පාර්ලිමේන්තුවට ආ පිටසක්වළයෝ



ජේමී මොවුසාන් දශක ගණනක් පුරා පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි ගැන රහස් අනාවරණය කර ගැනීමට උත්සහ දන්නා මෙක්සිකෝ මාධ්‍යවේදියෙකි. පසුගිය දා ඔහු මෙක්සිකෝ කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවේ පෙනී සිටියේ, පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් කොංග්‍රසයේ විශේෂ සැසියක් පැවැත්වෙද්දීය. ‘පිටසක්වළයන් ගැන ඇත්ත නැත්ත’ තේමාව කර ගනිමින් මෙම සැසිය පැවැත්වුණු අතර, ජේමී මොවුසාන් කොංග්‍රසය හමුවේ පෙනී සිටියේ සත්‍යය අනාවරණය කරන බව දිවුරමිනි.

ජේමී මොවුසාන් සමඟ මෙක්සිකෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් ද කොංග්‍රස් මණ්ඩලය හමුවේ පෙනී සිටියහ. ඔවුන් විශේෂ වීදුරු පෙට්ටි දෙකක්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙනැවිත් තිබුණි. ඒවායේ තැන්පත් කර තිබුණේ පොසිලකරණය ලක් වුණු ප්‍රමාණයෙන් කුඩා සිරුරු දෙකකි. එම පෙට්ටි විවෘත කරමින්, ඒවා ප්‍රදර්ශනය කරද්දී මෙක්සිකෝ කොංග්‍රස් සාමාජිකයන් පුදුමයෙන් පුදුමයට පත් වුණු බව ද එරට මාධ්‍ය වාර්තා කළේය.

එම පෙට්ටි දෙකේ තැන්පත් කර තිබුණේ මනුෂ්‍යරූපී එහෙත්, මනුෂ්‍ය සිරුරකට වඩා ප්‍රමාණයෙන් කුඩා සිරුරු දෙකකි. ‘මනුෂ්‍ය නොවන’ එම සිරුරු පිටසක්වළ ජීවීන්ගේ බවත්, පිටසක්වළ ජීවීන් පිළිබඳ සත්‍යය තමන් මෙසේ මෙක්සිකෝ කොංග්‍රස් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරන බවත් ජේමී මොවුසාන් පැහැදිලි කළේය.

කාල නිර්ණ කාබන් වාර්තා අනුව, අසාමාන්‍ය එම සිරුරු වසර 1,000 ක් පැරැණිය. පොසිලකරණය වූ නිසා සිරුරුවල පැහැය කුමක්දැයි පැහැදිලි නැත. සිරුරුවල හිස විශාලය. ඇස් අසාමාන්‍යය. අත්වල ඇත්තේ ඇඟිලි 3 කි. ‘මනුෂ්‍ය පරිණාමය’ හා නොබැඳුණු මෙම සිරුරුවල ජාන පරීක්ෂාවක් සිදු කළ බවත් එම සිරුරුවල ජානවලින් සියයට 30 ක් හඳුනා ගැනීමට මෙක්සිකෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් අපොහොසත් වුණු බවත් ජේමී මොවුසාන් පෙන්වා දුන්නේ, එම වාර්තා සහ ඡායාරූප ද පෙන්වමිනි.

කෙසේ නමුත් මෙම සිරුරු සොයයා ගැණුනේ පිටසත්වළ යානයක් එසේත් නැතිනම් පියාඹෆන පීරිසියක් කඩා වැටුණු තැනකින් නොවන බව ද ජේමී මොවුසාන් පැහැදිලි කළේය. ගවේෂණයක යෙදුණු විද්‍යාඥයන් පිරිසකට පොසිලකරණය වුණු මෙම සිරුරු හමුවී ඇත්තේ පේරු රටේ නස්කා කාන්තරෙයේ වෙරළාශ්‍රිතව ඇති ඇල්ගී ලෙනක් තුළිනි. නස්කා කාන්තාරය වඩාත් ප්‍රකට ‘නස්කා චිත්‍ර’ නිසාය. ‘නස්කා චිත්‍ර’ යනු ලොවට අබිරහසකි.

කොංග්‍රසයට ඉදිරිපත් කළ ‘මනුෂ්‍ය නොවන’ එම සිරුරු තුළ ‘බිත්තර’ වැනි දේ අඩංගු වෙයි. ඒ බව එක්ස් කිරණ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. ‘කැඞ්මියම්’ සහ ‘ඔස්මියම්’ යන දුර්ලභ ලෝහ කොටස් සිරුරුවලට බද්ධ කර තිබී හමුවුණු බවත් ජේමී මොවුසාන් වැඩි දුරටත් කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැහැදිලි කර තිබේ. ‘ඔස්මියම්’ යනු මිහිපිට ඇති දුර්ලභම මූලද්‍රව්‍යයකි.

මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ යැයි සෘජුව ප්‍රකාශ කිරීම වැරදි යැයි ඇමෙරිකාවේ චිකාගෝ නුවර මහාචාර්ය ජෝඩන් බි්‍රම් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ එම අසාමාන්‍ය සිරුරුවලට සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් හිමිවෙද්දීය. ජෝඩන් බි්‍රම් යනු පිටසක්වළ ජීවීන් සිටිනවාදැයි සොයන, විශ්වය සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලොව කීර්තිමත් විද්වතුන්ගෙන් කෙනෙකි.

‘මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒ අසාමාන්‍ය සිරුරු පිටසක්වළ ජීවීන්ගේ යැයි සෘජුව කීමට බැහැ. ඒවා ඉදිරිපත් කළේ විද්‍යාඥයකු හෝ විද්වතකු නොවෙයි. ජේමී මොසාන් කියන්නේ පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන සොයන විද්වතෙකු නොවෙයි. පියාඹන පීරිසි ගැන හෝ පිටසක්වළ ජීවීන් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න ඔහුට විද්‍යාත්මක දැනුමක් නෑ. ඔහු මාධ්‍යවේදියෙක්. ඔහු මීට පෙර ද මේ අයුරින් ඉදිරිපත් කළ සාක්ෂි බොරු වී තිබෙනවා’ යැයි මහාචාර්ය ජෝඩන් බි්‍රම් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS