ඊශ්‍රායලයේ කතාව



ලොව එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ලොව අති දක්ෂ බුද්ධි අංශය ඊශ්‍රායලය සතුය. ඒ, මොසාඩ් ය. ලොව අති නවීන අවි ආයුධ ඊශ්‍රායලය සතුය. ලෝකෙට ලොක්කා ඇමෙරිකාව ඊශ්‍රායලයේ ලොකු අයියාය. මුළු ඊශ්‍රායල ගුවන් සීමාව ආවරණය වන අයුරින් මිසයිල ආරක්ෂක පද්ධතියක් ඇත. එය හැදින්වෙන්නේ 'අයන් ඩෝම්' යනුවෙනි. පසුගිය වසර ගණනාව පුරාවට පලස්තීනයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල ඉලක්කවලට පහර දී ඇත. ඒ, ගාසා තීරය දෙසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරමිනි. ඒ රොකට් ප්‍රහාර ප්‍රති ප්‍රහාරවලින් විනාශ කිරිම 'අයන් ඩෝම්' ආරක්ෂක පද්ධතිය සමත් වෙයි. ඉන්පසු හමාස් සටන්කාමීන්ගේ ඉලක්ක සොයමින් ඊශ්‍රායල ගුවන් හමුදාව, ගාසා තීරයට බෝම්බ දමයි. අවසානයේ වැඩි හානි සිදුවන්නේ ගාසා තීරයේ පලස්තීනුවන්ටය. මිය යන්නේ අහිංසක පලස්තීන වැසියන්ය. ඊශ්‍රායලයට හානියක් වන්නේ නැත. පසුගිය වසර පුරාවට සාමාන්‍යයෙන් සිදුවූයේ මෙයයි. පසුගිය 7 වැනිදා වනතුරු සිදුවූයේ මෙයයි. ඒත් පසුගිය 7 වැනිදා සියල්ල වෙනස් විය.

ප්‍රහාරය
පලස්තීන හමාස් සටන්කාමීන් සිය දෙනකුගෙන පමණ සමන්විත කණ්ඩායමක්, වෙන් වෙන්ව ඉතා ක්‍රමාණුකූලව ඊශ්‍රායලයට පහර දුන්නේය. එය ආරක්ෂක අංශ මවිත කළ, අනපේක්ෂිත හදිසි ප්‍රහාරයකි. 7 වැනිදා අලුයම පළමුවෙන්, ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණි. ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒවා විනාශ කිරීමට ඊශ්‍රායල හමුදා යුහුසුළු වෙද්දී, හමාස් සටන්කාමීන්ගේ කණ්‍ඩායම් ගොඩබිමින්, මුහුදෙන් පමණක් නොව පැරා ග්ලයිඩර් පැරෂුට් ආධාරයෙන් ගුවනින් ද වෙඩි තබමින් ගාසා ඊශ්‍රායල දේශසීමා බිද දමමින් ඊශ්‍රායල භූමියට කඩා වැදුණි. ඊශ්‍රායලට එල්ල වුණු දරුණුතම ප්‍රහාරය මෙයයි. ඊශ්‍රායල හමුදා සහ එම හමාස් සටන්කාමීන් අතරේ දරුණු ගැටුම් ඇවිලෙද්දී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායල වැසියන් අමතමින් පවසා ඇත්තේ ආරම්භ වුණු යුදමය තත්ත්වය තව දුරටත් උත්සන්න වනු ඇති බවය‍. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කම්පා වෙමින් පැවැසුවේ ඊශ්‍රායලයට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බවය. හටගත් මෙම නව අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වීමට ජෝ බයිඩන් තීරණය කර තිබේ. හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියෝ 600 වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු බවත් 1,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා විය. හමාස් ප්‍රහාරය එල්ල වුණු සැණින්, ඊශ්‍රායල හමුදා දිගට හරහට ගාසා තීරයට පහර දුන්නේය. එයින් මියගිය පලස්තීනුවන් ගණන 500 ඉක්මවීය. තුවාල ලැබූ ගණන 2000 ට පසු කළේය‍. දේශසීමා හරහා පහර දීමට ආ පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායල හමුදා සෙබළුන් සහ සිවිල් වැසියන් පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපයේ රදවා ගත්තේය.
 
හමාස්
හමාස් යනු ගාසා තීරය පාලනය කරන පලස්තීන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩාමයි. ඊශ්‍රායලය විනාශ කරන බවට හමාස් කණ්ඩායම දිවුරා පොරොන්දු වී අවසන්ය. 2007 වසරේ සිට ගාසා තීරය පාලනය කරන හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය සමග අවස්ථා කීපයකදී යුද්ධවලට පැටලී ඇත. එම යුද ගැටුම් අතරතුරේ හමාස් සටන්කාමීන් හෝ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන සෙසු ඉස්ලාමීය සටන්කාමීන් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රාහර එල්ල කර ඇත. ඊශ්‍රායලය ද අවස්ථා ගණනාවකදී හමාස් සටන්කාමීන් සොයා ගාසා තීරයේ වැටලීම් කර ඇත. ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. ඊජිප්තුව සමග එක් වී, ඊශ්‍රායලය, 2007 වසරේ සිට ගාසා තීරය වට කර තිබේ. එසේ කර ඇත්තේ ආරක්ෂක හේතූන් මත යැයි ඊශ්‍රායලය පෙන්වා දී ඇත. හමාස් කණ්ඩායම, සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය, ඊශ්‍රායලයේ සමීතම මිතුරා ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය ත්‍රස්ත කණ්ඩායමක් ලෙස හමාස් නම් කර තිබේ. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේත් ඉරානයේත් සහාය, මූල්‍ය අනුග්‍රහය සහ අවි ආයුධ හමාස් කණ්ඩායමට හිමිවෙයි. හමාස් සටනාකාමින්ට අවි ආයුධ සැපැයීම සහ පුහුණුව ලබා දීම සිදු කරන්නේ හිසබුල්ලා සංවිධානයයි. ඊශ්‍රායලය සහ ඉරානය අතරේ පවතින දීර්ඝ කාලීන විරසකයට හේතුව මෙයයි.

ගාසා තීරය
ගාසා තීරය යනු කිලෝ මීටර් 41 ක් දිග කිලෝ මීටර් 10 ක් පළල කුඩා බිම් තීරුවකි. ඊශ්‍රායලයට ඊජිප්තුවට සහ මධ්‍යධරණී මුහුදට අතර මැදිව මෙය පිහිටයි. පලස්තීනුවන් මිලියන 2.3 කට නිවහන වන්නේ මෙම ගාසා තීරයයි. ලොව වැඩිම ජනගහන ඝනත්වයක් ඇත්තේ ද ගාසා තීරයේය. ගාසා තීරයට ඉහළ ගුවන් කලාපය සහ ගාසා තීරයට අයත් වෙරළ තීරය පාලනය කරන්නේ ඊශ්‍රායලයයි. දේශසිමා හරහා ගාසා තීරයට යැවෙන භාණ්ඩ සදහා අවසර දෙන්නේ ඊශ්‍රායලයේ කැමැත්ත අනුව පමණි. ඊජිප්තුවේ සහාය ඊශ්‍රායලයට හිමිවන අතර, ගාසා තීරය හරහා ඊජිප්තුවට ඇති දේශසීමා පාලනය සිදු කරන්නේ ඊජිප්තුවය.

ගාසා තීරය සහ බටහිර ඉවුර
ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන අප නිතර කතා කළත්, පලස්තීනය යනු රටක් නොවෙයි. පාලන ප්‍රදේශයකි. පලස්තීනය යන මෙම පාලන ප්‍රදේශය ඇත්තේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය. ගාසා තීරය සහ බටහිර ඉවුර පිහිටා ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය. අතීතයේ ගාසා තීරය, බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ අද ඊශ්‍රායලය යනුවෙන් හැදින්වෙන භූමිය පලස්තීනය විය.

ඉස්ලාම් නොවන රට
මැදපෙරදිග කලාපයේ ඉස්ලාම් නොවන එකම රට ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය යනුවෙන් රටක් බිහිවීම සිදුවූයේ 1948 වසරේදීය. ඊශ්‍රායලය හැඳින්වෙන්නේ යුදෙව්වන්ගේ රාජ්‍යය යනුවෙනි. අද ඊශ්‍රායලය යනුවෙන් හැඳින්වෙන මේ යුදෙව් රාජ්‍යය අතීතයේ පලස්තීනය යන භූමියේ කොටසකි. ලොව පැරැණිතම ජන වර්ගයක් ලෙස යුදෙව්වන් සැලකිය හැකිය. යුදෙව්වන්ගේ අතීතය ක්‍රිස්තු වර්ෂයටත් පෙර වසර ගණනාවක් ඈතට යයි. ජේසුතුමන් ජීවත් වූ බව පැවැසෙන්නේ පලස්තීනයේ ජෙරුසිලම ප්‍රදේශය ආශ්‍රිතවය. ජේසුතුමන් සහ ඔහුගේ ඥාතීන් සියලු දෙනා යුදෙව්වන්ය. අතීතයේ යුදෙව්වන් සැලකිය යුතු අන්දමින් එම ප්‍රදේශයේ ජීවත් වුණු බව ඒ අනුව පැහැදිලිය.

යුදෙව්වෝ
වර්තමානයේ ලෝකයේ සෑම රටකම පාහේ යුදෙව්වෝ සිටිති. යුදෙව්වන් සහ මුස්ලිම් වැසියන් අතර පවතින්නේ ආගමික වශයෙන් සුළු වෙනස්කමක් පමණි. එහෙත්, ලෝකයට කැපී පෙනෙන සේවයක් කළ පිරිසක් ලෙස යුදෙව්වන් අවිවාදයෙන් හැඳින්විය හැකිය. යුදෙව්වන් අනෙක් ජාතීන්ට වඩා බුද්ධිමත් පිරිසකි. චින්තන ශක්තියක් ඇති පිරිසකි. මොළයෙන් උපරිම වැඩගත් ජාතියක් ලෙස සැලකෙන්නේ යුදෙව්වන්ය. නොබෙල් ත්‍යාග දිනා ඇති 900 කට වැඩි පිරිස අතරින් සියයට 20 ක් පමණ යුදෙව්වන්ය. ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්, ඇල්බට් අයින්ස්ටයින්, කාල් මාක්ස් යුදෙව්වන්ය. පේටන්ට් බලපත්‍ර බොහොමයක් හිමි කරගෙන ඇත්තේ ද යුදෙව්වන්ය‍.

හිට්ලර්
දෙවැනි ලෝක යුද්ධයට පෙර යුරෝපයේ, රටවල් බොහොමයක යුදෙව්වෝ වැඩි ප්‍රමාණයක් ජීවත් වූහ. ක්‍රිස්තු වර්ෂ 70-135 අතර කාලයේ රෝම අධිරාජ්‍යයන් පැමිණ, ජෙරුසලම ගිනි තබමින්, යුදෙව්වන් ඉන් පිටුවහල් කළේය. පිටුවහල් කෙරුණු යුදෙව්වෝ ලොව එක එක රටවලට ගොස් ඒවායේ ජීවත් වීමට පටන් ගත්හ. එම රටවලින් ඔවුහු දැඩි තාඩන පීඩනවලට ලක් වූහ. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූයේ ජර්මනියේ හිට්ලර් නිසා. හිට්ලර් උපන්නේ ඔස්ට්‍රියාවේ. ඔස්ට්‍රියාවේ වියානා නුවර පවා වැඩිම බුද්ධිමතුන් එනම් නීතීඥයන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, කලා නිර්මාණකරුවන්, ව්‍යාපාරිකයන් ආදිය යුදෙව් ජාතිකයන් බව හිට්ලර් ට වැටහිණි. ඉදිරියට ගිය සියලු දෙනා යුදෙව් ජාතිකයන්ය. හිට්ලර් පැවැසුවේ, යුදෙව්වන් මරා නොදැම්මොත් ඔවුන් ඉක්මනින් යුරෝපය ආක්‍රමණය කරාවි යැයි හිට්ලර් පවසන්න විය. හිට්ලර් ජර්මනියට පැමිණ නාට්සිවාදය ආරම්භ කරද්දී, ඔහු දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රධාන වගකිවයුත්තා බවට පත් විය. දෙවැනි ලෝක යුද්ධයට පෙර සිටම හිට්ලර් යුදෙව්වන් සංහාරයකට කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. අල්ලා ගන්නා යුදෙව්වන් දස දහස් ගණනින් වධකාගාරවලට යැවුණි. ගෑස් කාමරවලට යැවුණි. හිට්ලර් යුදෙව්වන් ඝාතනය කළ අයුරු දුටු යුරෝපය පමණක් නෙව මුළු ලොවම තිගැස්සිණි. ජර්මනියට එරෙහිව යුරෝපා රටවල් සියල්ල එකමුතු වූයේ ඉන්පසුවය. ඔවුන් ජර්මනියට එරෙහිව නැගී සිටියේය. දෙවැනි ලෝක යුද්ධය යනු මෙයයි.

නිජබිම
දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙද්දී, යුදෙව්වන්ට තමන්ගේම කියා නිජ බිමක් අවශ්‍ය විය. නිදහසේ ජීවත් වීමට තැනක් අවශ්‍ය විය. 1947 වසරේ දී, එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ලෙස, යුදෙව්වන්ගේ මුල් භූමිය වන පලස්තීන භූමි ප්‍රදේශය දෙකට කඩා එක් කොටසක් යුදෙව්වන්ටත් අනෙක් කොටස අරාබි ජාතිකයන්ටත් වෙන් කිරීමට බෙදා දීම සිදුවිය. මෙසේ බෙදා දීම කළේ එවකට එම ප්‍රදේශය පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.

ඊශ්‍රායලය බිහිවෙයි
1948 වසරේ දී, යුදෙව්වෝ ඔවුන්ගේ භූමි ප්‍රදේශය ඊශ්‍රායලය යන නමින් වෙනම රාජ්‍යයක් බවට පත් කර ගත්හ. භූමිය බෙදීම සිදුවූයේ සියයට 43.5 පලස්තීනය ලෙස සහ සියයට 56.5 ක් ඊශ්‍රායලය ලෙසය. අරාබි රටවල් මීට තදින් ම විරෝධය දක්වන්න විය. අරාබි රටවල් පහක දැවැන්ත හමුදා එක් වී, ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට තැත් කළේ එවිටය. එදා ඊශ්‍රායලයේ සිටියේ, හිට්ලර්ගෙන් බැට කා, යුරෝපයෙන් ද පලා ආ, හරිහැටි හමුදාවක්වත් නැති සිවිල් වැසියන්ය. කෙසේ නමුත් මාස 9 ක් පැවැති යුද්ධය අවසන් වූයේ කවුරුත් පුදුම කරමින් ඊශ්‍රායල වැසියන් අරාබි හමුදාව පරාජය කරමිනි. යළිත් ආක්‍රමණ සිදුවීමට ඉඩ ඇති බව යුදෙව්වන් දැන සිටි නිසා ඔවුන් ඔවුන්ගේ යුද ශක්තිය තරකර ගන්න පටන් ගත්තේය.

යුද්ධ
වසර 19 කට පසු, අරාබි රටවල් 4 ක්, පාකිස්තානයේ ද සහාය ඇතිව, ඊශ්‍රායලයට යළි ප්‍රහාරයක් එල්ල කරන්න විය. දින 6 කින් එම බලසම්පන්න ආක්‍රමණය පරද්දන්න ඊහ්‍රායලයට හැකි විය. යුද්ධය අවසන් කෙරුණි. සය දින යුද්ධය යනුවෙන් ප්‍රකට මෙයයි. ඉන්පසු ඊශ්‍රායලය අරාබි රටවලට දඩුවම් කිරීමක් ලෙස අසල්වැසි හැම රටකින්ම තුන් ගුණකක භූමි ප්‍රමාණයක් අල්ලා ගැනීම කළේය. අරාබි රාජයයන් දෙකක්, රුසියාවේ ද සහාය ඇතිව, තමන්ට අහිමි වුණු බිම් කොටස් යළි අත්පත් කර ගැනීමට කටයුතු කළේය. කෙසේ නමුත් සටන් අවසන් වෙද්දී, මුළු පලස්තීනයේම පාලන බලය ඊශ්‍රායලය සතු විය. ඊශ්‍රායලය යටතේ පාලනය වන පලස්තීන ප්‍රදේශවල ජනතාව, ඊශ්‍රායල හමුදාව සමඟ ගැටුම් ඇති කර ගන්න පටන් ගත්තේ ඉන්පසුවය. අද දක්වා එම ගැටුම් පවතී. එම ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස පලස්තීන නිදහස් කර ගැනීමේ සංවිධානය බිහිවිය. හමාස් කණ්ඩායම බිහිවිය. පසුව ඇතිකරගත් එකඟතාවකට අනුව, පලස්තීන භූමිය, පාලන ප්‍රදේශ තුනකට වෙන් විය. 2005 වසරේ දී, ඊශ්‍රායලය ගාසා තීරය පලස්තීනුවන් වෙනුවෙන් නිදහස් කෙරුණි.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS