කැනඩාවේ බිහිසුණු ඝාතනය



911 හදිසි අංකය ඔස්සේ, ඔටෝවා පොලිසියට ඒ ගැන දැනුම් දෙන විටත්, සියල්ල අවසන් වී තිබුණි. පසුගිය 7 වැනිදා,කැනඩාවේ වේලාවෙන්, රාත්‍රී 10.52 ට පමණ, 911 හදිසි අංකය ඔස්සේ, පොලිසියට ඇමතුම් දෙකක් ලැබී තිබුණි. පොලිසියට ලැබුණු පණිවුඩය වූයේ, ඔටෝවා අගනුවර, බර්හේවන් පළාතේ, පාසල් දෙකකට නුදුරින්, ඉතාමත් සාමකාමී වටපිටාවක පිහිටි, නිවාස ගොඩනැගිල්ලක එක් නිවසක් තුළ ඝාතනයක් සිදුවී ඇති බවත්, ඝාතන සිදු කර ඇත්තේ, වෙඩි තැබීමකින් බවත්ය.

පොලිස් නිලධාරීන් කණ්ඩායම් කීපයක් වහා ක්‍රියාත්මක වී, අදාල ස්ථානයට පැමිණෙද්දී, ඔවුන්ට දකින්න ලැබුණේ හද කම්පා කරන දසුනකි. කුඩා දරුවෝ සිවු දෙදෙනෙක්, තරුණියක් සහ තවත් වැඩිහිටි පිරිමියෙක් ලේ විලක් මැද මියගොස් සිටියහ. බරපතළ තුවාල ලබා සිටි තවත් පිරිමියකු ද පොලිසියට හමුවිය. වෙඩි තැබීමක් සිදුවුණැයි සැලවී නිවසට පැමිණි පොලිස් නිලධාරීන්ට පසුව දැනගන්න ලැබුණේ එය වෙඩි තැබීමක් නොවන බවය. ඝාතන කර තිබුණේ තියුණු ආයුධයකින් කළ පහර දීමෙන් යැයි පෙනී යද්දී එය කම්පාවට හේතුවක් විය.

තුවාල ලබා මියගොස් සිටියේ අවුරුදු 7 ට අඩු පොඩිත්තන් පිරිසකි. නිවස තුළ මියගිය තරුණිය දරුවන්ගේ මව බව හඳුනා ගැණුනි. බරපතළ තුවාල ලබා, කඩිනමින් රෝහල්ගත කළ පිරිමි පුද්ගලයා දරුවන්ගේ පියා බවත්, රෝහල්ගත කළ ඔහුගේ තත්ත්වය තරමක් යහපත් බවත් පොලිසිය පසුව පැවැසීය. මියගිය පිරිස කවුරුන්දැයි පොලිසිය අනාවරණය කරද්දී, එය මුළු ලොවම කම්පා කළේය. ඒ සියල්ලටම වඩා කම්පාවට පත් වූයේ අප ශ්‍රී ලාංකිකයන්ය. මියගොස් සිටියේ කැනඩාවේ ඔටෝවා අගනුවර ජීවත් වූ ශ්‍රී ලාංකික පවුලකි.

ඔටෝවා පොලිස්පති එරික් ස්ටබ්ස්, ඝාතනය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා සියලු තොරතුරු අනාවරණය කළේය. කැනඩාවේ, සීබීසී පුවත් නාළිකාව එම තොතුරු වාර්තා කළ අතර, මෙම සටහනට ඇතුළත් වෙන්නේ ද එම මාධ්‍ය වාර්තාය. පොලිස්පති එරික් ස්ටබ්ස් සමඟ ඔටෝවා අගනුවර නගරාධිපති මාර්ක් ස්කට්ක්ලිෆ් ද මාධ්‍ය හමුවට එක් වී සිටියේය.

ඔටෝවා අගනුවර, දකුණු දෙසින් බර්හේවන් පළාතේ, බෙරිගන් ඩ්‍රයිව් වීදියේ පිහිටි නිවාස ගොඩනැගිල්ලේ නිවස තුළ මියගිය මව, දර්ශනී බණ්ඩාරනායක යැයි හඳුනා ගැනුණි. ඇය වයස අවුරුදු 35 ක තරුණියකි. මියගිය දරුවන් සිවුදෙනා වන්නේ, 7 හැවිරිදි ඉනූක වික්‍රමසිංහ, සිවු හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ මාස දෙකක් වයසැති සිඟිත්ති කෙලී වික්‍රමසිංහ සහ නිවසේ පදිංචිව සිටි 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නමැත්තාය. මොහු පවුලේ හිතවකු බව පසුව දැන ගන්න ලැබුණි.

