කුරුල්ලන් බේරාගන්න ගිය මදුරුවෝ

පසුගියදා කුවායි දූපතේ වනාන්තර ප්‍රදේශවලට ඉහළින් කුඩා ඩ්‍රෝන යානා සැරිසරන්න විය. සෑම ඩ්‍රෝන යානාවක්ම කුඩා මල්ලක් රැගෙනවිත් තිබුණි. මෙවැනි මලු ගුවනේ සිට වනාන්තරයේ තැනින් තැනට හෙලන ලද්දේ, සතුරු යානා බෝම්බ හෙලන ආකාරයටය. මේ කුඩා මලු නිර්මාණය කර තිබුණේ පහසුවෙන් විවර වන ආකාරයටය. පහළට වැටෙද්දී විවර වුණු ඒවා තුළ වූයේ මදුරුවන්ය. මෙවැනි මලු දුසිම් ගණනක් වනාන්තරයේ තැනින් තැනට පතිත කළ අතර එක් මල්ලක් තුළ මදුරුවෝ 1,000 ක් සිටියහ. මදුරුවන්ගෙන් දැඩි ලෙස තර්ජනයට ලක්වුණු කුවායි දූපතට තවත් මදුරුවන් මොකටද? වනාන්තරවලට මෙසේ මදුරුවන් දහස් ගණනින් මුදා හැරීමට බලධාරීන් කටයුතු කළේ ඇයි?
මුදා හරින ලද මේ මදුරුවන් එසේ මෙසේ මදුරුවන් නොවෙයි. ජාන වෙනස් කරන ලද පිරිමි මදුරුවන්ය. මදුරුවන් ගැන කතා කරද්දී, ලේ උරා බීම සිදු කරන්නේ ගැහැනු මදුරුවා පමණි. ඒ, බිත්තර දැමීමේ අරමුණින්ය. ඒ, බිත්තර දැමීමට ප්‍රෝටීන ලබා ගැනීමටය. පිරිමි මදුරුවා ලේ උරා නොබොන අතර, උන් මල් පැණි ආදිය ආහාර ලෙස උරා බොයි. හවායි බලධාරීන්, විද්‍යාඥයන් සමඟ එක් වී, වනාන්තරයට මුදා හැරියේ ජානමය වශයෙන් වෙනස් කරමින් පර්යේෂණාගාරවල නිර්මාණය කළ පිරිමි මදුරුවන්ය. මේ මදුරුවන් දෂ්ට නොකරන අතර, මොවුන්ගේ සිරුරේ බැක්ටීරියා විශේෂයක් වර්ධනය කරයි. පිරිමි මදුරුවන් ගැහැනු මදුරුවන් සමඟ එක් වී, ගැහැනු මදුරුවන් බිත්තර දැම්මත්, ඒ බිත්තර පුපුරා කීටයන් බිහිවන්නේ නැත. මදුරුවකුගේ ජීවන චක්‍රය වන්නේ බිත්තර, කීටයා, පිළවා සහ මදුරුවාය. පිරිමි මදුරුවෙකුගේ ආයු කාලය දින තුනත් පහත් අතර කාලයකට සීමා වන අතර, ගැහැනු මදුරුවකුගේ ආයු කාලය දින අනුවකි. පර්යේෂණාගාරවල නිර්මාණය කර, වනාන්තරවලට මුදා හරින ලද පිරිමි මදුරුවන් නිසා මදුරු ගහණය අඩු කිරීමට හෝ පාලනය කිරීමට බලාපොරොත්තු වෙයි.
හවායි බලධාරීන් මෙවැනි දෙයක් කළේ ඇයි? හවායි වැසියන්ගේ ආරක්ෂාවටද? නැත. ඔවුන් මෙසේ කළේ හවායි දූපත්ලට, විශේෂයෙන් කුවායි දූපතට පමණක් ආවේණික කුරුලු විශේෂ ආරක්ෂා කර ගැනීමටය. වනාන්තරවලදී මදුරු ගැහැනු සතුන් මෙම කුරුල්ලන්ගෙන් ලේ උරා බීම සිදු කරයි. මදුරුවන්ගෙන් පැතිරෙන වයිරස හේතුවෙන් කුරුලු ගහණයට ලොකු තර්ජනයක් එල්ල වී ඇත. විශේෂයෙන් පැණි බොන කුරුලු විශේෂ වඳවීමේ තර්ජනයට ලක් වී ඇත. අතීතයේ කුවායි දූපතේ වනාන්තරවල මෙවැනි කුරුලු විශේෂ 50 කට වැඩි ගණනක් දකින්න ලැබුණත්, අද එයින් ඉතිරි වී ඇත්තේ විශේෂ 17 කි. සෙසු විශේෂ මදුරු තර්ජන හේතුවෙන් සඳහටම ලොවෙන් වඳවී ගිය බව පැවැසෙයි. පසුගිය වසරේ සිදු කළ සංගණනයකදී අකීකි නමැති අළු පැහැති පුංචි කුරුලු විශේෂයට අයත් කුරුල්ලන් ද මුළුමනින්ම වඳ වී ගිය බව තහවුරු විය. ඊට අමතරව, කහ කොළ අකෙයිකේ නමැති පුංචි කුරුල්ලන් 100 තෙක් අඩු වී ඇති බවට ද අනාවරණය විය.
“කුවායි දූපතේ කුරුලු ගහණයට වනාන්තර විනාශයත් යම් ආකාරයකට බලපෑමක් කරනවා. ඒත් මදුරුවන් තමයි ප්‍රධානතම සාධකය. මදුරු දෂ්ටන නිසා කුරුලු මැලේරියාව කුරුල්ලන් අතරේ ව්‍යාප්ත වෙනවා.” මෙසේ පවසන්නේ, ඇමරිකානු පක්ෂි සංරක්ෂණ සංවිධානයේ, හවායි දූපත් සම්බන්ධයෙන් කටයුතු කරන ආචාර්ය ක්‍රිස් ෆාමර්ය. “අපට වනාන්තරවලට ගිහිල්ලා මදුරුනාශක දියර ඉසින්න බැහැ. ඒවා නිසා පරිසර පද්ධති විනාශ වෙන්න පුළුවන්. දිය මැස්සන්, පලතුරු මැස්සන් ආදී කෘමි සතුන් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ජාන වෙනස් කළ මදුරුවන් යොදා ගැනීම තමයි ආරක්ෂිත ක්‍රමය. පරිසර පද්ධතියේ සමතුලිතතාව රැක ගැනීමට මෙම ක්‍රමය උදවු වෙනවා.” යැයි ආචාර්ය ක්‍රිස් ෆාමර් වැඩි දුරටත් පැහැදිලි කරයි.
පර්යේෂණාගාරවල බෝ කරන මදුරුවන්ගේ සිරුරුවලට ආසාදනය කරන්නේ නැතිනම් ඇතුළු කරන්නේ වොල්බැකියා නමැති බැක්ටීරියාවය. වොල්බැකියා බැක්ටීරියාව අපට ද ආගන්තුක නැත. 2019 වසරේ අප රටේ ඩෙංගු අධි වසංගත තත්වයක් පවතිද්දී, වොල්බැකියා බැක්ටීරියාව මෙරටට ගෙන ඒම සිදුවිය. වොල්බැකියා බැක්ටීරියාව මදුරුවාට හානිකර නොවන නමුත්, එය මදුරුවන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය වෙනස් කරයි. වොල්බැකියා ආසාදිත පිරිමි මදුරුවකු, වොල්බැකියා ආසාදිත නොවන ගැහැනු මදුරුවෙකු සමඟ එක් වූ විට, ගැහැනු මදුරුවා දමන බිත්තර පුපුරා යෑමක් සිදු නොවෙයි. මදුරු ගහණය ඒ අනුව අඩු කර ගැනීම කළ හැකිය.
හවායි දූපතේ කුරුල්ලන්ට පමණක් නොව, ලෝකයේ බලවතා වන අප මනුෂ්‍ය වර්ගයාට ද වින කරන පුංචිම පුංචි සතා මදුරුවාය. මිනිස් ශිෂ්ටාචාර බිඳ දැමීමට, දස දහස් ගණනකගේ ජීවිත අහිමි කිරීමට, රටක ආර්ථිකය කඩා වැටීමට සැලැස්වීමට මදුරුවන්ට පුළුවනි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වසරකට මිලියන 400කට අධික මැලේරියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර, ඉන් වැඩි පිරිසක් මිය යන්නේ දරුවන් ය. එපමණක් නොව, ඩෙංගු, චිකුන්ගුනියා, සිකා සහ කහ උණ වැනි දරුණු රෝග රැසක් ද මදුරුවන් මඟින් මිනිසාට සහ සතුන්ට බෝ කරයි. මේ නිසාම, මදුරුවන් පෘථිවියේ සිටින මාරාන්තිකම සතුන් අතරින් ප්‍රධාන තැනක් ගනී. මදුරුවා යනු ඩිප්ටෙරා ගණයට අයත් කුඩා පියාපත් සහිත කෘමියෙකි. ලොව පුරා මදුරු විශේෂ 3,500 කට වඩා හඳුනාගෙන ඇත. ඉන් බොහෝ විශේෂ මිනිසුන්ට හානිකර නොවන නමුත්, ඇනෆිලීස්, ඒඩිස් සහ කියුලෙක්ස් වැනි විශේෂයන් මනුෂ්‍ය වර්ගයාට විශාල තර්ජනයක් එල්ල කරයි.
සී.එන්.එන්. ඇසුරිනි

