහෙසෙන මාධ්‍යවේදියෙකි. ඔහු අසාමාන්‍ය එම සිරුරු මෙක්සිකෝ පාර්ලිමේන්තුවට රැගෙනවිත් තිබුණේ පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි Unidentified Aerial Phenomena (UAP) සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් පැවැත්වෙද්දීය. එදා පාර්ලිමේන්තුවේ සිදුවූයේ පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමකි.

වසර 1,000 කට වඩා පැරැණි යැයි කාලනිර්ණ පරීක්ෂණවලින් තහවුරු වුණු අඩි 3.3 ක් උසැති කුඩා කෙසඟ එම අසාමාන්‍ය සිරුරුවල හිස ප්‍රමාණයෙන් විශාලය. සිරුරුවලට අත්වල ඇඟිලි 3 කි. ජේමී මවුසාන්, පාර්ලිමේන්තුවට පැවැසූ ආකාරයට, පොසිලකරණයට ලක්වුණු එම සිරුරු හමුවී ඇත්තේ පේරු රටේ, නස්කා කාන්තාරයට අයත් වෙරළ අද්දර පිහිටි ඇල්ගී ලෙනකිනි. ඒ, 2017 වසරේදීය.

මෙක්සිකෝව සහ පේරු යන රටවල් අයත් වන්නේ ලතින් ඇමෙරිකාවටය. පේරු රටින් හමුවුණැයි කියන සිරුරු, මෙක්සිකෝවට ගෙන යෑම සහ ඒවා ජේමී මවුසාන් අතට පත් වීම සම්බන්ධයෙන් පේරු රජය ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පැවැසෙයි. එම සිරුරු තමන්ට ලැබුණේ කෙසේදැයි ජේමී මවුසාන් අනාවරණය කර නැත.

ජේමී මවුසාන් පසුගිය සැප්තැම්බර් 12 වැනිදා එම සිරුරු මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ තමන් පවසන්නේ ‘සත්‍යයක්’ බව දිවුරා පොරෙන්දු වෙමිනි. එහෙයින් ඔහු ඉදිරිපත් කළ සාක්ෂිවලට වටිනාකමක් ලැබුණි. ‘මනුෂ්‍ය නොවන’ එම සිරුරු දෙකෙන් එකක, උදරයේ බිත්තර වැනි යමක් ඇති බව එක්ස් රේ පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි ද ජේමී මවුසාන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඊට අමතරව, ‘කැඩ්මියම්’ සහ ‘ඔස්මියම්’ නමැති අති දුර්ලභ ලෝහ කැබැලි සිරුරුවලට බද්ධ කර තිබී හමුවුණු බව ද පැවැසීය. මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ යැයි සෘජුව ප්‍රකාශ කිරීම වැරදි යැයි ඇමෙරිකාවේ චිකාගෝ නුවර මහාචාර්ය ජෝඩන් බ්‍රිම් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ මෙක්සිකෝ එම පිටසක්වළයන් ගැන ලොව කැලැඹෙද්දීය. ජෝඩන් බ්‍රිම් යනු පිටසක්වළ ජීවීන් සිටිනවාදැයි සොයන, විශ්වය සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලොව කීර්තිමත් විද්වතුන්ගෙන් කෙනෙකි.

‘මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒ අසාමාන්‍ය සිරුරු පිටසක්වළ ජීවීන්ගේ යැයි සෘජුව කීමට බැහැ. ඒවා ඉදිරිපත් කළේ විද්‍යාඥයකු හෝ විද්වතකු නොවෙයි. ජේමී මොසාන් කියන්නේ පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන සොයන විද්වතකු නොවෙයි. පියාඹන පීරිසි ගැන හෝ පිටසක්වළ ජීවීන් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න ඔහුට විද්‍යාත්මක දැනුමක් නෑ. ඔහු මාධ්‍යවේදියෙක්. ඔහු මීට පෙර ද මේ අයුරින් ඉදිරිපත් කළ සාක්ෂි බොරු වී තිබෙනවා. වෙනසකට තියෙන්නේ, මෙවර ඔහු මෙක්සිකෝ පාර්ලිමේන්තුවට එම පිටසක්වළ ජීවීන්ගේ යැයි කියන සිරුරු ඉදිරිපත් කළේ, පිටසක්වළ ජීවීන් සිටිනවා යැයි පාර්ලිමේන්තුව හමුවේ දිවුරුම් දෙමින්.’ යැයි මහාචාර්ය ජෝඩන් බ්‍රිම් මාධ්‍ය හමුවේ පැවැසුවේය.

ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක් කළේ මෙක්සිකෝ පිටසක්වළයන් කරළියට පැමිණීමෙන් පසුවය. නාසා ආයතනය පිටසක්වළ ජීවීන් සහ පියාඹන පිරීසි සම්බන්ධයෙන් නව වාර්තාවක් එළිදක්වීය. ඇමෙරිකාවේ නාසා ආයතනය, දශක ගණනාවක් තිස්සේ, පියාඹන පීරිසි සම්බන්ධයෙන් දත්ත රැස් කරයි. ඇමෙරිකන් ගුවන් හමුදා බුද්ධි අංශයේ සහාය ද ඒ සඳහා ලබා ගනී. නාසා ආයතනය ‘පියාඹන පීරිසි’ හඳුන්වන්නේ ‘හඳුනා නොගත් ආකාශ වස්තූන්’ යනුවෙනි.

මෙම ‘වස්තූන්’, පැහැදිලි කළ නොහැකි අද්භූත සංසිද්ධියක් බව නාසා විද්‍යාඥයන් පිළිගෙන අවසන්ය. නාසා ආයතනය, නිකුත් කළ නව වාර්තාවේ සඳහන් වන්නේ ‘හඳුනා නොගත් එම ආකාශ වස්තූන්’, පිටසක්වළ ජීවීන්ගේ පියාඹන පීරිසි යැයි කීමට හෝ එසේ නොවේ යැයි කීමට හෝ හැකියාවක් නැති බවය.

‘පිටසක්වළ ජීවීන් සැබෑවක් යැයි කීමට හෝ පිටසක්වළ ජීවීන් බොරුවක් යැයි කීමට හෝ හැකියාවක් නැහැ. හඳුනා නොගත් ආකාශ වස්තූන් විශ්වයේ ඈත සිට පැමිණෙන පිටසක්වළ ජීවීන්ගේ අභ්‍යවකාශ යානා යැයි කීමට ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි මෙතෙක් හමුවී නැහැ. මේ දේවල් සම්බන්ධයෙන් දිගටම විමර්ශන කළ යුතුයි’ යැයි පිටසක්වළ ජීවීන් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නාසා ආයතනය නිකුත් කළ පිටු 36 කින් සමන්විත වාර්තාවේ අවසන් නිගමනය විය.

මේ අතරේ, වොෂින්ටන් අගනුවරදී, විශේෂ මාධ්‍ය හමුවකට එක් වුණු නාසා ප්‍රධානී බිල් නෙල්සන් කියා සිටියේ, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන සෙවීමට නාසා ආයතනය නව ප්‍රධානියකු පත් කර ඇත. ඔහු මාර්ක් මැක්ලර්නිය. විමර්ශන කටයුතුවලදී, මාර්ක් මැක්ලර්න් ස්වාධීනව කටයුතු කරනු ඇතැයි ද නාසා ප්‍රධානියා වැඩි දුරටත් පැහැදිලි කළේය.

 ඇමෙරිකා නාසා ආයතනයේ විද්‍යාඥයන් සහ ජේමී මවුසාන් අතරේ පසුගිය වසර ගණන තිස්සේ මත ගැටුම් පැවැතියේය. එහෙයින්, ජේමී මවුසාන් ඉදිරිපත් කරන සාක්ෂි පිළිගැනීමට නාසා විද්‍යාඥයෝ අදිමදි කරති. මෙම අසාමාන්‍ය සිරුරු 2017 වසරේ පේරු රටින් හමුවුණැයි කී අවදියේ, පිටසක්වළ ජීවීන්ගේ යැයි සාක්ෂි රැසක් ජේමී මවුසාන් නාසා විද්‍යාඥයන් වෙත යොමු කළ බව ද පැවැසෙයි. කෙසේ නමුත් එම සාක්ෂි සියල්ල ‘බොරු’ යැයි නාසා විද්‍යාඥයෝ තහවුරු කළහ. නාසා විද්‍යාඥයන් සහ ජේමී මවුසාන් අතරේ ගැටුම එයයි.
Alien-03
මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ දී ලොවට අනාවරණය කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන එම සිරුරු පසුගියදා විශේෂ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත්, එම සිරුරු බොරු යැයි කීමට සාක්ෂි නොමැති බවත් මෙක්සිකෝ වෛද්‍ය කණ්ඩායමක් පසුගිය 19 වැනිදා මාධ්‍ය හමුවේ පැවැසීය. මෙම වෛද්‍ය කණ්ඩායමට නායකත්වය දුන්නේ වෛද්‍ය හෝසේ දෙ යේසුස් සල්සේ බෙනිටිස් ය. වෛද්‍ය හෝසේ දෙ යේසුස් මෙකිස්කෝ නාවික හමුදාවේ අධිකරණ වෛද්‍යවරයෙකි.

පිටසක්වළයන්ගේ යැයි සැක කෙරෙන එම සිරුරු සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට, ෆ්ලොස්කොපී සජීවී ස්කෑන් පරීක්ෂණයකට සහ සාමාන්‍ය එක්ස් රේ පරීක්ෂණයකයට යොමු කිරීමට වෛද්‍ය හෝසේ දෙ යේසුස් සහ ඔහුගේ කණ්ඩායම කටයුතු කර තිබේ. එහිදී තහවුරු වී ඇත්තේ සිරුරු අස්ථි එකතු කරමින් සකස් කළ බොරු සිරුරු නොවන බවය.

අසාමාන්‍ය සිරුරුවල ඇටසැකිළි කිසියම් හඳුනා ගැනීමට නොහැකි අසාමාන්‍ය ජීවියකුගේ බව තහවුරු වුණැයි වෛද්‍ය හෝසේ දෙ යේසුස් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. එක් සිරුරක උදරයේ ඇත්තේ බිත්තර වැනි දෙයක් බව ද ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වූ බව වෛද්‍ය හෝසේ දෙ යේසුස් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මෙක්සිකෝ පිටසක්වළයන් ගැන මෙසේ තව තවත් විද්‍යාත්මක වශයෙන් සාක්ෂි එළියට එද්දී, ඇමෙරිකාවේ නාසා ආයතනය පැවැසුවේ, එම සිරුරු වැඩි දුර පරීක්ෂණ සඳහා තමන්ට ලබා දෙන ලෙසය. කෙසේ නමුත් මෙක්සිකෝ රජය ඊට කිසිදු පිළිතුරක් ලබා දී නොතිබුණි.


RECOMMEND POSTS