පිටසක්වල ග්‍රහලෝක 6,000 ක්

පෘථිවිය හා සමාන ග්‍රහලෝක මිලියන ගණනක් විශ්වයේ ඇතැයි පැවැසෙයි. ඒත්, පෘථිවිය හිරු (සූර්යයා හෙවත් හිරු යනු තරුවකි.) වටා කක්ෂගත වෙනවා සේ, වෙනත් තාරකාවක් වටා කක්ෂගත වූ පෘථිවියට සමාන ග්‍රහලෝක මේ වනවිට කීයක් සොයාගෙන තිබේද? අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙන් ඇති වෙනත් තරු වටා කක්ෂගත වන ග්‍රහලෝක ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ Exo-Planets යන නමිනි. සිංහල බසින් මේවා පිටස්තර නැතිනම් පිටසක්වළ ග්‍රහලෝක වෙයි. වෙනත් තාරකාවක් වටා කක්ෂගත වූ පෘථිවියට සමාන ග්‍රහලෝක මේ වනවිට කීයක් සොයාගෙන තිබේද යන පැනයට නිවැරදිව පිළිතුරක් ලබා දීම කළ හැකි වන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයටය. නාසා ආයතනය මේ සම්බන්ධයෙන් පසුගිදා නිල වශයෙන් පිළිතුරක් දුන්නේය. ඒ අනුව, නාසා විද්යාඥවක් පැවැසුවේ, මේ වනවිට පෘථිවි තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇති Exo-Planets ගණන 6000 ක් බවය. මෙම අනාවරණයත් සමඟ විශ්ව ගවේෂණයේ නව පරිච්ඡේදයක් ද ආරම්භ වී ඇත.
යළි පැහැදිලි කළොත්, පිටසක්වළ ග්‍රහලෝකයක් යනු හිරු නැතිනම් සූර්යයා හැර වෙනත් තාරකාවක් වටා ගමන් කරන ග්‍රහලෝකයකි. 1990 දශකයේ මුල් භාගයේදී, (නිවැරදිව කීවොත් 1992 වසරේදීය.) පළමු වරට පිටසක්වළ ග්‍රහලෝක සොයා ගැනීම සිදුවිය. එහිදි ග්‍රහලෝක දෙකක් සොයා ගැණුනි. මේවනතුරු පිටසක්වළ ග්‍රහලෝක ගැන පැවැතියේ න්‍යායාත්මක අනුමාන පමණි. මුලින්ම සොයා ගත් පිටස්තර ග්‍රහලෝක දෙක වන්නේ, PSR B1257+12 B සහ PSR B1257+12 C ය. 1992 දී තාරකා විද්‍යාඥයන් වන ඇලෙක්සැන්ඩර් වොල්ස්කන් (Aleksander Wolszczan) සහ ඩේල් ෆ්‍රේල් (Dale Frail) විසින් මේවා සොයා ගන්නා ලදී. මෙම සොයා ගැනීමත් සමඟම, අප මන්දාකිණිය පුරා තරු වටා කක්ෂගත වන ග්‍රහලෝක මිලියන ගණනක් ඇති බව විද්‍යාඥයන්ට විශ්වාසයක් ඇති විය. මෙම ග්‍රහලෝක හමු වූයේ පල්සාරයක් වටා බැවින්, ඒවා සෑදී ඇත්තේ සාමාන්‍ය තාරකා වටා ග්‍රහලෝක සෑදෙන ආකාරයට වඩා වෙනස් ආකාරයකට යැයි විශ්වාස කෙරුණි.
පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණය ලක් කෙරේ. ඒ, අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සමඟ ඒවා සන්සන්දනය කරමිණි. ඒ අනුව, පිටස්තර ග්‍රහලෝක අතරේ ගෑස් යෝධයෝ (Gas Giants) සිටිති. අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයා වන්නේ බෘහස්පතිය. බෘහස්පති වායු යෝධයෙකි. ඒ එය නිර්මාණය වී ඇත්තේ වායුවලින් නිසාය. සෙනසුරු ද බෘහස්පති මෙන් වායු යෝධයෙකි. ගෑස් යෝධයන් ලෙස වර්ගීකරණයට ලක් වන්නේ බෘහස්පතිට හෝ සෙනසුරුට සමාන හෝ ඊට වඩා විශාල වායුමය ග්‍රහලෝකය. උණුසුම් බෘහස්පතින් (Hot Jupiters) යන නමින් වර්ගීකරණය කළ පිටස්තර ග්‍රහලෝක ඇත. මේ නම යෙදෙන්නේ, එම ග්‍රහලෝක එම ග්‍රහලෝකවලට අයත් මවු තාරකාව ආසන්නයේ පිහිටීම සහ කක්ෂගත වීම නිසාය. සුපිරි පෘථිවි (Super-Earths) යනු පෘථිවියට වඩා විශාල, නමුත් නෙප්චූන්ට වඩා කුඩා ග්‍රහලෝකයන්ය. මේවා පාෂාණමය හෝ වායුමය විය හැක. මිනි-නෙප්චූන් (Mini-Neptunes) නෙප්චූන්ට සමාන, නමුත් ඊට වඩා කුඩා ගෑස් වලින් සහ පාෂාණවලින් සැදුම්ලත් ග්‍රහලෝක මෙනමින් වර්ගීකරණය කර ඇත. භෞමික ග්‍රහලෝක (Terrestrial) යනු පෘථිවිය, සිකුරු හෝ අඟහරු මෙන් පාෂාණමය මතුපිටක් ඇති ග්‍රහලෝකයන්ය. හිතුවක්කාර ග්‍රහලෝක (Rogue Planets) යන නමින් ද පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණය කර ඇත. ඒ, මෙම ග්රහලෝකො තාරකාවක් වටා කක්ෂගත නොවී, අභ්‍යවකාශය පුරා තනිවම සැරිසරන ඒවා වීම නිසාය.
පිටසක්වළ ග්‍රහලෝක සෘජුවම දැකීම ඉතා අපහසු නිසා, තාරකා විද්‍යාඥයන් විවිධ ක්‍රමවේද භාවිතා කරයි සංක්‍රාමණ ක්‍රමය (Transit Method), අරීය ප්‍රවේග ක්‍රමය (Radial Velocity Method) සහ සෘජු ඡායාරූපකරණය (Direct Imaging) යයි. මේවා බර වචන වන බැවින්, සරලව මෙසේ පැහැදිලි කරමි. සංක්‍රාමණ ක්‍රමය යනු ග්‍රහලෝකයක් තමන්ගේ තාරකාව ඉදිරියෙන් ගමන් කරන විට, තාරකාවේ දීප්තිය සුළු වශයෙන් අඩුවීම මැන බලය. මේ මගින් ග්‍රහලෝකයේ ප්‍රමාණය සහ කක්ෂයේ කාලය ගණනය කළ හැකිය. අරීය ප්‍රවේග ක්‍රමය යනු ග්‍රහලෝකයක ගුරුත්වාකර්ෂණ බලය නිසා මවු තාරකාව සුළු වශයෙන් ‘වෙව්ලීම’ හෝ චලනය වීම මැන බැලීමය. සෘජු ඡායාරූපකරණය යනු ඉතා දුර්ලභ අවස්ථාවලදී, ග්‍රහලෝකය සෘජුවම ඡායාරූපගත කරනු ලැබීමය.
සූර්යයාට සමාන තාරකාවක් වටා (පල්සාරයක් නොවන) සොයාගත් පළමු ග්‍රහලෝකය ලෙස සැලකෙන්නේ 51 Pegasi b (Dimidium) ය. මෙය 1995 දී මයිකල් මේයර් (Michel Mayor) සහ ඩිඩියර් ක්වේලෝස් (Didier Queloz) විසින් සොයා ගන්නා ලදී. මෙම සොයාගැනීම වෙනුවෙන් ඔවුන්ට 2019 වසරේදී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පවා හිමි විය. පිටස්තර ග්‍රහලෝක සොයා ගැනීම සම්බන්ධයෙන් විප්ලවයක් සිදුවූයේ 2009 වසරේදීය. නාසා විද්‍යාඥයන් ඔවුන්ගේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය විශ්වයේ ඈත රැඳවීම කළේ මෙම වසරේදීය. යොහාන්ස් කෙප්ලර් (Johannes Kepler) නම් තාරකා විද්‍යාඥයාට ගෞරවයක් වශයෙන් නම් කරන ලද කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය (Kepler Space Telescope) යනු නාසා ආයතනයේ (NASA) ඓතිහාසික මෙහෙයුමකි. ක්ෂීරපථය (Milky Way) මන්දාකිණියේ වෙනත් තාරකා වටා කක්ෂගත වන පිටසක්වල ග්‍රහලෝක (Exoplanets), විශේෂයෙන් පෘථිවි ප්‍රමාණයේ සහ ජීවයට සුදුසු කලාපයේ (Habitable Zone) පිහිටි ග්‍රහලෝක සෙවීම මෙහි අරමුණ විය. 2009 වසරේ මාර්තු 7 රොකට්ටුවක ආධාරයෙන් විශ්වයේ ඈතට යවා රවනු ලැබූ කෙප්ලර් දුරේක්ෂය විශ්වයේ රහස් රැසක් අපට අනාවරණය කර දුන්නේය. 2018 ඔක්තෝබර් 30 (ඉන්ධන අවසන් වීම නිසා) කෙප්ලර් මෙහෙයුම් අවසන් විය.
