ට්‍රම්ප් චීන ජනපති හමුවෙයි

ට්‍රම්ප් සමථයකට පත් කළ නවතම අර්බුදය අවි ගැටුමක් නම් නොවෙයි. අවි ගැටුමක් නොවුණත්, එය මුළු ලෝකයටම සෘජුව මෙන්ම වක්‍රව බලපෑම් කරමින් තිබුණි. ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සමථයකට පත් වූයේ ඇමෙරිකාව සහ චීනය අතරේ පැවැති වෙළඳ යුද්ධයයි. මෙම වෙළෙඳ යුද්ධය නිර්මාණය වූයේ, ඇමෙරිකාව චීනයටත්, චීනය ඇමෙරිකාවටත් තීරු බදු පැනවූ බැවිනි. මේ සියල්ල සිදුවූයේ ට්‍රම්ප්ගේ ආසියානු සංචාරය අතරතුරේදීය.
ට්‍රම්ප් සිය ආසියානු සංචාරයක් ආරම්භ කළේ පසුගිය සති අන්තයේය. මෙම 2025 ජනවාරියේ සිය දෙවැනි ධුරය ආරම්භ කිරිමෙන් පසු ට්‍රම්ප් ආසියානු සංචාරයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි. ට්‍රම්ප් පළමුවෙන් මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා ගියේය. ඒ, 47 වැනි ආසියාන් සමුළුවට සහභාගී වීම සඳහාය. ආසියන් යනු අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයයි. ආසියාන් සමුළුවට සහභාගී වන සාමාජික රටවල් 10 කි. ඇමෙරිකා එක්සත් ජනපදය අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ පූර්ණ සාමාජික රටක් නොවන නමුත්, මෙම සංගමය සමග ඉතා සමීප සබඳතා පවත්වන හවුල්කරුවෙකි. ආසියාන් සමුළුවට සහභාගී වීමට, මැලේසියාව බලා යෑමට සිය එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයට ගොඩවෙද්දී ට්‍රම්ප් කියා සිටියේ තමන් චීන ජනාධිපති මුහුණට මුහුණ හමුවන බවත්, ඔහු සමඟ සාකච්ඡා පවත්වා, තීරු බදු සම්බන්ධ අර්බුදය විසඳා ගැනීමටත්, ඇමෙරිකාව සහ චීනය අතරේ පවතින වෙළෙඳ යුද්ධය අවසන් කරන බවත්ය.
ආසියාන් සමුළුව අතරතුරේ වැදගත් සිදුවීම් දෙකක් සිදුවිය. එයින් පළමු වැන්න, තායිලන්තය සහ කාම්බෝජය අතරේ පැවැති දේශසීමා යුද්ධය මුල්කොට ගනිමින්, දෙරට අතර ඇති කරගත් සටන් විරාමය සහ සාම සැලැස්ම ගිවිසුමට නිල වශයෙන් ට්‍රම්ප් මැදිහත් වී අස්සන් කිරීමය. මීට මාස කීපයකට පෙර නිර්මාණය වූ තායිලන්තය සහ කාම්බෝජය අතරේ දේශසීමා ගැටුම, ට්‍රම්ප් මැදිහත් වී අවසන් කළේ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්රහීම්ගේ ද සහාය ඇතිවය. ට්‍රම්ප් සාමයට කැපවුණු ලෝක නායකයකු බවත්, ඔහු මැදිහත් වී තායිලන්තය සහ කාම්බෝජය අතර යුද ගැටුම සමථයකට පත් කිරීම සැබැවින්ම ප්‍රසංශනීය යැයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙන්ම කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා ද පසුව පැවසුවේ, ට්‍රම්ප් ප්‍රසංශා පිට ප්‍රසංශා කරමිණි.
ආසියාන් සමුළුව අතරතුරේ සිදුවුණු දෙවැනි වැදගත් සිදුවීම නම්, සමුළුවට සහභාගී වූ බ්‍රසීල ජනාධිපති ලූලා දසිල්වා සහ ට්‍රම්ප් අතර හමුවය. බ්රසිල ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා ඵලදායී වූ බව ට්‍රම්ප් පැවසුවේ ආඩම්බරයෙනි. ට්‍රම්ප්, බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු පනවා තිබුණි. ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත්වීමට පෙර, එම ධුරයේ කටයුතු කළේ යාර් බොල්සරානෝය. මොහු දැඩි ට්‍රම්ප් හිතවාදියෙකි. බොල්සරානෝ, ජනාධිපති බලතල අවභාවිත කළේ යැයි චෝදනා ලැබ සිටින අතර, ඔහුට එරෙහිව නඩු විභාගයක් ද පැවැත්වෙයි. ට්‍රම්ප්, බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු පැනවූයේ කළේ බොල්සරානෝට එරෙහිව පැවැති නඩු විභාගය සම්බන්ධයෙනි. කෙසේ හෝ, තීරු බදු සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සමඟ පැහැදිලි එකඟතාවක් ඇතිකරගත් බවත්, ඇමෙරිකාව සහ බ්‍රසීලය අතරේ මිතුදම් තවත් ශක්තිමත් වූ බවත් හමුවෙන් පසු ට්‍රම්ප් පැවැසීය.
ක්වාලාලාම්පූර් අගනුවර පැවැති ආසියාන් සමුළුව නිමා කරමින් ට්‍රම්ප් ගියේ ජපානයටය. ජපානයේ නව අගමැතිනී සනෙයි ටකයිචී හමුවිය. නව වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනුණි. ජපන් අග්‍රාමාත්‍යවරිය හමුවී අතට අත දීමෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ පළමු හමුවේදීම ඇය සැබෑ නායිකාවක ලෙස තමන්ගේ සිත් දිනා ගත් බවය.
සාර්ථක ජපන් සංචාරය නිමා වී ට්‍රම්ප්, සිය ආසියානු සංචාරයේ අවසානය සනිටුහන් කරමින් පැමිණියේ දකුණු කොරියාවටය. දකුණු කොරියන් සංචාරයේ දී තමන් තම මිතුරා වන උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට සූදානම් බව ට්‍රම්ප් පැවැසීය. කෙසේ නමුත් හදිසියේ ට්‍රම්ප් හමුවීමට නොහැකි බව නායක කිම් ජොන් උන් පවසා තිබුණු බැවින්, එම බලාපොරොත්තු සුන් විය. ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී අවස්ථා කීපයකදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී තිබුණි. පසුගිය 29 වැනිදා ට්‍රම්ප් දකුණු කොරියාවට පැමිණියේ, ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමටය. කොරියානු ජනාධිපති ලී ජේයි මුයුංග්, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මහ ඉහළින් පිළිගත්තේ ගෞරව නම්බු නාම ප්රදානය කරමිණි.
ලොව කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි පරිදිම ට්‍රම්ප් සහ චීන් ජනාධිපති ෂී ජින්පින් අතරේ මුහුණට මුහුණ හමුව පැවැත්විණි. ඒ, දකුණු කොරියාවේ බූසොන් නගරයේදීය. ට්‍රම්ප් සහ ජින්පින් මේ අයුරින් මුහුණට මුහුණ හමුවූයේ වසර හයකින් වීම විශේෂත්වයකි. ඇමෙරිකාව සහ චීනය ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රාජ්‍යයන්ය. එකිනෙකාට නොදෙවැනි ලෙස තීරු බදු පනවා ගනිමින්, දෙරට අතරේ හටගත් වෙළෙඳ යුද්ධය හේතුවෙන්, ඇමෙරිකා චීන මිත්රදම් පවා පළුදු වී තිබුණි. බිඳ වැටුණු මිතුදම් ශක්තිමත් කර ගැනීමට ට්‍රම්ප් සහ ජින්පින් කටයුතු කළහ.
දුර්ලභ ඛනිජ සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග වසරක ගිවිසුමකට එළැඹීමට චීන ජනාධිපතිවරයා එකඟ වූ බවත් චීනයට පනවා තිබූ සියයට 20 ක ෆෙන්ටැනයිල් ආශ්රිත බද්ද සියයට 10 දක්වා අඩු කිරීමට තමන් එකඟ වූ බවත් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, චීන ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් පැහැදිලි කළේය. දුර්ලභ ඛනිජ සඳහා එළැඹෙන ගිවිසුම වාර්ෂිකව දෙපාර්ශ්වය සමාලෝචනයට ලක් කරනු ඇති බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඊට අමතරව, ලබන 2026 වසරේ අප්‍රේල් මාසයේදී, චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ඇරයුමකට අනුව තමන් චීනයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවද ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැවැසීය. එම සංචාරය අවසන් වෙද්දී, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකන් සංචාරයක් සඳහා පැමිණෙනු ඇති බව ද ට්‍රම්ප් අවධාරණය කළේය. සෝයා බෝංචි ආනයනය, දුර්ලභ ඛනිජ සහ ෆෙන්ටැනයිල් ආශ්රිත ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡාවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින්, චීන භාණ්ඩ සඳහා පනවා ඇති සමස්ත බද්ද සියයට 57 සිට 47 දක්වා පහළ ගොස් ඇති බව ද ඇමෙරිකන් ජනපතිවරයා වැඩි දුරටත් පැවැසීය. "ඇමෙරිකාව සහ චීනය කියන්නේ විටෙක ප්‍රතිවාදීන්, විටෙක මිතුරන්, අප බොහෝ දේ සාකච්ඡා කළා. එකඟතාවක් ඇති කරගත් දේ තියෙනවා. එකඟතාවක් ඇති කර නොගත් දේ තියෙනවා. එකඟතාවක් ඇති කර නොගත් දේවල් ගැන අප ඉදිරියේ දී තව දුරටත් සාකච්ඡා පවත්වනවා" යැයි චීන ජනාධිපති ෂී ජින්පින් මාධය හමුවේ පවසා ඇත. ජනාධිපතිවරුන් දෙදෙනා පමණක් නොව, දෙරට රජවේ නියෝජිතයන්, ව්‍යාපාර ප්‍රබලයන් පවා මෙම සාකච්ඡා සඳහා එක් වී සිටි බව විදෙස් මාධ්‍ය පවසා ඇත.
බීබීසී ඇසුරිනි

