ක්‍රොයිඩ්න් පොලිසියේ වෙඩි තැබීම



අත්අඩංගුවට ගෙන, මාංචු දමා, පොලිසියට රැගෙන ගිය සැකකරුවකු පොලිස් සැරයන්වරයකුට වෙඩි තැබීමේ සිදුවීමක් පසුගිය දා එංගලන්තයෙන් පසුගිය දා වාර්තා විය. පොලිස් සැරයන්වරයාට වෙඩි තැබූ තරුණයා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය ඒ අවාසනාවන්ත සිදුවීම මෙසේ විස්තර කර තිබේ.

පසුගිය 25 වැනිදා සවස ක්‍රොයිඩ්න් නගරයෙනි. ක්‍රොයිඩ්න් යනු එංගලන්තයේ, දකුණු ලන්ඩනයේ පිහිටි නගරයකි. සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරේ, ක්‍රොයිඩ්න් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තරුණයකු අත්අඩංගුවට ගත්තේය. ඒ, මත්ද්‍රව්‍ය සහ ජීව උණ්ඩ කීපයක් ළඟ තබා ගැනීමේ චෝදනා මතය.

23 හැවිරිදි මෙම තරුණයා ගැන ක්‍රොයිඩ්න් පොලිස් නිලධාරීන් කාලයක් තිස්සේ විමසිල්ලෙන් පසුවුණු බව පසුව දැන ගන්න ලැබුණි. ඒ, මොහු ඉස්ලාමීය අන්තවාදී අදහස් ඇති, ‘අනතුරුදායක තැනැත්තකු’ විය හැකි යැයි සැක කළ බැවිනි. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මෙම තරුණයා ලුවිස් දි සොයිසා ය. පොලිස් නිලධාරීන් ලුවිස් අත්අඩංගුවට ගෙන, ඔහුට මාංචු දැමුවේ, දෑත් ඉදිරිපසට සිටින අයුරිනි. ඉන්පසු පොලිස් නිල රථයේ පසුපසට නංවා ගත් ලුවිස්, ක්‍රොයිඩ්න් පොලිස් දෙපාර්තමේන්තුවට රැගෙන යන ලදී.

ලුවිස් පොලිස් ස්ථානයේ, සැකකරුවන් ප්‍රශ්න කරන කාමරය වෙත ගෙන යෑම පැවැරුණේ සාජන්ට් මැතියුව් රට්නාට ය. පොලිසියට ඇතුළු වෙද්දී, පිළිගැනීමේ අංශයට සම්බන්ධ පොලිස් නිලධාරියා ‘මෙට්ල් ඩිටෙක්ටර්’ උපාංගය අතට ගත්තේ, මාංචු දැමූ ලුවිස් හොඳින් සෝදිසි කිරීමටය. සියල්ල සිදුවූයේ තත්ත්පර කීපයක් ඇතුළතදීය. පොලිස් නිලධාරියා ළං වෙද්දී, ලුවිස් ඇඳුමේ සඟවා ගෙන තිබූ කුඩා පිස්තෝලය අත් දෙකට ගෙන ඔහු අල්ලන් සිටි සාජන්ට් මැතියුව් රට්නා ට වෙඩි තැබුවේය. වෙඩි උණ්ඩය සාජන්ට්වරයාගේ හදවත පසාරු කළේය. ඉන්පසු තරුණයා පිස්තෝලය ඔහුගේ නිකට ළං කර කොකා ගැස්සුවේය.

පොලිස් සාජන්ට් 54 හැවිරිදි මැතියුව් රට්නා එම අවස්ථාවේදීම මියගියේය. බරපතල ලෙස තුවාල ලැබූ ලුවිස් දි සොයිසා රෝහල් ගත කෙරුණි.රට්නා, ක්‍රොයිඩ්න් පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරියෙකි. පොලිස් නිලධාරීන් බොහොමයකට ගුරුහරුකම් කියා දුන් නිහතමානී තැනැත්තෙකි. පොලිස් රග්බි කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකි. රට්නා, මියගිය පුවත ක්‍රොයිඩ්න් පමණක් නොව ලන්ඩනය ද කැලැඹීමට සමත් විය. පොලිස් ස්ථානය තුළ දී මාංචු දැමූ ලුවිස්, රට්නා ට වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වන්න පටන් ගත්තේය. පොලිස් නිලධාරීන් තරුණයා හොඳින් සේදිසි නොකළේ මන්ද, වරද කොතැනද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ඇරැඹිණි.

