ජර්මන් රජය පෙරළීමේ කුමන්ත්‍රණය



සිදුවන්නේ කුමක්දැයි ජර්මන් වැසියන් කිසිවකු හරිහැටි දැන සිටියේ නැත. පසුගිය 7 වැනිදා අලුයම, ජර්මන් පොලිසිය රට පුරා වැටලීමක් කළේය. ජර්මන් ත්‍රස්ත මර්දන ඒකකයේ මැදිහත් වීමෙන් සිදුවුණු එම වැටලීමට පොලිස් නිලධාරීහු 3,000 කට වැඩි පිරිසක් එක් වූහ.

අන්ත දක්ෂිණාංශික ‘රයික්බර්ග්’ සාමාජිකයන් වසර ගණනක් තිස්සේ ජර්මන් රජයට හිසරදයකි. නියෝ නාසිවාදීන් වන මොවුන් ජර්මන් රජය පිළිගන්නේ නැත. ‘රයික්බර්ග්’ සාමාජිකයන්, අන්තවාදීන් පමණක් ත්‍රස්තවාදීන් ලෙස ජර්මන් රජය සලකයි.  ‘රයික්බර්ග්’ කල්ලියට නායකත්වය දෙන්නේ 13 වැනි හෙන්රික් නමැත්තාය. මොහු ජර්මන් රජ පෙළපතට අයත් සාමාජිකයෙකි. රාජකීය ලේ ඇත්තෙකි. ‘රයික්බර්ග්’ කල්ලියට සාමාජිකයන්, හෙන්රික් හඳුන්වන්නේ ‘කුමරු’ යන නමිනි.

13 වැනි හෙන්රික්, ජර්මනියේ 12 වෙනි සියවසේදී ආරම්භ වූ රෝස් රජ පෙළපතෙන් පැමිණෙන්නෙකු බව පැවැසෙයි. රෝස් පෙළපතේ පාලනය1918 ජර්මානු විප්ලවය තෙක් වසර සිය ගණනක් දිව යයි. මොහු ෆ්‍රෑන්ක්ෆර්ට් හි දේපළ වෙළඳාම්කරුවෙකි. සූසන් ජලාලි නම් ඉරාන ජාතික කාන්තාවක සමග මොහු විවාහ වී සිටී. විවාහයෙන් පසු සූසන් රෝස් කුමරිය ලෙස ඇය හඳුන්වයි. හෙන්රික් සහ සූසන් ට පුතෙකු සිටින බව පැවැසෙයි.

‘රයික්බර්ග්’ සාමාජිකයන් ක්‍රමන්ත්‍රණය කර තිබුණේ ‘රයික්ස්ටාග්’ යනුවෙන් හැඳින්වෙන ජර්මන් පාර්ලිමේන්තු​ ගොඩනැගිල්ලට කඩා වැදී ආණ්ඩුව පෙරළා රටේ බලය අත්පත් කර ගැනීමය. ජර්මන් රජය පෙරළා බලය අත්පත් කර ගැනීමෙන් පසු, දෙවැනි ලෝක යුද්ධයට පෙර පැවැති අයුරින්, පාලනයක් ජර්මනියේ ස්ථාපිත කිරීම ‘රයික්බර්ග්’ කල්ලියේ අරමුණ වී තිබුණි. එවිට රටේ පාලනය විශේෂ කවුන්සිලයකට  හිමිවෙයි. මහජන ඡන්දයකින් තොරව පාලන කටයුතු සිදුවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ජර්මනියට අහිමි වෙයි.

මේ සියල්ල කල්තියා දැනගත් ජර්මන් බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුව, රජය කඩිනමින් ක්‍රියාත්මක විය. ත්‍රස්ත මර්දන ඒකකයේ මැදිහත් වීමෙන් වැටලීම් සිදුවිය. සිදුකළ වැටලීම් ගණන 150 ක් බව පැවැසෙයි. එපමණක් නොව, ජර්මන් මාධ්‍ය වාර්තා කළ ආකාරයට, අන්තවාදී කණ්ඩායමකට එරෙහිව එරට ඉතිහාසයේ සිදුවුණු දැවැන්තම පොලිස් වැටලීම මෙය බව ද පැවැසෙයි.

