ක්ෂීරපථයේ අබිරහස් වස්තුව



අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන්, විස්මිත අබිරහස් වස්තුවක් හමුවුණු බවත්, එම වස්තුව සෑම මිනිත්තු 44 කට වරක්ම, මිනිත්තු දෙකක් පුරා එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කරන බවත් විද්‍යාඥයෝ පවසති.

විද්‍යාඥයන්ට අනුව, මේ ආකාරයේ වස්තුවක් අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. අප මන්දාකිණිය, ක්ෂීරපථය යනුවෙන් හැඳින්වෙන අතර, විද්‍යාඥයන්ට අනුව, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 14,700 ක දුරකින් මෙම වස්තුව පිහිටයි.

ආලෝක වර්ෂ යනු අභ්‍යවකාශයේ දුර මනින ඒකකයයි. ආලෝක වර්ෂ කාලය මනින ඒකකයක් නම් නොවෙයි. ආලෝක වර්ෂ යන්නෙහි, ‘වර්ෂ’ යන වදන ඇති බැවින්, ඇතැමුන් මෙය කාලය මනින ඒකකයක් යැයි වරදවා වටහා ගත්තද, එය එසේ නොවෙයි. සරලව කීවොත්, ආලෝක වර්ෂයක් යනු ආලෝකය රික්තකයක් තුළ වසරක් තුළ ගමන් කරන දුර ප්‍රමාණයයි. ආලෝකයේ වේගය තත්පරයට කිලෝමීටර 299,792.458 (ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර 300,000) ක් පමණය. මෙම විශ්මිත වේගය යොදාගෙන ගණනය කළ විට, එක් ආලෝක වර්ෂයක් යනු දළ වශයෙන් කිලෝමීටර ට්‍රිලියන 9.46 ක් (කි.මී. 9,460,000,000,000) තරම් විශාල දුරකි.

පෘථිවියේදී, අපි දුර මැනීමට, කිලෝමීටර, මීටර, සැතපුම් වගේ ඒකක පාවිච්චි කරන්නෙමු. එහෙත් විශ්වය යනු හිතාගන්න බැරි තරම් විශාල ප්‍රදේශයකි. තාරකා සහ මන්දාකිණි අතර ඇති දුර කොතරම්දැයි කීවොත්, ඒවා කිලෝමීටරවලින් කීම අපහසුය‍. උදාහරණයක් ලෙස පෘථිවියට ළඟින්ම පිහිටි තාරකාව වන ප්‍රොක්සිමා සෙන්ටෝරි ඇත්තේ ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 4.24ක් දුරිනි. මේ දුර කිලෝමීටර වලින් කීමට උත්සාහ කළොත්, එය කිලෝමීටර ට්‍රිලියන 40කට වඩා වැඩි විශාල අගයක් වෙයි. මෙවැනි විශාල සංඛ්‍යා සමඟ වැඩ කිරීම අපහසු එබැවින්, තාරකා විද්‍යාඥයෝ විශ්වයේ ඇති දැවැන්ත දුර ප්‍රමාණයන් පහසුවෙන් තේරුම් ගැනීමට සහ ගණනය කිරීමට ආලෝක වර්ෂ වැනි ඒකක භාවිතා කරති.

සෑම මිනිත්තු 44 කට වරක්ම, මිනිත්තු දෙකක් පුරා එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කරන අබිරහස් වස්තුව කුමක්දැයි විද්‍යාඥයන් හරිහැටි දන්නේ නැත. ඔවුන් මෙම වස්තුව නම් කර ඇත්තේ, ASKAP J1832-0911 යන කේත නාමයෙනි. ASKAP J1832-0911 එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කළත්, විශ්වයෙන් එන එක්ස් කිරණ සහ රේඩියෝ තරංග විද්‍යාඥයන්ට අලුත් දෙයක් නොවෙයි. නිරන්තරයෙන් විශ්වය ගැන විමසිල්ලෙන් පසුවන තාරකා විද්‍යාඥයෝ, දුරේක්ෂ ආධාරයෙන් එක්ස් කිරණ හෝ රේඩියෝ තරංග හසු කර ගැනිම් සිදු කරති. එසේ වුවත්, එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කරන මෙම වස්තුව විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කර අවසන්ය‍.

මෙම අබිරහස් වස්තුව ඇතැයි විද්‍යාඥයන් පවසන්නේ, ක්ෂීරපථයේ ගැඹුරු කලාපය, තරු, වායු සහ දූවිලි අතරේය. මෙම අබිරහස් වස්තුව ගැන ලොවට හෙළි කළේ ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඇන්ඩි වැන්ග් සහ ඔහුකේ විද්‍යාඥයන් කණ්ඩායමය. “අපට අනුමාන කරන්න පුළුවන්. ඒත් නිශ්චිතව මේ වස්තුව කුමක්දැයි කියන්න බැහැ. මෙය අප මෙතෙක් දැක නැති අමුතුව විදියේ වස්තුවක් වෙන්න පුළුවන්” යැයි ආචාර්ය ඇන්ඩි වැන්ග් පැහැදිලි කර ඇත. ආචාර්ය ඇන්ඩි වැන්ග් සහ ඔහුගේ කණ්ඩායම මෙම වස්තුව ගැන දැනගත්තේ, ඕස්ට්‍රේලියාවේ වජාරි පළාතේ ඉදිකර ඇති ඕස්ට්‍රේලියා ජාතික විද්‍යා ආයතනයට අයත්, ASKAP නමින් හැඳින්වෙන ගුවන්විදුලි දුරේක්ෂය භාවිතයට ගනිමින් විශ්වය නිරීක්ෂණය කරද්දීය.

විද්‍යාඥයන් අනුමාන කරන ආකාරයට, මෙම වස්තුව මියගිය තාරකාවක ඉතිරි වූ අධික චුම්බකකරණය වූ කොටසක් එසේත් නැතිම් නියුට්‍රෝන තාරකාවක් හෝ සුදු වාමන තාරකාවක් විය හැක. නියුට්‍රෝන තරු යනු මියගිය තාරකාවල දැවී ගිය හරයන්ය. විශාල තාරකා තම ජීවිතයේ අවසානයට පැමිණෙන විට, ඒවායේ හරය තාරකාවේ පිටත ස්ථර පිපිරී විසිරී යයි. මේවා නියුට්‍රෝන තරුවක් ලෙස හැඳින්වෙයි.

සුදු වාමන තාරකා යනු අප සූර්යයා වැනි කුඩා ප්‍රමාණයේ හෝ මධ්‍යම ප්‍රමාණයේ තාරකා වර්ගයකි. සාමාන්‍යයෙන් තාරකාවල ජීවය අවසන් වූ විට ඒවා සුදු වාමන තාරකා බවට පත් වෙයි. අපගේ තරුව, සූර්යයා ද එහි ජීවය අවසන් වූ විට සුදු වාමනයකු බවට පත් වනු ඇත. ඒත් ඒ අද හෙට නම් නොවෙයි. තාරකාවක් ජීවත් වෙන්නේ එහි හරය තුළ සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගිනි.  හයිඩ්‍රජන් හීලියම් බවට හැරෙන්නේ මෙම විලයන ප්‍රතික්‍රියාවලිනි. තාරකාවක හයිඩ්‍රජන් අවසන් වූ විට, විලයන ප්‍රතික්‍රියා නවතී. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා නැවතුණු පසු තාරකාව ඇතුළට හැකිලීමට පටන් ගනී.

සුදු වාමන තාරකාවක් අපේ පෘථිවියේ තරම් ප්‍රමාණයෙන් යුක්තය. අපේ සූර්යයා වැනි විශාල තාරකාවක ස්කන්ධය පෘථිවිය තරම් කුඩා ඉඩකට හැකිලී පැවැතිය හැකි යැයි පැවැසෙයි. සුදු වාමන තාරකාවල ගුරුත්වාකර්ෂණ බලය ද ඉතා ප්‍රබලය. මුලදී දැඩි උණුසුම නිසා මේවා දීප්තියෙන් පෙණුනත්, කාලයාගේ ඇවෑමෙන් මේවා සිසිල් වී, අඳුරු වී, අවසානයේ දී කළු වාමන තාරකා බවට පත් වෙයි. විද්‍යාඥයන්ගේ අදහස මෙයයි. කෙසේ නමුත් විද්‍යාඥයන්ට මෙවැනි කළු වාමන තාරකා මෙතෙක් හමුවී නැත.

ඇත්තෙන්ම විශ්වය යනු නොයෙකුත් රහස් සඟවාගෙන ඉන්න තැනක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. ඒ රහස් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන්ට උදවු වෙන්නේ එක්ස් කිරණ සහ ගුවන් විදුලි තරංගය, ඒ මේවා අපේ ඇස්වලට නොපෙනුණත්, මේවායින් විශ්වයේ සිදුවෙන පුදුම දේවල් ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුළුවනි. ASKAP J1832-0911 අද්භූත වස්තුව ගැන විද්‍යාඥයන් දැනගත්තේ ද එලෙසිනි. සරලව පැහැදිලි කළොත්, එක්ස් කිරණ යනු ආලෝකයේ එක්තරා වර්ගයකි. කෙසේ නමුත්, මේවාට සාමාන්‍ය ආලෝකයට වඩා ශක්තිය ඇත. එබැවින්, අපේ ඇස්වලට මේවා පේන්න නැත. විශ්වයේ එක්ස් කිරණ ඇතිවීමට හේතු රැසකි. කළු කුහර වටා ඇති වායු සහ දූවිලි දැඩි තාපයක් නිකුත් කරද්දී එක්ස් කිරණ විමෝචනය වෙයි.‍ සුපර් නෝවා ආදී විශාල තරු පිපිරෙද්දී ධික ශක්තියක් පිට කරයි. මේ ශක්තිය පිටවීම සිදුවන්නේ ද එක්ස් කිරණ ලෙසිනි. ඇතැම් මන්දාකිණිවල ඉතා උණුසුම් වායු වලා ඇත. මේවායේ වායු අංශු එකිනෙක ගැටෙද්දී ද එක්ස් කිරණ නිකුත් කෙරේ.

ගුවන් විදුලි තරංග ද ආලෝකයේ තවත් වර්ගයකි. කෙසේ නමුත් මේවාට එක්ස් කිරණ තරම් ශක්තියක් නැහැ. මේවායේ තරංග ආයාමය ගොඩක් දිගය. විශ්වයේ ඇති තරු වලින් (අප සූර්යයාගෙන් පවා) ගුවන් විදුලි තරංග පිටවෙයි. මේවා ඇතිවෙන්නේ තරු වල සිදුවන ක්‍රියාකාරකම් නිසාය. මන්දාකිණි වල ඇති වායු සහ දූවිලි වලාකුළු වලින් ගුවන් විදුලි තරංග විමෝචනය වෙයි. ඊට අමතරව, බෘහස්පති වැනි සමහර ග්‍රහලෝක වල ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර ඇති අතර මේවා නිසාත් ගුවන් විදුලි තරංග නිකුත් වීමක් සිදුවෙයි. බෘහස්පති යනු අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ග්‍රහලෝකයයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS