නත්තල්ට සඳට යන නාසා රොබෝ



මෙවර නත්තලට, ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් සහ තාක්ෂණ ශිල්පීන්ට නම් නිවාඩු නොලැබෙන හැඩයි. හේතුව, නාසා විද්‍යාඥයන් සඳට රොබෝ යානයක් යැවීමට සූදානමින් සිටීමය. මෙම රොබෝ යානය සඳ බලා යැවීම සිදුවනු ඇත්තේ දෙසැම්බර් 24 වැනිදා එනම් නත්තල් දිනයට පෙර දින සැන්දෑවේය. මීට වසර 50 කට පමණ පෙර, ඇපලෝ මෙහෙයුම් අවසන් වීමෙන් පසු ඇමෙරිකන් රොබෝ යානයක්, සඳට යන පළමු අවස්ථාව මෙය වනු ඇත.

මෙම රොබෝ යානය සඳට යැවෙන්නේ, නාසා ආයතනයේ කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස් NASA’s Commercial Lunar Payload Services (CLPS) වැඩසටහන යටතේය. කෙටියෙන් මෙය ක්ලිප්ස් (CLPS) යනුවෙන් හැ‍ඳින්වෙයි. කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස් වැඩසටහන යටතේ සඳට යැවෙන පළමු ගවේෂණ රොබෝ යානය  මෙම යානයයි. යානය සඳ මතට පතිත කරවන නැතිනම් ගොඩබාන ලෑන්ඩර් Lander වර්ගයේ එකකි. යානය නම් කර ඇත්තේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය Peregrine Lunar Lander යනුවෙනි. පෙරිග්‍රීන් චන්ද්‍ර යානය නිපදවනු ලැබ ඇත්තේ නාසා ආයතනය වෙනුවෙන් ඇස්ට්‍රෝබෝටික්ස් Astrobotics තාක්ෂණ සමාගම විසිනි. ඇස්ට්‍රෝබෝටික්ස් Astrobotics යනු ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික ආයතනයකි. පෙරිග්‍රීන් යනු කුරුළුගොයෙකි. ලොව පුරා දක්නට ලැබේ. ලොව වේගවත්ම පන්ෂියා ලෙස සැලකෙන්නේ ද පෙරිග්‍රීන්ය.

පෙරිග්‍රීන් චන්ද්‍ර යානයේ සාර්ථකත්වය මත එය ඉතිහාස පොතට එක්වීමට ද හේතු කීපයකි. ඇමෙරිකාවේ නාසා ආයතනය, අනාගතයේ වාණිජමය පරමාර්ථයෙන් චන්ද්‍ර මෙහෙයුම් සිදු කිරීමට බලාපොරොත්තු වෙයි. NASA’s Commercial Lunar Payload Services (CLPS) වැඩසටහන යනු එයයි. එම වැඩසටහනේ පළමු පියවර ලෙස පෙරිග්‍රීන් චන්ද්‍ර යානය සැලකිය හැකිය. පෙරිග්‍රීන් චන්ද්‍ර යානය පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරීම සිදු කරන්නේ නව රොකට්ටුවක ආධාරයෙනි. මෙම නව රොකට්ටුව වල්කන් සෙන්ටෝර් Vulcan Centaur ය. මෙය 2014 වසරේ සිට යුනයිටඩ් ලොන්ව් අලයන්ස් United Launch Alliance (ULA) සමාගමේ නිෂ්පාදනයකි. සිය මංගල ගමනේ දී වල්කන් සෙන්ටෝර් රොකට්ටුව රැගෙන යන්නේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානයයි.

පෙරිග්‍රීන් චන්ද්‍ර යානය අභ්‍යවකාශයට යැවීමට 24 වැනිදා දිනය වෙන් කර ඇති නමුත්, යම් ප්‍රමාදයක් වුවහොත් එය නත්තලට පසු දින එනම් 26 වැනිදා සිදු කරනු ඇතැයි නාසා ආයතනය පවසා තිබේ. 24 වැනිදා යානය සාර්ථකව ගුවන්ගත කළොත්, එය පෘථිවි කක්ෂයට පිවිසීමෙන් පසු, පෘථිවිය වටා යමින්, පෘථිවියේ ගුරුත්ව බලය භාවිතයට ගනිමින්, සඳ බලා යනු ඇත්තේ නව වසරේ ජනවාරි 25 වැනිදා ය. සඳුගේ කක්ෂයට පිවිස, දින 25 ක් සඳ වටා යෑමෙන් පසු, පෙරිග්‍රීන් රොබෝ චන්ද්‍ර යානය, ගොඩබෑමට සැලැසුම් කර ඇත්තේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ සයිනස් විස්කොසිටේටිස් Sinus Viscositatis නමින් හැඳින්වෙන කලාපයටය. මෙම කලාපය බේ ඔෆ් සික්නස් Bay of Stickiness යන නමින් ද නම් කෙරේ. ඈත අතීතයේ මෙම ස්ථානයේ ලාවා ගලා යෑමක් සිදුවුණු බව මීට පෙර සිදු කළ චන්ද්‍ර ගවේෂණවලින් නාසා ආයතනය අනාවරණය කරගෙන තිබේ.

පෙරිග්‍රීන් චන්ද්‍ර යානයට අති නවීන තාක්ෂණික විද්‍යා උපාංග රැසකි. දක්ෂිණ ධ්‍රැවයේ සයිනස් විස්කොසිටේටිස් කලාපයේ විවිධාකාරයේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමට නාසා විද්‍යාඥයෝ සූදානමින් පසුවෙති. ප්‍රධාන අරමුණ වන්නේ සඳුගේ බාහිර ගෝලය එසේත් නැතිනම් පිටතින් ඇති වැස්ම ගවේෂණයයි. ඊට අමතරව සඳුගේ චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය ද විකිරණ ව්‍යාප්තිය කෙසේ සිදුවන්නේදැයි ගැඹුරින් අධ්‍යයනය ද සිදුවනු ඇත. සඳ මත ඇති විශේෂ පාෂාණ වර්ගයක් වන්නේ රෙගුලිත්  Lunar Regolith පාෂාණය. මෙම පාෂාණ අධ්‍යයනය කිරීම ද  පෙරිග්‍රීන් චන්ද්‍ර යානයට පැවැරී ඇති තවත් එක් මෙහෙයුමකි.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS