කාන්තාර හැඩ කරන මල්ගොමු



ටකල්මකාන් කාන්තාරය උතුරු චීනයේ පිහිටියකි. මෙය වැලිවලින් පිරුණු නිතරම වෙනස් වන භූමි ප්‍රදේශයකි. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක රින දෙකට අඩුවන අවස්ථා පමණක් නොව, සෙල්සියස් අංශක 40 ට වැඩි වන අවස්ථා ඇත. වැදගත්ම කාරණාව වන්නේ ටකල්මකාන් කාන්තාරයට වැසි වැටෙන්නේ නැති තරම්ය. ඒත්, වැලි කඳු අතරේ එක් ගසක් දකින්න ලැබේ. ඒ, ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ ගසකි. ඒත් මේ ගස සිටින්නේ තනිවම නොවෙයි. ඈතට යද්දී එක් ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ ගසක් නොව; ගස් කීපයක්ම දකින්න ලැබේ. මේ ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ ගස්, වැසි නොවැටෙන ටකල්මකාන් කාන්තාරයේ ජීවත් වන්නේ අවුරුදු 1,000 ක් තිස්සේය.

මේ ගස්වල මුල් පද්ධතිය, අසාමාන්‍ය ලෙස දිගින් යුක්තය. මුල්වලට ඇත්තේ එක් අරමුණක් පමණි. ඒ, ජලය එක් රැස් කර ගැනීමය. මනුෂ්‍ය අප නොකරන, මනුෂ්‍ය අප කරන්න වැඩිය කැමැත්තක් නැති, දෙයක් මේ ගස් කරයි. ඒ, බෙදාහදා ගැනීමය. ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ බෙදා හදා ගන්නේ ජලයයි. අසාමාන්‍ය ලෙස දිගින් වැඩි මුල් පද්ධතිය අසල්වැසි ගස් සමඟ සම්බන්ධ වෙයි. ඒ අනුව, ගස් සියල්ල එකිනෙක සම්බන්ධ වී එක් පද්ධතියක් නිර්මාණය වෙයි. එක් ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ ගසකට ජලය ලැබුණොත් අනෙක් ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ ගස්වලටත් ජලය ලැබේ.

කාන්තාර යනු ජීවයෙන් තොර තැනක් යැයි කීවොත් එය මුළුමනින්ම වැරදිය. කාන්තාර ජීවයෙන් පිරී පවතී. ශාක පමණක් නොව, කාන්තාර ආශ්‍රිතව සත්තු ද ජීවත් වෙති. කාන්තාර ජීවිතයට සතුන් සහ ශාක හැඩ ගැසී ඇති ආකාරය විස්මිතය. සතුන්ට වඩා ශාක කාන්තාර ජීවිතයට හැඩ ගැසී ඇති ආකාරය සැබැවින්ම විස්මයජනකය. ශාක කාන්තාරවල දිවි රැක ගෙන ජීවත් වෙනවා පමණක් නොවෙයි; කාන්තාර වනාන්තර බවට පත් කිරීමට පවා ඇතැම් ශාකවලට හැකියාව ලැබී තිබේ.

අපි තවත් කාන්තාරයකට යමු. 'ග්‍රෑන් ඩෙසියේටෝ' කාන්තාරය පිහිටා ඇත්තේ මෙක්සිකෝව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතරේය. 'ග්‍රෑන් ඩෙසියේටෝ' කාන්තාරයේ වැලි අතරේ විවිධාකාරයේ බීජ වර්ග සැඟවී තිබෙන අයුරු දක්නට ලැබේ. කාන්තාරයේ යෝධ වැලි තට්ටු යෝධ, බීජ බැංකුවක් හා සමානය. චීනයේ ටකල්මකාන් කාන්තාරයට මෙන් නොව, 'ග්‍රෑන් ඩෙසියේටෝ' කාන්තාරයට වැසි වැටෙයි. වැසි වැටෙද්දී ජීවය මතු වීමට පටන් ගනී. වැටෙන මේ වැස්ස ඉතා වැදගත්ය. වැසි වැටෙන්නේ ද ඉතාමත් කලාතුරකිනි. ඒ අවුරුදු දහයකට එක් වරක් පමණක් වන්නටත් පුළුවන. එසේ වැටෙන වැස්ස කෙටි වෙන්නට පුළුවන. මිනිත්තු කීපයක් වෙන්න පුළුවනි. ඒ නිසා වැලි යට සැඟවුණු බීජ ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමක් කළ යුතුය.පුංචි පැල වර්ගවලින්, මල් වර්ගවලින් කාන්තාරය සුන්දර මල් ගොමුවක් වෙයි.