23 හැවිරිදි දැමූ ලුවිස් දි සොයිසා සම්බන්ධයෙන් ද වැඩි විස්තර පසුව අනාවරණය වූයේ ඒ අනුවය. ලුවිස් ද, කතෝලික පවුලක දරුවෙකි. ඔහුට සොයුරු සොයුරියන් පස් දෙනෙකි. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ රෝමානු කතෝලික ජෝන් ෆිෂර් උසස් පාසලෙනි. ලුවිස්, විද්‍යාවට සහ ගණිතයට දක්ෂයකු බව ඔහුගේ මිතුරෝ පවසති. ඔක්ස්ෆර්ඩ් හෝ වෙනත් කීර්තිමත් විශ්ව විද්‍යාලයට යෑමට ලුවිස් සුදුස්සකු වුවත්, ඔහු සිටියේ ඔහුට කියා වෙන් වූ වෙනම ලෝකයක යැයි ගුරුවරු පවසති. මිතුරන් පවසන අන්දමට ලුවිස්, ගිනි අවි ගැන ද හොඳ දැනුමක් තිබූ තැනැත්තෙකි.

ලුවිස් දි සොයිසා ශ්‍රී ලාංකික සම්භවයක් ඇත්තෙකු වන්නේ ඔහුගේ පියා ශ්‍රී ලංකිකයකු බැවිනි. පියාගේ නම චන්න ය. මොහු යෝග පුහුණුකරුවකු ලෙස රැකියාව කළ අයකු වන අතර විනෝදාංශය වී ඇත්තේ නොමිලේ පා පැදි අලුත්වැඩියා කිරීමය. ලුවිස්ගේ මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන එලිසබත්ය. ඇය වෘත්තියෙන් පරිවර්තිකාවක වන අතර, ඇයට චන්න හමුවී ඇත්තේ රාජකාරි කරද්දීය. එලිසබත්, ප්‍රාදේශීය මැතිවරණ කිහිපයකට ද ඉදිරිපත් වී ඇත. ඒ, හරිත දේශපාලන පක්ෂයෙනි. 23 හැවිරිදි ලුවිස් මානසික ආබාධයකට ලක් වූ අයකු යැයි ද පසුව වාර්තා විය. කෙසේ නමුත් මේ බව තහවුරු වී නැත. මාරක තුවාල ලැබූ ඔහු රෝහල් ගත කෙරුණේ විශේෂ පොලිස් ආරක්ෂාවක් මැදය‍ෙ

සාජන්ට් මැතියුව් රට්නා කාගේත් ආදරය සහ ගෞරවය දිනූ පොලිස් නිලධාරියෙකි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ස්වදේශ කටයුතු ලේකම්වරිය (ස්වදේශ කටයුතු ඇමැතිනිය) සාජන්ට් මැතියුව් රට්නා වෙනුවෙන් කනගාටුව පළ කළහ. ක්‍රොයිඩ්න් පොලිසියේ සිදුවුණු එම අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් තමන් කම්පනයට පත් වුණු බව අග්‍රාමාත්‍යවරයාත්, ස්වදේශ කටයුතු ලේකම්වරියත් පැවැසූහ. 2012 සැප්තැම්බරයෙන් පසු, එංගලන්තයේ රාජකාරියේ නියැලෙද්දී මියගිය පොලිස් නිලධාරියා සාජන්ට් මැතියුව් රට්නා යැයි ද ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

‘ද ගාඩියන් ඇසුරිනි’


RECOMMEND POSTS