කෙප්ලර් දුරේක්ෂය නව ග්‍රහලෝක සෙවීම කළේ සංක්‍රාමණ ක්‍රමය (Transit Method) භාවියට ගනිමිනි. තාරකාවක දීප්තියේ ඉතා සුළු අඩුවීම් නිරීක්ෂණය කිරීම. ග්‍රහලෝකයක් තමන්ගේ මව් තාරකාව ඉදිරියෙන් ගමන් කරන විට (සංක්‍රමණය වන විට) තාරකාවේ දීප්තිය අඩුවේ. එම දීප්තිය අඩුවැඩි වීම අනුව කෙප්ලර් අපට ග්‍රහලෝක සොයා දුන්නේය. ඉතා සංවේදී කැමරා පද්ධතියක් කෙප්ලර් සතු විය. කෙප්ලර් සහ එහි දෙවන මෙහෙයුම වන K2 හරහා 2,600කට අධික තහවුරු කරන ලද පිටසක්වල ග්‍රහලෝක සොයා දුන් අතර, තවත් අපේක්ෂිත ග්‍රහලෝක දහස් ගණනක් පිළිබඳ දත්ත රැස් කෙරුණි. කෙප්ලර් මෙහෙයුම මගින් සොයාගත් වඩාත්ම කැපී පෙනෙන පෘථිවියට සමාන ග්‍රහලෝක කිහිපයක් ඇත. කෙප්ලර්-452බී (Kepler-452b) ග්‍රහලෝකය විද්‍යාඥයන් නම් කර ඇත්තේ පෘථිවියේ ඥාති සහෝදරයා (Earth's Cousin) යන නමිනි. අප සූර්යයාට (Sun) සමාන G-වර්ගයේ තාරකාවක් වටා ජීවයට සුදුසු කලාපයේ කක්ෂගත වූ ප්‍රථම ග්‍රහලෝකය ලෙස මෙතෙක් හමුවී ඇත්තේ මෙයයි. පෘථිවිය මෙන් විෂ්කම්භයෙන් 1.6 ගුණයක් විශාලය (එය සුපිරි පෘථිවියකි). මෙහි කක්ෂය, දින 385 කින් මව් තාරකාව වටා එක් වරක් ගමන් කරයි. මෙහි මව් තාරකාව සූර්යයාට වඩා අවුරුදු බිලියන 1.5 කින් පමණ වයසින් වැඩිය. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙහි අවුරුදු බිලියන 6 ක් පමණ ජීවය පැවතීමට ඉඩ ඇති බවය.
කෙප්ලර්-186එෆ් (Kepler-186f) යන ග්‍රහලෝකය, පෘථිවි ප්‍රමාණයට ඉතාමත්ම ආසන්නව සොයාගත්, ජීවයට සුදුසු කලාපයේ කක්ෂගත වූ ප්‍රථම ග්‍රහලෝකයයි. පෘථිවියේ විෂ්කම්භයෙන් 1.1 ගුණයකි (සැබෑ පෘථිවි ප්‍රමාණයට ඉතා සමීපය). 'රතු වාමන' (Red Dwarf - M-type) තාරකාවක් වටා කක්ෂගත වෙයි. මෙම තාරකා අපගේ සූර්යයාට වඩා කුඩා හා සිසිල්ය. මව් තාරකාවට තරමක් ආසන්නව පිහිටා ඇතත්, එය ජීවයට සුදුසු කලාපයේ පිටත කෙළවරේ පිහිටා ඇති නිසා, එහි මතුපිට ජලය පැවතිය හැකි යැයි විශ්වාස කෙරේ. කෙප්ලර්-442බී (Kepler-442b) ජීවයට සුදුසු කලාපයේ පිහිටි පාෂාණමය වීමට ඉඩ ඇති ග්‍රහලෝකයකි. පෘථිවියේ ප්‍රමාණය මෙන් 1.34 ගුණයක් විශාලය. පෘථිවි සමානතා දර්ශකය (Earth Similarity Index - ESI) අනුව ඉහළම අගයක් ගන්නා ග්‍රහලෝක අතරින් එකක් වන්නේ මෙයයි.
ස්තුතිය - නාසා ආයතනයට