පොලිසිය ඔවුන්ගේ ඉලක්ක පැහැදිලිව හඳුනාගෙන තිබූ බැවින්, පසුගිය 7 වැනිදා අලුයම් කාලයේ එකම වේලාවක, එකවිට එම ජර්මනියේ ප්‍රාන්ත 11 ක වැටලීම් සිදුවුණු බව පැවැසෙයි. නිවාස සහ ගොඩනැගිලි 130 කට වැඩි ගණනකට පොලිසිය කඩා වැදුණි.  වැටලීම්වලදී අත්අඩංගුවට ගත් පිරිස 25 කි. එම පිරිස අතරේ, 71 හැවිරිදි 13 වැනි හෙන්රික් ද වෙයි. ජර්මන් මාධ්‍ය වාර්තා අනුව, හෙන්රික් උපත ලබා ඇත්තේ 1951 දෙසැම්බර් 4 වැනිදා ය. රජයේ නීතිපතිවරුන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් පිරිස අතර රයික්බර්ග් නායකයන් ද සිටින බවය.

‘රයික්බර්ග්’ සාමාජිකයන් ජර්මන් රජය පෙරළා දැමීමට සැලැසුම් සකස් කර ඇත්තේ, ජර්මනිය ‘කොවිඩ් 19’ වසංගතයෙන් බැට කෑමට පෙර, 2021 වසරේ නොවැම්බරයේය. ‘රයික්බර්ග්’ කල්ලියට එක් වුණු සන්නද්ධ සාමාජිකයන් වැඩි දෙනා හඳුනාගෙන අවසන් බව ජර්මන් බුද්ධි අංශ පවසා ඇත. 2021 නොවැම්බරය වෙද්දී, ‘රයික්බර්ග්’ කල්ලිය සමග එක් වුණු ජර්මන් වැසියන් ගණන 21,000 ක් බව බුද්ධි අංශ පවසා තිබේ. ‘රයික්බර්ග්’ සාමාජිකයන්ගෙන් ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූවන්ගේ සංඛ්‍යාව සියයට 10 ක් පමණ යැයි ද හඳුනා ගෙන ඇත. අත්අඩංගුවට ගත් 25 දෙනා අතරේ ඔස්ට්‍රියානු ජාතිකයකු සහ ඉතාලි ජාතිකයකු ද සිටින බව පොලිසිය පවසා ඇත.

ඊට අමතරව, ‘රයික්බර්ග්’  කල්ලිය හා සම්බන්ධ, ජර්මන් හමුදාවේ, ඉහළ සාමාජිකයන් කීප දෙනකු ද අත්අඩංගුවට ගෙන ගෙන තිබේ. තවත් කීප දෙනකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත. අත්අඩංගුවට ගත් පිරිසට අමතරව, ‘රයික්බර්ග්’ කල්ලියට සම්බන්ධ තවත් පිරිමින් 50 දෙනකු සහ කාන්තාවන් 50 දෙනකු ගැන තමන් විමසිල්ලෙන් සිටින බව ජර්මන් පොලිසිය පවසයි. ‘රයික්බර්ග්’ සාමාජිකයන් ජර්මන් රජය සහ එරට නූතන ප්‍රජාතන්ත්‍රවාදී පිළි නොගන්නා අතර, බදු ගෙවීම ද ප්‍රතික්ෂේප කරයි. ජර්මන් බුද්ධි අංශ ප්‍රධානී තෝමාස් හෙල්ඩෙන්වොන්ග් පවසන ආකාරයට අද වනවිට ජර්මනියේ ජාතික ආරක්ෂාවට ඇති විශාලතම තර්ජනය ‘රයික්බර්ග්’ කල්ලියයි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS