නෝපාලය ගිනිගත් හැටි

නේපාල රජය, එරට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තහංචි පැනවීය. ඒ සම්බන්ධයෙන් නව නීති සකස් කළේය. එය කිසිසේත්ම හොඳ තීරණයක් නොවීය. නේපාලය ගිනි ගත්තේය. සමාජ මාධ්‍ය තහනමට එරෙහිව වීදි බට දස දහස් ගණනක් විරෝධතාකරුවන් සහ නේපාල පොලිසියත් හමුදාවත් අතරේ දරුණු ගැටුම් හටග්තේය. විරෝධතාකරුවන් 21 දෙනකුට දිවි අහිමි විය. සිය ගණනක් තුවාල ලැබූහ. තවත් සිය ගණනක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. කත්මණ්ඩු නගරය යුද පිටියක් විය. විරෝධතාකරුවන් හමුවේ අසරණ වුණු නේපාල රජය, විරෝධතාකරුවන්ට හමුවේ හිස නවා පැනවූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට කටයුතු කළේ අද (9) අලුයමය. ඒත් ප්‍රමාද වැඩිය. ඒ වනවිට සමාජ මාධ්‍ය තහනමට එරෙහි ආරම්භ වුණු විරෝධය, නේපාල රජයේ දූෂණවලට එරෙහි විරෝධයක් බවට පරිවර්තනය වී තිබුණි. විරෝධතා ඔඩුදීවීම ආරම්භ විය. ඇතැම් විරෝධතාකරුවන් ආයුධවලින් පවා සන්නද්ධ වී සිටිනු දකින්න ලැබුණි. නේපාල හමුදාව, එරට ඇමතිවරුන් ඔවුන්ගේ නිල නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගත් අතර, ඒ සඳහා හමුදා හෙලිකොප්ටර් භාවිතා කළේය. අරගලකරුවන් එරට කත්මණ්ඩු අගනුවර පිහිටි පාර්ලිමේන්තුවට ගිනි තැබූ බවත්, මැති ඇමැතිවරුන් කීප දෙනකු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ සිරවී සිටින බවත් නේපාල මාධ්‍ය වාර්තා කළේ අද (9) සවසය.
ලංකාවට පුළුවන් නම්, බංග්ලාදේශයට පුළුවන් නම්, අපට බැරි ඇයි කියමින් ආරම්භ වුණු විරෝධතා මෛහයවන්නේ නේපාල තරුණ පරම්පරාවය. GenZ එසේත් නැතිනම් ‘ජෙනරේෂන් සී (සෙඩ්)’ පරම්පරාවය. GenZ යනු 2000 දශකයේ මැද සිට, 2010 දශකයේ මුල් භාගය දක්වා කාලයේ උපත ලැබූවන්ය. මොවුන් නව යොවුන් වියට පා තැබුවේ 2020 දී පමණය. GenZ යනු තාක්ෂණය සමඟ උපන් පරම්පරාවය. GenZ තරුණ තරුණියන් උපන්නේ අන්තර්ජාලය, ස්මාර්ට් ෆෝන් සහ සමාජ මාධ්‍ය පෙරැළි කරන ලෝකයකටය. එබැවින් ඔවුන් තාක්ෂණය සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර, එය ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයකි. ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍යවල පෙරැළි කරන්නේ මෙම GenZ පරම්පරාවය. තොරතුරු හුවමාරුවට, මිතුරන් සමඟ සම්බන්ධ වීමට, විනෝදයට මොවුන් සමාජ මාධ්‍ය භාවිතයට ගනී. ඇතැමුන්ගේ ජීවනෝපාය වන්නේ ද සමාජ මාධ්‍යයයි. මුදල්, රැකියා සහ අනාගතය ගැන ඉතා කල්පනාකාරීව සහ ප්‍රායෝගිකව සිතන පිරිසක් ලෙස GenZ පරම්පරාව සැලකෙයි. මොවුන්ගේ මාපියන් අයත් වන්නේ සහහ්රක (Millennials) එසේත් නැතිනම් GenY පරම්පරාවටය. සහහ්රක (Millennials) එසේත් නැතිනම් GenY යනු 1981 සිට 1996 දක්වා උපන් පරම්පරාවය.
