කැනඩාවේ අවසන් පිනිමුවන්



උදෑසන හිරු රැස් පතිත වෙද්දී, පිනිමුවන් දහස් ගණනක්, වයඹදිග කැනඩාවේ, හිමේ එක පොදියට ගමන් කරනු පෙනෙයි. පිනිමුන්ගේ ගමන සෙමිනි. කලබලයක් නැත. එක පොදියට ගමනේ යෙදෙන පිනිමුවන්ගේ නාස් පුඩුවලින් උණුසුම් වාතය පිටවෙයි. එය පිනිමුවන් රංචුව වටකරගත් හුමාලයක් මෙනි. මීදුමක් මෙනි. ඒ මීදුම අතරින්, පිනිමුවන්ගේ අං චලනය වෙයි. හරියට නර්තනයක යෙදෙනවා මෙනි. දුර සිට බලද්දී, සුදෝ සුදු මේ ආක්ටික් හිම තට්ටු අතරින් පය තබන පිනිමුවන් රංචුව සුදු පැහැති කැන්වසයක කළ දුඹුරු වර්ණයෙන් කළ සිතුවමක් වැනිය.

පිනිමුවන් රංචුව මෙසේ ගමනේ යෙදෙන්නේ තනිවම නොවෙයි. ‘ඉනිවියලුට්’ (Inuvialuit) එඬේරුන් සිවු දෙනෙක් ද පිනිමුවන් රංචුවට අසලින්, ඔවුන්ගේ හිමමත ගමන් කරන ස්නෝමොබයිල් යන්ත්‍රවල නැගී ගමනේ යෙදෙති. ඔවුන්ගේ කරේ රයිෆල් තුවක්කු එල්ලී ඇත. මේ පිනිමුවන් රංචුවට ආරක්ෂාව දෙන ආරක්ෂකයෝ ඔවුහුය.  ‘ඉනිවියලුට්’ එඬේරුන්ට පැවරී ඇත්තේ බාරදූර රාජකාරියකි. ඔවුන් කළ යුතු වන්නේ, ආරක්ෂාව දෙමින්, පිනිමුවන් රංචුව උන් පැටවුන් බිහි කරන භූමියට රැගන යෑමය.

‘පිනිමුවන් හරිම බුද්ධිමත් සත්ව විශේෂයක්. පිනිමුවන්ට ආරක්ෂාව දෙමින්, මම උන් සමඟ ගමන් කරද්දී, මම උන් සමඟ කතා කරනවා. මම හිතන්නේ උන් සන්සුන් කරගන්න මට පුළුවන් වෙනවා. මගේ කටහඬ ඇසෙද්දී හෝ මගේ ස්නෝමොබයිල් යන්ත්‍රයේ ‘ජරබර’ හඬ ඇසෙද්දී, මේ එන්නේ මම උන් දන්නවා’ යැයි ඩග්ලස් එසාගොක් පවසයි. ඩග්ලස් පිනිමුවන් රංචුවට ආරක්ෂාව දෙමින් උන්, උන්ගේ පැටවුන් බිහිකරන ස්ථානයට දක්කාගෙන යන ‘ඉනිවියලුට්’ (Inuvialuit) එඬේරෙකි. මේ කැනඩාවේ, නිදැල්ලේ සැරිසරන අවසන් පිනි මුවන් රංචුවය. මේ පිනිමුවන්, කැනඩාවට රැගෙන ඒම සිදුවූයේ සිදුවූයේ මීට අවුරුදු 135 කට පමණ පෙරය. ඒ, ‘ඉනිවියලුට්’ ගෝත්‍රික වැසියන්, දිගු කලක් යැපුණු දේශීය කැරිබු (Caribou) මුවන් ගහණය අඩු වෙද්දීය.

පිනිමුවා ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ රේන්ඩියර් යනුවෙනි. රේන්ඩියර් Reindeer) යනු සාමාන්‍යයෙන් යුරෝපයේ සහ ආසියාවේ (ස්කැන්ඩිනේවියාව සහ සයිබීරියාව වැනි) ජීවත්වන මුවන් හැඳින්වෙන නාමයයි. උතුරු ඇමරිකාවේ (කැනඩාව සහ ඇලස්කාව වැනි) නිදැල්ලේ ජීවත්වන පිනිමුවන් හැඳින්වෙන්නේ කැරිබු (Caribou) යනුවෙනි.

1890 දශකයේදී, මිනිමුවන් හීලෑ කර, උන් ඇති කිරිමේ අදහසක් ඇලෙස්කාවේ මුල් බැස තිබුණි. ඇලෙස්කාව ඇත්තේ කැනඩාවට ඉහළිනි. කැනඩාවට ඉහළින් පිහිටියත් ඇලෙස්කාව කැනඩාවට අයිති නැත. ඇලෙස්කාව අයිති ඇමෙරිකාවටය. මීට අවුරුදු 158 කට පමණ පෙර, 1867 වසරේ දී ඇමෙරිකාව, ඇලෙස්කාව මිලදී ගත්තේ රුසියාවට මුදල් දෙමිනි. අද ඇමෙරිකාවේ විශාලතම ජනපදය වන්නේ ඇලෙස්කාවය.

ඇලෙස්කාවේ නිදැල්ලේ සිටින කැරිබු (Caribou) මුවන්ගේ ගහනය සැලකිය යුතු මට්ටමින් අඩුවීම නිසා, ගෘහස්ථව පිනිමුවන් ඇති කිරීමට නම්, උන් ආනයනය කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව, 1898 පෙබරවාරි 4 වැනිදා මුවන් 539 දෙනකුගෙන් යුත් රංචුවක් නෝර්වේ සිට මැනිටෝබන් (Manitoban) නෞකාවෙන් රැගෙන එන ලදී. මෙම පිනිමුවන් රංචුව සමඟ උන් බලා ගැනීමට සාමි (Sami) නමැති එඬේරුන් 72 ක්, ස්ලෙඩ් එසේත් නැතිනම් හිම කරත්ත 418 ක් සහ මුවන්ට මාස තුනක් සඳහා අවශ්‍ය වන ආහාර ටොන් 500ක් ද රැගෙන ඒම සිදුවිය. ඇලෙස්කාවට යන ගමන කළ යුතුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය පසු කර, කැනඩාව හරහාය.

මැනිටෝබන් නෞකාව පැමිණියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරටය. වුනන් රංචුව කැනඩාවට යෑම සිදු වුයේ ඇමෙරිකාව හරහාය. 1898 පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 8 වැනිදා තෙක් කාලයේ, පිනිමුවන් රංචුව ඇමෙරිකාව හරහා ගියේ විශේෂ දුම්රියකිනි. ගමන අසීරු විය. පිනිමුවන්ට පමණක් නොව, එඬේරුන්ට ද එය දුෂ්කර විය. 1898 වසරේ මාර්තු 16 සිට 28 දක්වා කාලයේ ආහාර හිඟවීම නිසා පිනිමුවන් රංචුවේ සෞඛ්‍යය පිරිහීමට පටන් ගැනුණි. කෙසේ හෝ අවසානයේ 1899 පෙබරවාරි 28 වැනිදා ගමනාන්තයට ළං වූයේ මුවන් 114 දෙනකුට සහ එඬේරුන් 15 දෙනකු පමණි.

නැෂනල් ජියෝග්‍රැපි


RECOMMEND POSTS