උඩු ගුවනේ අකරතැබ්බ



සිංගප්පූරු ගුවන් සේවයට අයත්, එස්කියු 321 ගුවන් යානය, මගීන් 221 සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 18 දෙනකු ද සමඟ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන්තොටුපොළේ සිට සිංගප්පූරුව බලා පියාසර කිරීම අරඹා තිබුණි. යානයේ සිටි වැඩි දෙනා ඕස්ට්‍රේලියානු ජාතිකයන්ය. යානයේ සිටි ඕස්ට්‍රේලියානුවන් ගණන 56 කි. බ්‍රිතාන්‍ය ජාතිකයන් ගණන 47 කි. සිංගප්පූරු වැසියන් ගණන 41 කි. නවසීලන්ත ජාතිකයන් ගණන 23 කි. ඊට අමතරව ඇමෙරිකානුවන් සිවු දෙනෙක් ද යානයේ ගමන් කරමින් සිටියහ. මැලේසියා, පිලිපීන, අයර්ලන්ත, ඉන්දීය, දකුණු කොරියානු, අයිස්ලන්ත, ඊශ්‍රායල, ජර්මන්, ස්පාඤ්ඤ, කැනඩා මගීහු ද යානයේ වූහ. බොහෝ දෙනකු යානයේ සිටියේ සිංගප්පූරුවේදී වෙනත් ගුවන් යානයකට මාරු වීමේ අරමුණෙනි.

එස්කියු 321 යානය, ලන්ඩන් නුවරින් ගුවන්ගත වූයේ ලන්ඩන් වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණය. පැය 12 ක හෝ 13 ක ගුවන් ගමනකින් පසු යානය සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපොළට ළං වීමට නියමිත විය. ඒත් එය එසේ නොවිණි. යානය ගමනාන්තයට ආසන්න වෙද්දී, මියන්මාරයට ඉහළින් ගුවන් කලාපයේ පියාසර කරමින් තිබියදී, හිටිහැටියේ දෙදෙරන්න ගත්තේ, යානයේ නියමුවන් සහ මගීන් හිටිහැටියේ පුදුමයට පත් කරමිණි. ඒ සැණින්, යානය පහළට ඇද වැටෙන්න විය. එය කිසිවකු බලාපොරොත්තු නොවූ දෙයකි. මිනිත්තු 3 ක් ඇතුළත, අඩි 6,000 ක් පහළට එකවර වැටෙන්න පටන් ගත්තේය. යානය පියාසර කරමින් තිබුණේ අඩි 37,000 ක් ඉහළිනි. එය අඩි 31,000 තෙක් පහළ වැටුණි.

හිටිහැටියේ ගුවන් යානය පහළට වැටෙන්න පටන් ගත්තා. යානය ගැහෙන්න ගත්තා. මොකද වුණේ හිතා ගන්නවත් බැහැ. යානය කඩා වැටෙනවා මම බය වුණා. මේ හැමදේම වුණේ හිටිහැටියේ. අසුන් ගෙන ආසන පටි පැලඳ නොසිටි සියලු දෙනා යානයේ ඉහළට විසිවුණා. ඔවුන් සිවිලිමේ හැපුණා. යානය ඇතුළේ කවුරුත් වගේ කෑ කෝ ගසමින් බෙරිහන් දෙන්න වුණා. යානයේ බඩු මුට්ටු, පිඟන් කෝප්ප, බෝතල් ආදී සියල්ල විසි වෙන්න ගත්තා. නිදිගෙන සිටි බොහෝ දෙනකුට කිසිවක් කර කියා ගන්න බැරි වුණා. තුවාල ලැබූ බොහෝ දෙදෙනකු යානය පහළට වැටෙද්දී නිදාගෙනයි සිටියේ” යැයි යානයේ සිටි මගියකු වූ සෆ්රාන් අස්මීර් එම බිහිසුණු අත්දැකීම බීබීසීයට පැවැසුවේය.