ප්‍රහාරයට ලක් වී බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කළ තැනැත්තා ධනුෂ්ක වික්‍රමසිංහ වන අතර ඔහු දරුවන්ගේ පියාය. කෙලී වික්‍රමසිංහ උපත ලබා ඇත්තේ කැනඩාවේය. මෙම පවුලේ සාමාජිකයන් අවස්ථා කීපයකදී කැනඩාවේ පදිංචියට පැමිණි ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඔවුන් කැනඩාවේ අලුතින් පදිංචියට ආ අය යැයි පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පැවැදිලි කළේය.

අපරාධය සිදුවූ ස්ථානයට ආ අධිකරණ වෛද්‍යවරුන් ද මියගිය අයගේ තුවාල පරීක්ෂා කිරීමෙන් පසු තහවුරු කළේ එය, වෙඩි තැබීමේ සිද්ධියක් නොව, ‘දාර සහිත’ තියුණු ආයුධයකින් කළ පහර දීම් බවය. ‘දාර සහිත’ තියුණු ආයුධයකින් පහර දී හය හතර නොතේරෙන දරුවන් ඝාතනය කිරීමට තරම් කෙනකු පෙළෙඹෙන්නේ කෙසේද? මෙවැනි ම්ලේච්ඡ අපරාධයක් කිරීමට තරම් කෙනකු තිරිසනකු වන්නේ කෙසේද?

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් ඔටෝවා පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ, අපරාධය සිදුවුණු ස්ථානයේදී යැයි ඇතැම් කැනඩා මාධ්‍ය වාර්තා කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 19 හැවිරිදි  ෆෙබ්රියෝ සොයිසා නමැත්තා බවත්, ඔහු ද ශ්‍රී ලාංකිකයකු බවත් අනාවරණය වී තිබේ. ෆෙබ්රියෝ ද සොයිසා කැනඩාවේ අධ්‍යාපනය ලබමින් සිටින ශ්‍රී ලාංකිකයකු බව ඔටෝවා පොලිස්පති එරික් ස්ටබ්ස් පැවැසීය. ෆෙබ්රියෝ ද ඝාතනයට ලක් වුණු පවුලේ හිතවතකු බවත්, ඔහු ද එම නිවසේ පදිංචි වී සිටි බවත් පොලිස්පතිවරයා අනාවරණය කර ගෙන ඇත.

ෆෙබ්රියෝ ද සොයිසා, ඔටෝවා නුවර ඇල්ගොන්කින් උසස් පාසලේ ශිෂ්‍යයකු බව, එම පාසලේ විදුහල්පති ක්ලෝඞ් බෲල්, ප්‍රකාශ කර ඇත. අත්අඩංගුවට ගැණුනු ෆෙබ්රියෝ පසුගිය 7 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඔහුට ඝාතන චෝදනා 6 ක් සහ ඝාතනය කිරීමට තැත් කෙළ් යැයි චෝදනා එල්ල විය. අධිකරණය හමුවේ, ෆෙබ්රියෝ කිසිවක් පැවැසුවේ නැත. ඔහු ඔහුගේ නම සහ උපන් දිනය සඳහන් කළා පමණි.

යළි මාර්තු 14 වැනිදා ෆෙබ්රියෝ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. මියගිය පවුලේ අය සම්බන්ධයෙන් හෝ අත්අඩංගුවේ පසුවන සැකකරු සම්බ්නධයෙන් හෝ ඔටෝවා පොලිසියට මීට පෙර කිසිදු අවස්ථාවක පැමිණිල්ලක් ලැබී නොතිබුණු බව ද පැවැසෙයි. පොලිසිය ද මීට පෙර කිසිදු අවස්ථාවක එම නිවසට පැමිණ තිබුණේ ද නැත.

මියගිය වැඩිමල් දරු දෙදෙනා ඉනුක සහ අශ්විනි දෙදෙනා ‘පොල් බැක්ස්ටර්’ පාසලේ ඉගෙනුම ලැබූ බව එම පාසල පවසා තිබේ. ‘මෙම ඝාතනය ඇසීමෙන් අප කම්පනයට පත්වුණා. එය විශ්වා කිරීමටත් නොහැකි වුණා. ඒ දරු දෙදෙනා වෙනුවෙන් සහ පවුලේ අය වෙනුවෙන් අප ශෝකය පළ කරනවා’ යැයි පාසලේ විදුහල්පතිනී වින්සෙන්සා නිකොලේටි පවසා ඇත.