'සෑන්ඩ් වබීනා' යනු 'ග්‍රෑන් ඩෙසියේටෝ' කාන්තාරය මල් ගොමුවක් කරවන ශාකයකි. 'සෑන්ඩ් වබීනා' මල් රෝස සුදු පැහැයක් ගනී. පුංචි බීජවලින් ජීවය ලබන 'සෑන්ඩ් වබීනා' මල් ඉතාමත් මිහිරි සුගන්ධයකින් යුක්තය. වැසි වැටී, පැල වර්ධනය වී, සති කීපයක් ගතවීමටත් පෙර මල් පීදීමක් සිදුවෙයි. 'ප්‍රිම්රෝසස්' ඇතුළු තවත් ශාක කීපයක් ද තරගයට එක් වෙයි. එම ශාක ද හරිහරියට 'සෑන්ඩ් වබීනා' ශාක සමඟ වර්ධනය වීමට පටන් ගනී. මේ ශාක සියල්ලටම ඇත්තේ එක් අරමුණය. කාන්තාරයේ වැල්ල වියළී යෑමට පෙර මල් පීදීම කළ යුතුය. කාන්තාරයක මේ අයුරින් මල් පීදෙනු දකින්න ලැබීම ඉතාමත් කලාතුරකින් සිදුවන සංසිද්ධියකි‍. 'ග්‍රෑන් ඩෙසියේටෝ' කාන්තාරය අවසන් වරට මල් ගොමුවක් දකින්න ලැබුණේ වසර 20 කට පමණ පසුවය. මල්වල ඇති විවිධ දීප්තිමත් වර්ණ මෙන්ම ඒවායේ මිහිරි සුගන්ධය, පරාගනය සඳහා අවශ්‍ය ආධාරකරුවන් ආකර්ෂණය කර ගනී. 'පේන්ටඩ් ලේඩි බටර්ෆ්ලයි' සමනලයන් ඒ අතරින් කැපී පෙනෙයි. මල් සුවඳට ආකර්ෂණය වී, මල් සොයාගෙන මේ සමනල්ලු කාන්තාරය මැදට ඇදී එති. ඒත් සමනලයන් පැමිණෙද්දී, නිසරු කාන්තාරය තවදුරටත් කාන්තාරයක් ලෙස නොපෙනෙයි. දැන් එය මල්වලින් පිරි උද්‍යානයකි.

හැමදේම, හැම කෙනකුම, ජීවත් වීම සඳහා තරගයක පැටැලී සිටී. කාන්තාර වැල්ලේ ඇති තෙතමනය වියැකී යෑමට පෙර සියල්ල අවසන් විය යුතුය. මල් පරාගනය සිදුවිය යුතුය. සමනලුන් ද වර්ගයා බෝ කළ යුතුය. බිත්තරවලින්, දළඹුවන් ද, දළඹුවන්ගෙන් යළි සමනලුන් ද බිහි විය යුතුය. චක්‍රය සම්පූර්ණ විය යුතුය. මේ අයුරින්, කාන්තාර සුන්දර පරිවර්තනයකට ලක්වීම ලොව බොහෝ ස්ථානවල සිදුවෙයි. දකුණු ඇමෙරිකාවේ ඇටකාමා කාන්තාරයේ සිට දකුණු අප්‍රිකාවේ දූවිලිවලින් පිරුණු කාන්තාර තෙක් එය සිදුවෙයි. කලාතුරකින් වැසි වැටෙන කාන්තාරවල ස්වභාවය ඉක්මනින්ම වෙනස් වෙයි. වැලි අතරේ ජලය අවසන් වුණු සැණින් මල් පරවෙයි. පැලෑටි වියළී මියයයි. ජීවය අවසන්ය. ඒත් එසේ වීමට පෙර, ඒ පැලෑටි ඔවුන්ගේ පරම්පරාව රැක ගැනීමට අඩිතාලම දමා අවසන්ය. බීජ වැලි අතරේ සැඟවෙයි. මේ බීජ කල් මරනු ඇත්තේ යළි වැසි වසින තුරුය.

ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන
'බීබීසී ග්‍රීන් ප්ලැනට්' කතා මාලාවේ
'ඩෙසර්ට් වර්ල්ඩ්ස්' ඇසුරිනි

RECOMMEND POSTS