මිනිත්තු කීපයකට පසු මගී යානය යළි නියමුන්වන්ගේ පාලනයට නතුවීමත් සමඟ සියල්ල සන්සුන් විය. යානයේ ප්‍රධාන නියමුවා මගීන් සහ කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ යානය වායු කැලැඹීමකට මුහුණ දුන් බවය. ආසන පටි නොපැලඳ සිටීම නිසා විසි වී යානයේ සිවිලිමේ හැපී තුවාල ලැබූ බොහෝ දෙනෙකු විය. ගුවන් සේවිකාවෝ වහා ඔවුන්ට සහාය වීමට පටන් ගත්හ. එක් සුදු ජාතිකයකු සිටියේ සිහිසුන්වය. ඔවුනගේ තත්ත්වය බරපතල බව පෙනුණි. යානයේ තුවාලකරුවන් සිටින බව නියමුවන් දැනුවත් කෙරුණු සැණින්, නියමුවන් ඒ බව ගුවන් පාලන අධිකාරියට දැනුම් දුන්නේය. යානය හදිසි ගොඩබෑමකට යා යුතු විය. ප්‍රධාන නියමුවා යළි මගීන් අමතමින් කියා සිටියේ, යානය තායිලන්තකයේ බැංකොක් ස්වර්ණභූමි ගුවන්තොටුපොළට හරවා යන බවත් හදිසි ගොඩබෑමක් සිදු කරන බවත්ය.  යානය බැංකෝක් ගුවන්තොටුපොළට පැමිණෙද්දී, ගිනි නිවන භටයන්, ගිලන් රථ සහ වෛද්‍ය ආධාරකරුවෝ සීරුවෙන් සිටියහ. ඒ වනවිටත් සිහිසුන් වුණු සුදු ජාතිකයා මියගොස් සිටියේය. ඔහු වයෝවෘද්ධ තැනැත්තෙකි. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණු මගීන් පළමුවෙන් ගිලන් රථවලට පටවා පිටත් කර හැරීම සිදුවිය. සුළු තුවාලකරුවන්ට ඉන්පසු ප්‍රතිකාර ලැබුණු අතර ඔවුන් ද රෝහල්වෙත රැගෙන යෑම සිදුවූයේ ගිලන්රථවලිනි. බැංකොක් නුවර සිංගප්පූරු ගුවන් සේවයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සියල්ල සිදුවිය. සුදු ජාතිකයා මියගියේ හෘදයාබාධයකින් බව පැවැසිණි. ඔහු 73 හැවිරිදි අයකු බවත් පැවැසිණි.

සිංගප්පූරු ගුවන් සේවයේ, එස්කියු 321 ගුවන් යානයට හිටිහැටියේ සිදුවූයේ කුමක්ද? මෙය ලොව ප්‍රධාන පුවතක් බවට පත් විය. ගුවන් යානා, ඉහළ අහසේ පියාසර කරද්දී, වායු කැලඹීම් අතරින් ගමන් කිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් මෙහිදී හටගෙන ඇත්තේ දරුණු සුළිකුණාටුවකට සමාන කැලඹීමකි. මෙවැනි වායු කැලඹීම් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ටර්බියුලන්ස් කියාය. මෙවැනි වායු කැලැඹීම් සහ වායු රික්තක නිර්මාණය වන්නේ අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති විටය. වැසි කුණාටු තත්ත්වයක් ඇති විට,  ඉදිරියේ ඇති වලාකුළු කැරැකෙමින් වායු කැලඹීමක් සිදුවන ආකාරය නියමුවන්ට පෙනෙයි. ගුවන් යානාවල කාලගුණයේ වෙනස්වීම් හඳුනාගෙන අනතුරු ඇඟවීම් කළ හැකි ආකාරයේ අනතුරු ඇඟවීම් පද්ධති බොහොමයක් ද ක්‍රියාත්මක වෙයි. ඒ අනුව, ඔවුහු ඒ බව මගීන්ට සහ කාර්ය මණ්ඩලයට දැනුම් දෙති. ඒ, ආසන පටි පලඳින්නැයි උපදෙස් දෙමිනි. ඒත් සිංගප්පූරු ගුවන් යානයේ නියමුවන්ට එවැනි වායු කැලඹීමක් දකින්න ලැබුණේ නැත. ඉදිරියේ කාලගුණය අයහපත් යැයි යානයේ අනතුරු ඇඟවීම් පද්ධති අනතුරු ඇඟවීම් කළේ ද නැත. සියල්ල සිදුවූයේ අනපේක්ෂිතවය‍.