නේපාලයේ GenZ පරම්පරාව එරට රජයට එරෙහිව වීදි බැස්සේ, දැවැන්ත සමාජ සහ දේශපාලන අරගලයක් මෙහෙයවමින් බව නේපාලයෙන් ලැබෙන වීඩියෝ දසුන්වලින් පැහැදිලිය. නේපාල රජය සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නව නීති ගෙන ඒම GenZ පරම්පරාවේ කෝපයට හේතුව විය. GenZ තරුණ තරුණියන් පොලිසිය සමඟ ගැටෙමින්, පොලිස් බාධක පෙරළා දමමින්, කුපිත වෙමින්, රජයේ ගොඩනැගිලි අත්පත් කර ගත්හ. මාර්ග අත්පත් කර ගත්හ. නේපාල රජය අසරණ විය. තරුණ ජීවිත අහිමි වෙද්දී, රජය අසරණ විය. ඊයේ (8) රාත්‍රියේ රජය පැනවූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කර ගත් අතර, ස්වදේශ කටයුතු අමාත්‍ය වරයා ඉල්ලා අස්විය. ඒ, ජීවිත අහිමි වීම ගැන කනගාටුව ද පළ කරමිණි.
නේපාලයේ බලයේ සිටින්නේ මාඕවාදීන්ගේ ද සහාය සහිත වාමාංශික පක්ෂවල එකතුවකින් සැදුණු ආණ්ඩුවකි. තරුණ ජීවිත බිලි ගන්නා තුරු, නේපාලයේ වීදි තරුණ ලේවලින් නැහැවෙන තුරු, නේපාල ආණ්ඩුවට නැතිනම් රජයට, ඔවුන්ගේ රටේ තරුණ පිරිස් සමඟ හටගත් අර්බුදය විසඳා ගැනීමට නොහැකි වීම කනගාටුවකි. රජයට එටරෙහිව හඬ නගමින් විරෝධතා පැවැත්වූ 160 කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැණුනු අතර, සිය ගණනක් තුවාල ලැබූහ.ෙ
නේපාලය ආසියානු රටකි. කලාපීය වශයෙන්ගත් කළ නේපාලය අපේ අසල්වැසියෙකි. සිදුහත් කුමරු උපන් රට ලුම්බිණි ඇත්තේ නේපාලයේය. ලුම්බිණිය, යුනෙස්කෝ ලෝක උරුමයක් ද වෙයි. බෞද්ධයන් හැටියට නේපාලය අපට වැදගත්ය. නේපාලය ඉන්දියාවේ අසල්වැසියන්ගෙන් කෙනෙකි. නේපාලය, දකුණු ආසියාවට අයත් රටකි. එය හත්වන විශාලතම රට වන ඉන්දියාවට උතුරින් සහ චීනයට දකුණින් පිහිටයි. හිමාලය කඳුකරයේ පිහිටා ඇති නේපාලය, ලොව උසම කඳු මුදුන් රැසකට නිවහන වන අතර, ලෝකයේ සියයට 10 කට අධික ප්‍රදේශයක් හිමාලය කඳුකරයෙන් සමන්විත වේ. නේපාලය, උතුරින් චීනය (ටිබෙට් ස්වයං පාලන කලාපය), නැගෙනහිර, දකුණ සහ බටහිරින් ඉන්දියාව සමඟ මායිම් වෙයි. කත්මණ්ඩු නේපාලයේ අගනුවර වන අතර එරට විශාලතම නගරය ද වෙයි. 2023 වන විට නේපාලයේ ජනගහනය ලක්ෂ 300කට ආසන්න වන බවට ගණන් බලා ඇත. නේපාලයේ විවිධ ජනවාර්ගික කණ්ඩායම් සහ භාෂා කතා කරන පිරිසක් වාසය කරති. නේපාලයේ ප්‍රධාන ආගම ලෙස සැලකෙන්නේ හින්දු ආගමය. බෞද්ධයන් ද සැලකිය යුතු පිරිසක් සිටින අතර, ආගම් දෙක අතර සංස්කෘතික සුහදතාවක් පවතී. නේපාලි යනු නේපාලයේ නිල භාෂාවය. නේපාලයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් කෘෂිකර්මය මත රඳා පවතින අතර, සේවා අංශය ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සංචාරක කර්මාන්තය ද ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයයි.