මෙවැනි සහාසික අපරාධ, සමූහ ඝාතන ඇමෙරිකාවට අරුමයක් නොවුණත්, ඇමෙරිකාවේ අසල්වැසි කැනඩාවට අරුමයකි. ඔටෝවා අගනගරය මෙවැනි ම්ලේච්ඡ ඝාතනයකින් කම්පා වූයේ දශක තුනකට පමණ පසුව යැයි ද පැවැසෙයි. පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේ, අහිංසකයන් අමු අමුවේ මරා දැමූ මෙම අපරාධය සිත්පිත් නැති අපරාධයක් බවය.

පොලිස්පතිවරයා මියගිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් ශෝකය පළ කළේය. අපරාධය සිදුවුණු ස්ථානය සහ එම නිවසට යෑමෙන් වළකින්නැයි පොලිසිය අසල්වැසියන්ට දන්වා ඇති අතර, මියගිය පිරිස වෙනුවෙන් සොව පළ කිරීමට පැල්මඩෝ පාර්ක් උද්‍යානයේ ස්ථානයක් වෙන් කර ඇති අතර, ඉටිපන්දම් දල්වා පුෂ්පෝපහාර දැක්වීම එහිදී සිදුවෙයි. සිදුවුණු එම ඝාතන සම්බන්ධයෙන් නගර වැසියන් කිසිසේත් බිය විය යුතු නැති බවත්, සැකකරු අත්අඩංගුවේ පසුවන බවත් ඔටෝවා පොලිසිය  නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ශාන්ති රමේෂ්, පදිංචිව සිටින්නේ, අපරාධය සිදුවුණු එම මහල් නිවාස ගොඩනැගිල්ට ඉදිරියෙන් නිවසකය. ‘ඒ වෙලාවේ රෑ මම රූපවාහිනිය නරඹමින් සිටියා. පොලිස් නළා හඬ ඇහිලා මම එලියට ගිහින් බලද්දී, මම දැක්කා කවුරුද කෙනෙක් නිවස ඉදිරිපිට කෑ මොර දෙනවා. පොලිසිය පැමිණ ඔහු පොලිසි රියකට ගොඩ කර ගත්තා’ යැයි ඇය කියයි. ශාන්ති රමේෂ් දුටු ඒ පුද්ගලයා තුවාල ලබා සිටි ධනුෂ්ක වික්‍රමසිංහය.

ඝාතනයට හේතුව අනාවරණය වී නැතත්, පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත්තේ, එය අනියම් සම්බන්ධයක්, මුල්කොට ගනිමින් සිදු කළ ඝාතනයක් යැයි තමන් විශ්වාස නොකරන බවය. කෙසේ නමුත් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දිගටම සිදුවන බව ද පොලිස්පතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

“ඒක ඇත්තටම ඛේදනීය සිද්ධියක්. බර්හේවන් පළාතේ පමණක් නොවෙයි, ඔටෝවා නගරයේ පවා මෙවැනි සහාසික අපරාධයක් වේවි යැයි අප කිසිවකු සිතුවේ නැහැ. මෙම සිද්ධියෙන් කම්පනයට පත්වුණු සිටිනවා නම්, මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු වෙන්න.” යැයි ද පොලිස්පති එරික් ස්ටබ්ස් පැවැසුවේ හැඟීම් බරවය.

ඔටෝවා අගනුවර, ශ්‍රී ලාංකික පවුලක් අමු අමුවේ ඝාතනය වීම සම්බන්ධයෙන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ද සොව පළ කර තිබේ. ‘මෙම කුරිරු ඝාතනය ඔටෝවා අගනුවර වැසියන් පමණක් නොව, මුළු කැනඩාවම කම්පනයට පත් කළා. පොඩි දරුවන් ඒ විදියට ඝාතනය කළේ කොහොමදැයි හිතා ගන්න අමාරුයි. ඒ පවුලේ හිතවතුන්ට සහ ඥාතීන්ට මා සොව පළ කරනවා. මේ අවස්ථාවේදී අප කවුරුත් කැනේඩියානුවන් ලෙස එකමුතුවීම ශක්තියක්’ යැයි අග්‍රාමාත්‍ය ටෘඩෝගේ එම පණිවුඩයේ දැක්වෙයි.

කැනඩා පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS