ප්ලාස්ටික් කන පණුවෙක්



මිනිසාගේම නිර්මාණයක් වන ප්ලාස්ටික් නිසා එක් රැස්වන ප්ලාස්ටික් කසළ අද මිනිසාට හිසරදයක් වී අවසන්ය. ප්ලාස්ටික් නිසා පරිසරයට සිදුවන බලපෑම, මිනිසාට පමණක් නොව, සෙසු ජීවීන්ට ද තර්ජනයකි. පරිසරයට, සාගරයට ප්ලාස්ටික්වලින් එල්ල වන බලපෑම අතිමහත්ය.

පොලිඑතිලීන් එසේත් නැතිනම් පොලිසීත් යනු දෛනිකව අප බහුලව භාවිතයට ගන්නා ප්ලාස්ටික් වර්ගයයි. කොතරම් තාක්ෂණය දියුණු වුවත් ප්ලාස්ටික් කසළවලට සාර්ථක විසඳුමක් නැත.

ප්ලාස්ටික් ආහාරයට ගන්නා සත්ව විශේෂ සිටින බව ඔබ දන්නවාද? හරියටම කියනවා නම්, ප්ලාස්ටික් ආහාරයට ගන්නා සත්ව විශේෂ 50 දෙනකු මේ වනවිට සත්ව විද්‍යාඥයන්ට හමුවී ඇත. ඒ අතරට එක්වන නවතම සාමාජිකයා වන්නේ ‘ඉටි පණුවන්’ (වැක්ස් වර්ම්) ය.

‘ඉටි පණුවන්’ (වැක්ස් වර්ම්) ප්ලාස්ටික් දූෂණය වැළැක්වීමෙහිලා විශේෂ මෙහෙවරක් ඉටු කරන බව විද්‍යාඥයෝ පවසති. පණුවකු යැයි කීවත්, ‘ඉටි පණුවා’ යනු දළඹුවෙකි.

ප්ලාස්ටික් ආහාරයට ගන්නා සත්ව විශේෂයක් ලෙස ‘ඉටි පණුවන්’ හඳුනා ගැණුනත්, මොවුන් නව සත්ව විශේෂයක් නොවෙයි. ‘ඉටි පණුවන්’ යනු මී මැස්සන්ගේ සතුරෙකි. මී වදවලට රිංගා ආහාරයට ගනිමින් මීවදතුළ ජීවත් වන කරදරකාරී සතෙකි. ගොවීන්ට අනුව නම් ‘ඉටි පණුවන්’ පිලිබෝධකයෙකි.

ඉදිරියේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය විනාශ කිරීමට ‘ඉටි පණුවන්’ විශාල වශයෙන් යොදා ගැනීම කෙරෙහි විද්‍යාඥයන්ගේ පමණක් නොව පරිසරවේදීන්ගේ ද අවදානය යොමු වී ඇත. ‘ප්ලාස්ටික්වලට විසඳුම ඉටි පණුවන් නොවෙයි. ඒත් වෙන විසඳුමක් නොමැති බැවින්, ප්ලාස්ටික් කසල විනාශ කිරීමට ඉටි පණුවන් යොදා ගැනීම කළ හැකියි’ යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ලුසිත ජයමාන්න
විදෙස් පුවත් ඇසුරිනි


RECOMMEND POSTS