2008 වසර තෙක් ඉතා දිගු කාලයක් නේපාලයේ පැවැතියේ රාජ්‍ය පාලනයකි. 1768 දී ගෝර්ක රාජධානිය එක්සත් කිරීමත් සමඟ ෂා රජ පෙළපත නේපාලය පාලනය කළේය. 1951 දී නේපාලයේ අරගලයක් සිදුවිය. ඒ ප්රජාතන්ත්රවාදය වෙනුවෙනි. බහු පක්ෂ පාලනය හඳුන්වා දීම සිදුවූයේ එම අරගලයෙන් අනතුරුවය. නමුත් රජවරුන්ගේ බලපෑම නිසා බහු පක්ෂ ක්‍රමය වෙනස් විය. 1960 දශකයේදී වෙනත් පාලන ක්‍රම කීපයක් කරළියට පැමිණියේය. 1990 දශකයේ, නේපාලයේ වාමාංශික මාඕවාදී කැරලිකරුවන් අවි අතට ගත්තේ සන්නද්ධ අරගලයක ආරම්භ කරමිණි. නේපාලයේ මාඕ අරගලය, නේපාල මහජන යුද්ධය ලෙස ද හැඳින්වෙයි. 1996 සිට 2006 දක්වා පැවති මෙම සන්නද්ධ අරගලය, එදා පැවති නේපාල රාජාණ්ඩුවට සහ රජයට එරෙහිව කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) විසින් ආරම්භ කරන ලද්දකි. නේපාලයේ මාඕ අරගලය, මාඕවාදීන් සහ නේපාල රජයේ හමුදා අතරේ, 1996 සිට 2006 දක්වා එරට පැවති සිවිල් යුද්ධයයි. 2006 දී සාම ගිවිසුමක් මගින් යුද්ධය අවසන් විය. මාඕ අරගලයට හේතුව, නේපාලයේ රාජාණ්ඩුව අහෝසි කරමින්, ප්රජාතන්ත්රවාදී ජනරජයක් පිහිටුවීමයි. සාම ගිවිසුමකට අත්සන් තැබීමත් සමඟම නේපාලයේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය.
ඒ අනුව ප්රජාතන්ත්රවාදී පාලනයක් යටතේ, නේපාලයේ මැතිවරණයක් පැවැත්විණි. මෙම මැතිවරණයෙන් බලය හිමි කරගන්නේ අවි බිම තබා දේශපාලනයට ආ මාඕවාදීන්ය. මාඕවාදීන්ට නායකත්වය දුන් ‘ප්රචණ්ඩ’ යන නමින් ද හැඳින්වෙන පුෂ්ප කමල් දාල්ගේ මූලිකත්වයෙන් නව රජයක් පිහිටුවීම සිදුවිය. නේපාලයේ රාජාණ්ඩුව අහෝසි කර ප්රජාතන්ත්රවාදී ජනරජයක් පිහිටුවීමේ ප්‍රමුඛයා ලෙස සැලකෙන්නේ පුෂ්ප කමල් දාල්ය. නව රජයක් පිහිටුවා මාස 9 කට පසු පුෂ්ප කමල් දාල්ට ඉල්ලා අස්වුණු අතර යළි 2016 දී බලයට පත් විය.
පුෂ්ප කමල් දාල් තුන් වතාවක් නේපාලයේ අගමැති ධූරය හොබවා ඇත. 2008 අගෝස්තු මාසයේදී ඔහු නේපාලයේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ අතර, 2016-2017 කාලයේදී ද ඔහු යළි අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. 2022 දෙසැම්බර් මාසයේදී තුන්වන වරටත් අගමැති ධූරයට පත් විය. සමාජ ආර්ථික ගැටලු විසඳීමට පොරොන්දු වුණත් එසේ කළ නොහැකි වීම දේශපාලන පසුබෑම්වලට හේතුව විය. පුෂ්ප කමල් දාල් මේ වනවිට නේපාලයේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරයි. ඒ පසුගිය 2024 ජූලි මාසයේ සිටය. එමෙන්ම ඔහු නේපාල කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ද වෙයි.
