කවුරු පැරදුණත් පුටින් දිනුම්
උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කරමින්, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමග යුද්ධයක පැටලුණේ පසුගිය 28 වැනිදාය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පවසන්නේ ඉරාන විප්ලවීය හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඇති බවය. ලොව සමස්ත තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන, පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක යා කරන ගෝලීය බලශක්ති සැපයුමේ ඉතාමත් තීරණාත්මක මුහුදු මාර්ගය ලෙස සැලකෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියයි. හෝමූස් සමුද්‍ර සන්ධියේ පටුම කොටස ඇත්තේ ඉරානය සහ ඕමානය අතරේය. එය කිලෝමීටර් 33 කි. නැව් ගමනාගමනය සඳහා භාවිත වන මුහුදු මංතීරුවල පළල කිලෝමීටර් 3.2 කි. ඉරාන උත්තරීතර හමුදාව මෙම මුහුදු තීරයේ බෝම්බ අතුරා ඇති බවටත්, නැව් වලට පහර දෙමින් ඔවුන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමකට ලක් කර ඇති බවටත් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය චෝදනා නගයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නේටෝ සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානයෙන් මුදා ගැනීමට නේටෝ රටවල නාවික සහාය තමන්ට ලබා දෙන ලෙසය. නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. මෙය යුද සන්ධානයකි. ඇමෙරිකාව මෙහි ප්‍රධාන සාමාජික රාජ්‍යයයි. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ ඉල්ලීමට සෙසු බටහිර රටවල් කන් දී නැත. මෙය ට්‍රම්ප්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත. හෝමූස් වසා දැමීම සම්බන්ධයෙන් ඉරානය පැහැදිලි කිරීමක් කර ඇත. ඉරානය පැහැදිලි කර ඇත්තේ, තමන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොමැති බව සහ ඉරානයට විරුද්ධ ඇමෙරිකන් සහ ඊශ්‍රායල හිතවාදී නැව්වලට පමණක් ඒ හරහා යෑමට ඉඩ නොදෙන බවය

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී ඝාතනය කරමින් ආරම්භ වුණු යුද්ධය, ලෝකයේ එක් කාලපයකට සීමා වූවක් නොවන බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත.ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන ගැටුම උපායමාර්ගික වශයෙන් මේවනවිට රුසියාවට විශාල වාසියක් අත්පත් කර දී ඇත. විදෙස් දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, ඇමරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධයේ දිනුම හිමිවී ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ටය. හටගත් මෙම අර්බුදය, උපාය මාර්ගික වශයෙන් රුසියාවට වාසියකි. යුරෝපා සංගමයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා ද පසුගිය දා පැවැසුවේ හටගත් මෙම අර්බුදයේ එකම ජයග්‍රාහකයා රුසියාව බවය.
රුසියාව ඉරානයේ මිතුරෙකි. දිගින් දිගටම ඉරානයට එල්ල වන ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාව සිය විරෝධය පළ කර ඇත. ඒ, එම ප්‍රහාර නීති විරෝධී යැයි පෙන්වා දෙමින් සහ ඒවා හෙළා දැකීමට පියවර ගනිමිනි. එසේ විරෝධය දක්වන අතරතුරේ රුසියාව, ඉරානය සමග බුද්ධි තොරතුරු බෙදා ගැනීමක් ද කර ඇතැයි පැවැසෙයි. ඒ, සෘජුවම ගැටුමට සම්බන්ධ නොවීමට වග බලා ගනිමිනි. මේ මොහොතේ රුසියාව වෙනම යුද්ධයක පැටලී සිටී. ඒ, රුසියන් යුක්රේන යුද්ධයයි. අද රුසියන් යුක්රේන යුද්ධය ගැන කිසිවකුට වගේ වගක් නැත.රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලූ බැවිනි. සතියෙන් යුක්රේනය අල්ලා ගන්නවා යැයි කියමින් ආරම්භ වුණු යුද්ධයට දැන් වසර පහක් ගතවී ඇත. මැදපෙරදිග යුද්ධය මුල්කොට ගනිමින් සෙසු බටහිර රටවල අවධානය ඊට යොමු වීම, රුසියාවට උපාය මාර්ගික වශයෙන් විශාල වාසියක් ද වෙයි.