පියවි ඇසට නොපෙනෙන වායු කැලඹීම් ඇත. යානයේ ඇති කාලගුණ වෙනස්කම් හසුවන උපාංගවලට පවා මෙවැනි කැලඹීම් හඳුනා ගත නොහැකිය. සිංගප්පූරු ගුවන් යානය මැදි වූයේ එවැනි වායු කැලඹීමකටය. කාලගුණ විද්‍යාඥයන් මෙම කාලගුණ තත්ත්වය හඳුන්වන්නේ ක්ලියර් එයාර් ටර්බියුලන්ස් හෙවත් අදිසි වායු කැලඹීම් කියාය. මෙවැනි වායු කැලැඹීමක් නිර්මාණය වන්නේ ජෙට් ස්ට්‍රීම්ස් යනුවෙන් හැඳින්වෙන වායු දහරා නිසාය. මෙම පටු වායු දහරා පැයට කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් පෘථිවිය වටා කැරකෙයි. එක් වායු දහරාවක් තවත් වායු දහරාවක් සමඟ ගැටෙද්දී, වායු කැලැඹීම් (ටර්බියුලන්ස්) නිර්මාණය වෙයි. වලාකුළු නොමැති නම්, උණුසුම් හෝ සීතල මෙම වායු දහරා කැලඹීමක් සිදුවන බව පියවි ඇසට දකින්න ලැබෙන්නේ නැත. මෙවැනි වායු කැලඹීමකට හසුවන ගුවන් යානයක් පහළට වැටෙයි. යානයට හොඳින් සම්බන්ධ කර නැති සියලු දේ යානය පුරා විසිරෙන්න පටන් ගනී. මෙවැනි අදිසි වායු කැලඹීම් ගැන වැඩි වැඩියෙන් අපට අසන්න ලැබෙයි. කාලගුණ විද්‍යාඥයන්ට අනුව, මෙවැනි අදිසි වායු කැලඹීම් ඇති වන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස වාතය වඩ වඩා උණුසුම් වී සිදුවන කාලගුණ විපර්යාස හේතුවෙන් බව ද පැවැසෙයි. ගුවන් යානා වායු කැලැඹීම්වලට මුහුණ පා ඒවායේ සිටින මගීන් තුවාල ලැබීම ගැන විටින් විට පුවත් වාර්තා වී ඇති නමුත් මෙවැනි ආකාරයේ අකරතැබ්බකට ගුවන් යානයක් මුහුණ දුන් බව අපට අසන්න ලැබුණේ කලාතුරකිනි. එහෙත් ඉදිරියේ දී කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීමක් කර ඇත්තේ ඉදිරියේ දී මෙවැනි වායු කැලැඹීම්වලට මුහුණ දෙන ගුවන් යානා ගැන අපට වැඩි වැඩියෙන් අසන්න ලැබෙනු ඇති බවය. ගුවන් යානයක ආසන පටි ඇත්තේ හේතුවක් ඇතිවය. දුර ගුවන් ගමනකදී ආසන පටි පැලඳ දිගටම අසුන් ගෙන යෑම අසීරු බව සැබෑවකි. එහෙත්, සිංගප්පූරු ගුවන් යානයට සිදුවුණු අකරතැබ්බ සිහිවෙද්දී, සැමවිටම ආසන පටි පැලඳ සිටීම වඩා හොඳය.

අකරතැබ්බයට මුහුණ දුන් සිංගප්පූරු ගුවන් සේවයට අයත් අංක එස්කියු 321 යානය සම්බන්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධානී ගෝ චූන් පොංග් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එය ඉතාමත් කනගාටුදායක සිදුවීමක් බවය. යානයේ තුවාල ලැබූ මගීන් සියලු දෙනාට කනගාටුව පළ කරමින්, ගුවන් සේවය වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කිරීමට ද ගෝ චූන් පොංග් කටයුතු කළේය. සිංගප්පූරු ගුවන් සේවයේ වසර 24 ක ඉතිහාසයේ මෙවැනි මාරක අනතුරක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි. මියගියේ ජෙෆ් කිචන් නමැති 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු බව ද පැවැසිණි. තවමත් යානයේ සිට තුවාල ලැබූ මගීන් 71 ක් බැංකෝක් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිති. තුවාල ලැබූවන් රෝහලට යැවීමෙන් පසු, එදිනම රාත්‍රියේ යානයේ සිටි සෙසු මගීන් 143 දෙනා වෙනත් ගුවන් යානයකින් ඔවුන්ගේ ගමනාන්තය වූ සිංගප්පූරුවට රැගෙන යෑම සිදුවිය. සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට සිංගප්පූරු නව අග්‍රාමාත්‍ය ලොරන්ස් වොංග් තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ඇරඹිණි.


RECOMMEND POSTS