තරුණ අරගලය ඔඩු දුවද්දී, නේපාලන ගැටලු රැසකින් හෙම්බත් වී සිටියේය. නේපාලයේ ආර්ථික වර්ධනය පවතින්නේ ඉතා දුර්වල මට්ටමකය. විරැකියාව ඉහළ ගොසිනි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගැටලු පවතී. පසුගිය අප්‍රේල් මාසයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුල්කොට ගනිමින්, වැඩ වර්ජන රැල්ලක් රට පුරා පැවැත්විණි. සමාජ මාධ්‍ය හරහා ජනතාව එක් රොක් විය. මෙය නේපාල වාමාංශික රජයට ගැටලුවක් විය. සමාජ මාධ්‍ය හරහා රජයට දැඩි ලෙස විවේචන එල්ල වෙද්දී, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නව නීති රීති හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු වූයේ ඒ අනුවය. ව්‍යාජ ප්රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කළ යුතු බව නේපාල රජය තීරණය කළේය. සමාජ මාධ්‍ය තහනම පැනවීම ඒ අනුව සිදුවිය. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ් සහ එක්ස් වැනි සමාජ මාධ්‍ය වේදිකා 26 ක්, නේපාලය තුළ තහනම් කෙරුණු අතර, ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්, අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි විය යුතු බවට නීතියක් පැනවීය. රජයේ නීතිරීතිවලට අනුව ලියාපදිංචි වීමට හෝ නියෝජිතයකු පත් කිරීමට උපදෙස් මාලාවක් ඉදිරිපත් කෙරුණි.
තරුණ විරෝධතාකරුවන් වීදි බැස විරෝධතා පවත්වද්දී, එම විරෝධතා පාලනය කළ යුතු විය. නේපාල සන්නිවේදන අමාත්‍ය ප්‍රිත්වි සුබා මාධ්‍ය හමුවේ කියා සිටියේ කලහකාරී පිරිස් මර්දනයට බලය යෙදවීම සඳහා පොලිසියට අවසර දුන් බවය. ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර සහ රබර් උණ්ඩ ප්‍රහාර ද ඒ අනුව පොලිසිය විසින් එල්ල කරනු ලැබුණි. විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනයට රජය පොලිසිය පමණක් නොව හමුදාව ද යෙදවිණි. කඳුළු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කිරීම ගැටුම් උත්සන්න කිරීමට හේතුව විය. විරෝධතාකරුවන් 19 දෙනකුට දිවි අහිමි වූයේ එසේය. රජයේ මර්දනයට එරෙහි වෙන්නැයි තරුණ විරෝධතාකරුවන් කළ ඉල්ලීමට කන් දුන් නේපාල වැසියෝ දස දහස් ගණනික් කත්මණ්ඩු අගනුවරට රැස් වූහ. පාසල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාකරුවන් අතරේ සිටින බව මාධ්‍ය වාර්තා කළේය. විරෝධතාකරුවෝ ෆෙඩරල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පමණක් නොව, සෙසු රජයේ ගොඩනැගිලිවලටත්, මෝටර් රථවලටත් ගිනි තැබූහ.
විරෝධතා උත්සන්න වෙද්දී, වෙන කළ හැකි දෙයක් නොවුණු බැවින්, නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට හොබවමින් සිටි කේ.පී. ෂර්මා ඔලි ද ධුරයෙන් ඉවත් විය. වත්මන් අර්බුදයට ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා මග පෑදීම විවර කිරීම සඳහා තමන් ඉල්ලා අස්වන බව අගමැති ඔලි විසින් අත්සන් කරන ලද නිවේදනයක දැක්වෙන බව ද පැවැසෙයි. 73 හැවිරිදි ඔලී අගමැති ධුරයේ සිව්වන වරටත් දිවුරුම් දුන්නේ පසුගිය ජුලි මාසයේදීය. නේපාල රාජාණ්ඩුව අහෝසි කිරීමෙන් පසු එරට 14 වැනි අගමැතිවරයා ඔහුය. විරෝධතාකරුවන් මර්දනය කිරීමට ගත් ක්‍රියා මාර්ග දැඩි ලෙස හෙලා දකිමින්, නේපාල කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය රාම් නාත් අධිකාරි ඉල්ලා ද මීට පෙර ඉල්ලා අස්විය. ජල සම්පාදන අමාත්‍ය ප්‍රදීප් යාදව් ද සිය ඉල්ලා අස්වීම ඊයේ (9) භාර දුන්නේ, රජයේ මර්දනයට තමන් එරෙහි බවත්, Gen Z තරුණයන්ට තමන්ගේ සහයෝගය ලබා දෙන බවත් පවසමිනි. නේපාලයේ හෙට දවස අවිනිශ්චිතය. නේපාලයේ හටගෙන ඇති උණුසුම් තත්වය සමීපව නිරීක්ෂණය කරන බව අසල්වැසි ඉන්දියාව ද පවසා ඇත.
බීබීසී ඇසුරිනි