මැදපෙරදිග යුද්ධයෙන් රුසියාවට ලැබෙන අනෙකුත් ප්‍රධාන වාසිය වන්නේ ආර්ථික වාසියයි. මැදපෙරදිග ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ශීඝ්‍රයෙන් ඉහළ යයි. රුසියාවේයූරල්තෙල් මිල,එරට2026 අයවැයෙන් අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් ඉහළ ගොස් ඇත.හෝමූස් ආශ්‍රිතව ඉන්ධන ප්‍රවාහන නැව්වලට සිදුවන බාධා සහ ගල්ෆ් කලාපයේ යටිතල පහසුකම්වලට සිදුවන හානිය නිසා, ආසියානු ගැනුම්කරුවන් විකල්ප සැපයුම්කරුවන් සෙවීමට පටන් ගෙන ඇත. ඉරාන සහ ගල්ෆ් අපනයනකරුවන්ට තෙල් ලබා ගැනීමේ විකල්පය රුසියාවය. රුසියාව යනු ලොව ප්‍රධානතම තෙල් සහ ස්වභාවික වායු අපනයනය කරන්නෙකි.
පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී, ඉරානයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගත්තේය. ඒ, ඉරානය අසල්වැසි ගල්ෆ් කලාපීය අරාබි රටවලට පහර දීම වැරදි බව පවසමිනි. ඉරානයේ මිතුරන් වන රුසියාවත් චීනයත් ඡන්දය නොදී බලා සිටියේය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව ගැන පැහැදී, යුක්රේන රුසියන් යුද්ධය හේතුවෙන් රුසියාවට පනවා තිබුණු සම්බාධක කෙටි කාලයකට ඉවත් කළේය. ඒ අනුව, රටවල් බොහොමකට රුසියාවේ තෙල් වෙළෙඳපොළ යළි ඇරුණි. ශ්‍රී ලංකා රජය ද රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බව කියා සිටියේ, එසේ ඇමෙරිකන් සම්බාධක වීමත් සමගය.
රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් රුසියාවට විරෝධය පළ කිරීමක් ලෙස යුරෝපා රටවල්, රුසියානු තෙල් මත යැපීම අවම කළ අවස්ථාවේ, රුසියාව සිය වෙළඳපොළ සාර්ථකව ආසියාව දෙසට (විශේෂයෙන් චීනය සහ ඉන්දියාව) යොමු විය. අද මැදපෙරදිග කලාපයෙන් තෙල් නොලැබී යද්දී, බ්‍රිතාන්‍යය ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් අසරණ වී සිටී.වර්තමානයේ රුසියාවේ තෙල් අපනයනයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ චීනය විසිනි.ඉන්දියාවට රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා විශේෂ සහන ලැබී ඇති බැවින්, රුසියාවේ අපනයන පරිමාව ස්ථාවරව පවතී.රුසියානු රජය සිය ආර්ථිකය මිලිටරි ආර්ථිකයක් ලෙස හැඩගස්වා ගෙන ඇත.ආයුධ නිෂ්පාදනය සහ ආරක්ෂක අංශයේ වියදම් ඉහළ නැංවීම හරහා එරට කාර්මික නිෂ්පාදන ධාරිතාව යම් මට්ටමක පවත්වාගෙන යයි.එරට කොටස් වෙළඳපොළතුළ බලශක්ති සමාගම්වල ඇති ප්‍රබලත්වය නිසා තෙල් මිල ඉහළ යාමත් සමඟ එම දර්ශකයන්ද ඉහළ අගයක් ගනී.
යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉතා කෙටි කලක් තුළ විශාල ලෙස ඉහළ ගොස් ඇත. පෙබරවාරි 27 වනදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72ක් ලෙස පැවති අතර, එය 40කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඩොලර් 106ක් දක්වා වර්ධනය විය. ඉරානය විසින් ඉරාක මුහුදු සීමාවේ ඉන්ධන නෞකාවලට ද ප්‍රහාර එල්ල කිරීම මෙම මිල ඉහළ යාමට තවත් හේතුවක් වී ඇත.තෙල් මිලට වඩා දරුණු ලෙස ස්වභාවික වායු මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
යුද්ධය ආරම්භ වූ දා සිට එහි මිල සියයට 60කින් පමණ ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම, ලොව ස්වභාවික වායු අවශ්‍යතාවෙන් සියයට 20ක් සපයන කටාර් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථානයකට ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කර ඇත. මේ නිසා ලෝක වෙළඳපොළේ ගෑස් සැපයුම සීමා වී මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.
හෝමූස් හරහා සිදුවන බලශක්ති ප්‍රවාහය ඇණහිටීම හේතුවෙන් පෙට්‍රල්, ඩීසල්, ජෙට් ඉන්ධන සහ ඉන්ධන තෙල් වැනි පිරිපහදු කළ නිෂ්පාදනවල මිල ගණන් ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් මිල තවත් ඉහළ යනු ඇති ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය. මැදපෙරදිගින් ලැබෙන බොරතෙල් සහ පිරිපහදු කළ නිෂ්පාදන ලබා ගැනීමට නොහැකි වීම නිසා, විශේෂයෙන්ම ආසියාතික රටවල් විකල්ප සැපයුම් මාර්ග සොයා ගැනීමට දැඩි උත්සාහයක නිරත වේ.
මේ සඳහා ඔවුන්ට වැඩි මිලක් ගෙවීමට සිදුව ඇති අතර, පවතින තොග කළමනාකරණය කරගැනීමට සහ ඉල්ලුම පාලනය කිරීමට හදිසි පියවර ගැනීමට ද එම රටවලට සිදුව ඇත. ඇමෙරිකා බලශක්ති තොරතුරු පරිපාලනයට අනුව, 2024 වසරේදී මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කළ බොරතෙල්වලින් සියයට 84ක් සහ ස්වභාවික වායුවලින් සියයට 83ක්ම ගමන් කර ඇත්තේ ආසියාව දෙසටය. විශේෂයෙන්ම චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් මෙම තෙල් නැව්ගත කිරීම්වලින් සියයට 70කට ආසන්න ප්‍රමාණයකට වගකියන අතර, ඉතිරි සියයට 15ක ප්‍රමාණය අනෙකුත් ආසියානු රටවල් වෙත ගලා යයි.
පසුගිය දා මෙරට ද සංචාරයක නියැළුණු ලෝක මූල්‍ය අරමුදලේකළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පෙන්වා දෙන්නේ, මැදපෙරදිග පවතින ගැටුම් දිගින් දිගටම පැවතුණහොත්, එය ලෝක ආර්ථිකය තුළ උද්ධමනය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් විය හැකි බවය. ඉතිහාසය දෙස බැලීමේදී, තෙල් මිල ඉහළ යාමත් සමඟ උද්ධමනය සහ විරැකියාව එකවර ඉහළ යන ‘ස්ටැග්ෆ්ලේෂන්’ (Stagflation) තත්ත්වයක් මෙන්ම, ගෝලීය ආර්ථික පසුබෑමක් ඇතිවීමේ අවදානමක් පවතින බව ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.ධනවත් රටවල් උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දැමුවහොත්, ඒ හේතුවෙන් අධික ලෙස ණය වී ඇති දකුණු අර්ධගෝලයේ දුප්පත් රටවල් බරපතල ණය අර්බුදයකට මුහුණ දීමට ඉඩ ඇති බවට බිය පළ කෙරේ.
විශේෂයෙන්ම බලශක්ති අර්බුදය හමුවේ, චීනය යම් තරමක ආරක්ෂිත මට්ටමක පසුවන්නේ ඔවුන් සතුව ඇති විකල්ප බලශක්ති ප්‍රභවයන් සහ විශාල බලශක්ති තොග නිසා වුවද, ලෝක ආර්ථිකය කඩා වැටුණහොත් අපනයන රටක් ලෙස චීනයටද එහි බලපෑම දැනෙනු ඇත. රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන්, යුරෝපය මේ වන විටත් රුසියාවෙන් ලැබෙමින් පැවැති ඉන්ධන සහ ගෑස් ඇණහිටීම නිසා පීඩාවට පත්ව සිටින අතර, මෙම නව යුද්ධය ඔවුන්ගේ කර්මාන්ත ශාලාවලට තවත් විශාල බරක් වනු නොඅනුමානය. ඇමරිකා එක්සත් ජනපදය බලශක්තියෙන් ස්වයංපෝෂිත වුවද, ඉන්ධන මිල ඉහළ යාම එරට ජනතාවට සහ ගොවීන්ට දැඩි ලෙස බලපායි. විශේෂයෙන්ම මැතිවරණ වසරක මෙවැනි ආර්ථික පීඩනයන් එල්ල වීම එරට දේශපාලන ස්ථාවරත්වයටද අභියෝගයක් විය හැක. මේ වනවිටත් ඇමෙරිකාවේ භාණ්ඩ මිල ඉහළ යමින් පවතින අතර පාන් ගෙඩියක මිල ද දෙගුණ තෙගුණ වී අවසන්ය. ඇමෙරිකානුවන්ගේ කෝපය එල්ල වී ඇත්තේ ද ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහිය.
සුප්‍රකට කැපිටල් ඉකොනොමික්ස්ආයතනයේ ආර්ථික විද්‍යාඥයන් අල් ජසීරා පුවත් සේවයට පැහැදිලි කර ඇති ආකාරයට, දැනට පවතින යුදමය තත්ත්වය සති කිහිපයකින් අවසන් වුවහොත්, එය ලෝක ආර්ථිකයට ඉන් එල්ල වන බලපෑම අවම වනු ඇත. ගල්ෆ් කලාපයේ රටවල් හැරුණු විට අනෙකුත් රටවල දළ දේශීය නිෂ්පාදිතය, උද්ධමනය සහ පොලී අනුපාත කෙරෙහි විශාල බලපෑමක් ඇති නොවනු ඇත. ආසියාවේ සහ යුරෝපයේ ආර්ථිකයන් මෙයින් තරමක බලපෑමකට ලක් වුවද, ආර්ථික විද්‍යාඥයන්ගේ ආර්ථික පුරෝකථනයන් විශාල ලෙස වෙනස් කිරීමට අවශ්‍ය නොවනු ඇත. මෙහිදී තුර්කිය සහ පකිස්තානය වැනි දුර්වල ආර්ථිකයන් සහිත නැගී එන රටවල් පමණක් තම පොලී අනුපාත ඉහළ නැංවීමට ඉඩ ඇති බව ඔවුන්ගේ මතයය.
කෙසේ වෙතත්, යුද්ධය මාස කිහිපයක් දක්වා ඇදී ගියහොත් එහි ආර්ථික බලපෑම ඉතා බරපතල විය හැකි බව පැවසෙයි. එවැනි තත්ත්වයකදී වසරේ දෙවන භාගය වන විට, යුරෝ කලාපයේ ආර්ථික වර්ධනය සියයට0.5 දක්වාත්, චීනයේ ආර්ථික වර්ධනය සියයට3ට වඩා අඩු මට්ටමකටත් ඇද වැටෙනු ඇතැයි අනාවැකි පළ වෙයි. අනෙකුත් ප්‍රධාන රටවලට සාපේක්ෂව, ඇමෙරිකාව2026 වසරේදී සියයට 2.25ක ආර්ථික වර්ධනයක් පවත්වා ගනිමින් ඉදිරියෙන් සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.උද්ධමනය හෙවත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම පිළිබඳව සලකා බැලීමේදී, එය යුරෝ කලාපයේ සියයට 4ඉක්මවා යා හැකි අතර, ඇමෙරිකාවේ සියයට 3ක් සහ ජපානයේ සියයට 2.5ක් දක්වා ඉහළ යා හැකි බව වාර්තාව පවසයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා යුරෝපීය මහ බැංකුව සහ ජපාන මහ බැංකුව තම මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමටත්, පොලී අනුපාත ඉහළ නැංවීමටත් කටයුතු කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් නිගමනය වෙයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග,එහි සෘජු බලපෑම ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්රයට දැඩි ලෙස එල්ල වී අවසන්ය. ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන ගැටුමට පෙර, ඇමෙරිකානු ඩොලර් 85-90 සීමාවේ පැවති ගුවන් යානා ඉන්ධන බැරලයක මිල, මේ වන විට ඩොලර් 150-200 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් කොන්ටාස්, එයාර් ඉන්දියා, සහ ඉන්ඩිගෝ වැනි ගුවන් සමාගම් රැසක් සිය ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ඉන්ධන මිලට අමතරව, යුදමය තත්ත්වය පවතින ගල්ෆ් කලාපයේ ගුවන් කලාප වසා දැමීම සහ දැඩි සීමා පැනවීම හේතුවෙන්, ගුවන් ගමන් මාර්ග රැසක් වෙනස් කිරීමට සිදුවී ඇත. මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමේ අවදානම හේතුවෙන්, ආසියාවේ සිට යුරෝපය සහ ඇමෙරිකාව බලා පියාසර කරන යානාවලට වඩාත් දීර්ඝ විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුව ඇති අතර, එමඟින් ගමනාන්තයට ගතවන කාලය මෙන්ම පිරිවැය ද තවදුරටත් ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත්, ලුෆ්තන්සා සහ රයන්එයාර් වැනි ඇතැම් යුරෝපීය ගුවන් සමාගම්‘ඔයිල් හෙඩිං’හෙවත් තෙල් මිල කලින්ම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ ගිවිසුම්වලට එළැඹීම හේතුවෙන්,මෙම ක්ෂණික මිල ඉහළ යාමෙන් යම් සහනයක් ලබා ගැනීමට සමත්ව සිටී. එසේ වුවද, පවතින රුසියානු ගුවන් සීමා තහනම ද සමගින් යුරෝපීය ගුවන් සමාගම්වලට ආසියානු ගමනාන්ත කරා පියාසර කිරීම පෙරට වඩා බෙහෙවින් දුෂ්කර වී ඇත.මෙම අර්බුදකාරී තත්ත්වය වසරේ ඉදිරි කාලය පුරාම පැවතියහොත්, ලෝක සංචාරක කර්මාන්තය අඩාල වීමට මෙන්ම ගෝලීය වශයෙන් ජීවන වියදම තවදුරටත් ඉහළ යාමට ද ඉඩ ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

