ගෝලීය උණුසුම ඉහළ යයි

එක්සත් රාජධානිය යනු එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයයි. ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී, යුරෝපය අසාමාන්‍ය ලෙස වියලි උණුසුම් කාලගුණයකින් බැටකයි. ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ ළැව් ගිනි පැතිර යමින් පවතී. ස්පාඤ්ඤය, ප්‍රංශය මෙන්ම එක්සත් රාජධානිය ද අයත් වන්නේ යුරෝපයටය.
පසුගිය දා වේල්සයේ, ප්‍රදේශ පලාත් කීපයක දුම්රිය ගමන්වලට ද අධික උණුසුම හරස් විය. ඒ, අධික උණුසුම හේතුවෙන් දුම්රිය පීලි ඇඹරී, ඇදවී යෑමත් සමඟය. දුම්රිය ගමන් බිමන් හිටිහැටියේ නතර වූයේ, මගීන් දැඩි ලෙස අපහසුතාවට පත් කරමිණි. දුම්රිය පීලි සෙල්සියස් අංශක 50 දක්වා රත් වෙද්දී, ඒවා ඇඹරී ඇද වෙයි. වේල්සයේ දුම්රිය ගමන් බිමන් නතර වූයේ මේ නිසාය. මේ අයුරින්, අධික උණුසුම හේතුවෙන් දුම්රිය පීලි; නැතිනම් රේල් පීලි ඇදවීම, යුරෝපා රටවල පමණක් නොව, ඇමෙරිකාවේ ද බහුලව සිදුවෙයි. මීට වසර ගණනකට පෙර, 2012 වසරේ ජූලි මාසයේ ඇතිවූ අධික උණුසුම් කාලගුණයක් හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක දුම්රිය පීලි ඇදවී අනතුරු 2,100 කට වැඩි ප්‍රමාණයක් වාර්තා විය.
අධික උණුසුම් කාලගුණය පමණක් නොව, අධික සීත කාලගුණයට ද හේතුව ගෝලීය උණුසුම ඉහළ යෑම යැයි කාලගුණ විද්‍යාඥයන්ගේ මතයයි. නොයෙක් විදියේ විපරිත දේශගුණික පෙරළි ඇති වන්නේ ද ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙනි. ගෝලීය උණුසුම ඉහළ යෑම, පෘථිවිවාසීන්ට විශාල තර්ජනයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙය අද ලෝකයා මුහුණ දෙන ප්‍රධානතම පාරිසරික අභියෝගයකි. මෙහිදී සිදුවන්නේ, පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වීමය. මේ තත්ත්වය මනුෂ්‍ය අපට විවිධ ආකාරවලින් බලපෑම් එල්ල කරයි.
ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු ප්‍රධානම හේතුව මිනිස් ක්‍රියාකාරකම් යැයි පරිසරවේදීහු නිරන්තරයෙන් චෝදනා කරති. කාර්මික ක්‍රියාවලි සහ ෆොසිල ඉන්ධන දහනය ගෝලීය උණුසුම ඉහළ යෑමට ප්‍රධාන හේතුව වෙයි. පසුගිය දා ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් (ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානය) සංවිධානයේ ප්‍රධාන සමුළුව කොළඹදී පැවැත්විණි. එ්, පොසිල ඉන්ධන වෙනුවට සූර්ය බලය භාවිත කළ යුත්තේ ඇයිදැයි පැහැදිලි කරමිණි. කර්මාන්තශාලා, වාහන සහ විදුලිය උත්පාදනය සඳහා ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු වැනි ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාගාර වායු විශාල ප්‍රමාණයක් වායුගෝලයට එකතු වෙයි. ගෝලීය උණුසුම ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු සාධකයක් වන්නේ මෙයයි. මිල අධික වුවත්, සූර්ය බලය වැනි පරිසරහිතකාමී ඉන්ධන භාවිතයේ වැදගත්කම කොළඹ පැවැති එම ජාත්‍යන්තර සමුළුවේදී පෙන්වා දීම සිදුවිය.
ගස් මගින් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීම සිදු කරයි. එහෙත්, කොතරම් විරුද්ධ වුවත්, කාර්මීකරණයත් සමඟ වනාන්තර විනාශය නොකඩවා සිදුවෙයි. මහා පරිමාණයෙන් සිදුවන වනාන්තර විනාශය හේතුවෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වී උණුසුම තවදුරටත් ඉහළ යයි. කෘෂිකාර්මික කටයුතු ද ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු සාධකයකි. සත්ව පාලන කටයුතුවලින් සහ ඇතැම් කෘෂිකාර්මික ක්‍රමවලින් ද හරිතාගාර වායු වන මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායු පිටවීම සිදුවෙයි. හරිතාගාර වායු පෘථිවි පෘෂ්ඨයෙන් පරාවර්තනය වන තාපය වායුගෝලයේ රඳවා ගැනීමක් කරන බැවින්, එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට හේතුවක් වෙයි.
පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑම අධික කාලගුණික විපත්වලට හේතුව වෙයි. දිගු කාලීන නියඟ ඇතිවීම පානීය ජල හිඟයක් සහ කෘෂිකාර්මික කටයුතුවලට බාධාවකි. ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාපතනය ලැබී, ගංවතුර තත්ත්වයන් නිර්මාණය වී, දේපළ හානි සිදුවෙයි. ජීවිත හානි සිදුවෙයි. වගා විනාශ වෙයි. මේ මොහොතේ පාකිස්තානයට නොකඩවා මෝසම් වැසි ඇද හැලෙයි. 200 කට වැඩි පිරිසක් ජල ගැලීම් සහ අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. සුළි කුණාටු වැනි දරුණු කාලගුණික රටා බහුල වීම සහ අනපේක්ෂික ආකාරයෙන් සුළි කුණාටු ඇතිවීම ද ගෝලීය උණුසුම හේතුවක් වෙයි. පසුගිය දා ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට මහ වැසි ඇද හැලීම සහ හදිසි ජල ගැලීම් හට ගැනීම හොඳ උදාහරණයකි.
පරිසරයේ උෂ්ණත්වය ඉහළ යෑම අප සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරයි. අධික උෂ්ණත්වය නිසා හිරු රශ්මියට නිරාවරණය වීමෙන් ඇතිවන රෝග, විජලනය වැනි තත්ත්වයන් ඒ අතරින් ප්‍රධාන වෙයි. වැඩිහිටියන්ට, කුඩා දරුවන්ට සහ නිදන්ගත රෝග ඇති පුදස්ගලයන්ට අධික උණුසුම දරුණු විය හැක. කලින් සඳහන් කළ පරිදි මේ වනවිට යුරෝපා රටවල හීට් වේව්ස් (තාප ධාරා) පැතිර යයි. ඒ අනුව, සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සැලකිය යුතු ලෙස වැඩි උෂ්ණත්වයක් දින ගණනක් පවතී. හීට් වේව්ස් විවිධාකාරයේ රෝගාබාධවලට හේතු වෙයි. ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම (සෙල්සියස් අංශක 40 හෝ ඊට වැඩි) සහ දහඩිය දැමීමේ හැකියාව අඩුවීම සිදුවෙයි. ඒ අනුව, ක්ලාන්තය, ව්‍යාකූලත්වය, කම්පන තත්ත්වයන් සහ සිහිසුන් වීම සිදුවෙයි. කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත් ජීවිත හානි සිදුවීමට පවා ඉඩ ඇත. ඊට අමතරව, අධික උණුසුම, මානසික සෞඛ්‍යයට ද බලපෑම් එල්ල කරන බව වෛද්‍යවරු පවසති.
බීබීසී ඇසුරිනි

