ඉරානයට අසල්වැසි තර්ජන



2003 වසරේ ඇමරිකාව ප්‍රමුඛ හමුදා ඉරාකය ආක්‍රමණය කර දශක දෙකකට වඩා වැඩි කාලයකට පසු, ඇමරිකාව ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය දැන් දෙවන සතියට එළඹ ඇත. ඉරානය වෙත එල්ල වන ප්‍රහාර සංඛ්‍යාව ඉහළ යද්දී, මෙම මෙහෙයුම මගින් ඇමරිකාව සැබවින්ම අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන කරුණු වරින් වර වෙනස් වන අතර, ඒවා පරස්පර විරෝධී ස්වභාවයක් ද ගනී. මේ හේතුවෙන් ප්‍රධාන ප්‍රශ්නයක් පැන නැගී ඇත. ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාවේ (ට්‍රම්ප්ගේ) අවසන් අරමුණ කුමක්ද? ඉරාන ඉස්ලාමීය පාලන තන්ත්‍රය ඔහුට අවශ්‍ය පරිදි වෙනස් කිරීමටද? එය එසේ නම්, එය ට්‍රම්ප් සිතන තරම් පහසු කාරණාවක් නොවන බව දැන් පැහැදිලිය. ට්‍රම්ප් ෆ්ලොරීඩාවේ සිට මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ කියා සිටියේ, තමන් ඊශ්‍රායලය සමග හවුලේ ඉරානයට ඓරහිව ආරම්භ කළ යුද්ධය ඉතා කෙටි කාලීන එකක් බවය. යුද්ධය ඉක්මනින් අවසන් වේවි යැයි තමන් විශ්වාස කරන බව ද ට්‍රම්ප් පැවැසීය. ඇමරිකන් හමුදා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කරමින් ආරම්භ කළ යුද්ධයේ දී ඇමරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයේ ඉලක්ක 5,000කට ප්‍රහාර එල්ල කර ඇති බව ද ට්‍රම්ප් පැවැසීය. මේ අතර, පහර පිට පහර එල්ල වෙද්දී, ඉරානය ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය ලොවට පෙන්වයි. ‘සටන් විරාමයකට යන්න අපට ඕනෑ නැහැ. අප කීයටවත් යටත් වෙන්නේ නැහැ. අපට අභිමානයක් තිබෙනවා. අප එය පාව දෙන්නේ නැහැ’ යැයි ඉරානය අවධාරණය කර ඇත.

ඉකුත් 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ ඉලක්ක 2,500කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, උත්තරීතර නායකයා ලෙස දශක ගණනක් එම ධුරය දැරූ අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉරාන ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුම තෙහෙරානේ අගනුවරදී ඝාතනය කෙරුණි. ඇමරිකාව සහ ඊශ්‍රායලය දිගින් දිගටම ඉරානයට පහර දෙන්නේ, ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන, තෙල් පිරිපහදු පමණක් නොව සිවිල් වැසියන් සිටින ස්ථාන ද ඉලක්ක කර ගනිමිනි. ඉරානයේ යටිතල පහසුකම් විනාශ කර ඉරාන වැසියන් අසරණ කිරීම ද එම ප්‍රහාරවල එක් අරමුණකි.

ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපයේ අසල්වැසි රටවල් ඉලක්ක කරගනිමින් මිසයිල සිය ගණනක් සහ ඩ්‍රෝන යානා දහස් ගණනක් මුදා හරිමින් ඉරානය පෙරළා ප්‍රහාර දීම් සිදු කරයි. මෙම ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ අසල්වැසි අරාබි රටවල ඇති ඇමරිකා හමුදා කදවුරු, ඇමරිකා තානාපති කාර්යාල ඇතුළු ඇමරිකන් ඉලක්කවලටය. සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල නොකරන බව ඉරානය තරයේ පැවැසුවත්, යුද්ධයකදී සිවිල් වැසියන් මියයෑම වැළැක්විය නොහැකි බව ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ඇමරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වනවිට ඉරාන ජාතිකයන් 1,400කට වැඩි පිරිසක් මියගොස් ඇත. ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මියගිය දරුවන් 160කට වැඩිය. මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් මාධ්‍ය ජනපති ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ පාසලට පහර දුන්නේ ඉරාන හමුදාව බවත් තමන්ගේ (ඇමරිකාවේ) සම්බන්ධයක් නොමැති බවත්ය. “ඉරාන හමුදාවට හරිහැටි ඉලක්කයකට පහර දෙන්න හැකියාව නැහැ. ඒ නිසා මම හිතන්නේ බාලිකා පාසලට පහර දුන්නේ ඔවුන්ම තමයි. අපේ සම්බන්ධයක් ඒකට නැහැ. අප ඒ ගැන විමර්ශනයක් කරනවා” මේ ට්‍රම්ප්ගේ වදන්ය. ඉරානය පෙරළා සිදු කළ ප්‍රහාරවලින්, ඇමරිකා සෙබළුන් හත් දෙනකු ද මියගොස් ඇතැයි පැවැසෙයි. මේ බව ඇමරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය ද තහවුරු කර ඇත. විදෙස් විශ්ලේෂකයන් තර්ක කරන්නේ ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය මෙම යුද්ධය අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න පිළිබඳව කිසි විටෙකත් පැහැදිලිව විස්තර කර නොමැති බවය. ට්‍රම්ප්, ඊශ්‍රායල මාධ්‍ය සමග පවසා ඇත්තේ යුද්ධය අවසන් කිරීම සිදුවනු ඇත්තේ, ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමග සාකච්ඡා කර දෙදෙනා අතරේ එකගතාවක් ඇති කර ගැනීමෙන් පසු පමණක් කියාය.

ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ලෝකය මෙතෙක් දැක ඇති වඩාත්ම සංකීර්ණ යුද ප්‍රහාර සහ මෙහෙයුම් කිහිපයක් සිදු කර ඇති බවට ද ට්‍රම්ප් පුරසාරම් දොඩයි. ප්‍රධාන තෙල් නිෂ්පාදකයන් සැපයුම් කපා හැරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට එල්ල වන බාධා හේතුවෙන්, තෙල් මිල ඉහළ යමින් පවතී. 2022 වසරෙන් පසු තෙල් මිලෙහි වැඩිවීමක් දකින්න ලැබෙන පළමු අවස්ථාව මෙය යැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තමන් ඊශ්‍රායලය ද සමග එක් වී ඉරාන ඉස්ලාමීය පාලනය පෙරළා දැමීමට උත්සාහ ගන්නේ, ඉරාන වැසියන්ට ඔවුන් කැමැති විදියේ පාලනයක් පත් කර ගැනීමට ඉඩ දීමට යැයි ට්‍රම්ප් දිගින් දිගටම කියයි. ඉරානය අසල්වැසි රටවල ඇමරිකා ඉලක්කවලට පහර දීම මෝඩ ක්‍රියාවක් බවත්, සෞදිය, කටාර් රාජ්‍යය, එමිරේට්ස් රාජ්‍යය ඇතුළු එම රටවල් ඉරානයට එරෙහිව ඉරානයට පහර දීමක් කිරීමට පවා පෙළෙඹෙනු ඇතැයි ට්‍රම්ප් පවසා ඇත. ‘ඉරානයේ අසල්වැසියන් සැමවිටම උත්සාහ ගනිමින් සිටින්නේ, මේ ගැටුමට මැදිහත් නොවී මධ්‍යස්ථව ඉන්නයි. ඒත් ඉරානය දිගින් දිගටම එම රටවල සිවිල් වැසියන්ට අනතුරක් වන ආකාරයට ප්‍රහාර එල්ල කරනවා නම්, ඒ රටවල් නිකරුණේ බලා සිටින්නේ නැහැ. එම රටවල් බුද්ධිමත්. ඔවුන් හමුදා ක්‍රියාමාර්ග අනුගමනය කරාවි. ඉරානයට වටලා පහර දේවි.’ යැයි ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

ඉරානයේ අසල්වැසියන් අයත් වන්නේ ගල්ෆ් සහයෝගිතා මණ්ඩලයටය. ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයේ රටවල වාසය කරන මිලියන 62 කට ආසන්න පිරිසක්, ඉරානයට එරෙහිව සිදුවන ඇමෙරිකා ඊශ්‍රායල යුද්ධයේ අතුරු විපාකවලට මැදිවී සිටිති. මෙය ලොකු ගැටලුවකි. ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය යනු මැදපෙරදිග කලාපයේ පවතින වඩාත්ම බලවත් දේශපාලනික සහ ආර්ථික සන්ධානයයි. 1981 වසරේ මැයි මස 25 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී මෙය නිල වශයෙන් පිහිටුවන ලදී. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, කටාර් රාජ්‍යය, ඕමානය සහ බහරේනය යන අරාබි රටවල් හය මෙහි සාමාජිකත්වය දරයි. අතීතයේ පර්සියාව ලෙස ද හැඳින්වුණු ඉරානය ලොව ප්‍රධාන ෂියා මුස්ලිම් රාජ්‍යයයි. ඉරානය ගල්ෆ් අරාබි රාජ්‍යයක් නොවෙයි. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, කටාර් රාජ්‍යය, ඕමානය සහ බහරේනය යන රටවල් 6 ම සමාන ඉස්ලාමීය සංස්කෘතියක්, භූගෝලීය පිහිටීමක් සහ රාජාණ්ඩු පාලන ක්‍රමයන්ගෙන් සමන්විත බැවින්, ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය ලෙස හැඳින්වෙන මෙම සන්ධානය ශක්තිමත් වී ඇත. සෞදි අරාබියේ රියාද් නුවර මෙහි ප්‍රධාන මූලස්ථානය පිහිටයි.

මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, සාමාජික රටවල් අතර ආර්ථික, දේශපාලනික, ආරක්ෂක සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උපරිම සහයෝගීතාවයක් සහ ඒකාබද්ධතාවයක් ඇති කිරීමය. විශේෂයෙන්ම කලාපීය ආරක්ෂාව තහවුරු කර ගැනීම සහ ලෝක බලශක්ති වෙළඳපොළ තුළ තම තෙල් සහ ස්වභාවික වායු සම්පත් කළමනාකරණය කරමින් ස්ථාවරත්වයක් පවත්වා ගැනීම මෙහිදී කැපී පෙනෙයි. යුරෝපා සංගමය මෙන් පොදු වෙළඳපොළක් සහ වීසා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට මොවුන් උත්සාහ කරන අතර, කලාපීය ආරක්ෂක තර්ජන හමුවේ සාමූහිකව මුහුණ දීම සඳහා ඒකාබද්ධ හමුදා බලකායක් ද පවත්වාගෙන යයි.

ගෝලීය වශයෙන් ගත් කළ ලොව බලශක්ති අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් සපුරාලන බැවින් ජාත්‍යන්තර දේශපාලනය තුළ ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය නැතිනම් සංවිධානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ආර්ථික අවස්ථා සඳහා ප්‍රසිද්ධ මෙම රටවල් (බහරේනය, කුවේටය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය) ලොව පුරා විසිරී සිටින, ප්‍රධාන වශයෙන් දකුණු ආසියාවෙන් පැමිණි මිලියන 35කට ආසන්න විදේශීය ශ්‍රමිකයන් පිරිසකට සෙවණ සලසයි. සෞදි අරාබිය සහ ඕමානය හැරුණු විට, ඉතිරි රටවල් හතරේම ජනගහනයෙන් බහුතරය සමන්විත වන්නේ විදේශීය ශ්‍රමිකයන්ගෙනි.

ගල්ෆ් කලාපීය රටවල වෙසෙන විදේශීය ශ්‍රමික පරම්පරා ගණනාවක්, එම රටවල නවීන යටිතල පහසුකම් ගොඩනැගීමට අත්‍යවශ්‍ය වූ කම්කරුවන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන්, ගෘහ සේවකයන්, ආරක්ෂක නිලධාරීන් සහ පිරිසුදු කිරීමේ සේවකයන් ලෙස ශ්‍රම බලකායට විශාල දායකත්වයක් ලබා දී ඇත. වෙනත් රටවල පුරවැසිභාවය දැරුවද, මිලියන සංඛ්‍යාත පිරිසක් ගල්ෆ් කලාපය තම නිවස ලෙස සලකති. මීට අමතරව, බැංකු, මූල්‍ය, තාක්ෂණ, ඉංජිනේරු, ගුවන් සේවා, වෛද්‍ය සහ මාධ්‍ය වැනි ක්ෂේත්‍රවල ඉහළ දක්ෂතාවලින් හෙබි විදේශීය වෘත්තිකයන්ට ද දිගු ඉතිහාසයක් ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ‘ග්ලෝබල් මීඩියා ඉන්සයිට්’ නැමැති ඩිජිටල් අලෙවිකරණ ආයතනයට අනුව, ගල්ෆ් සහයෝගිතා මණ්ඩලයේ රටවල් හය පුරා වෙසෙන විදේශිකයන් සංඛ්‍යාව වන්නේ, ඉන්දියානුවන් මිලියන 9.1 ක්, බංග්ලාදේශ වැසියන් මිලියන 5 ක්, පකිස්තානුවන් මිලියන 4.9 ක්, ඊජිප්තුව වැසියන් මිලියන 3.3 ක්, පිලිපීන වැසියන් මිලියන 2.2 ක්, යේමනය වැසියන් මිලියන 2.2 ක්, සුඩානය වැසියන් මිලියන 1.1 ක්, නේපාලය වැසියන් මිලියන 1.2 ක්, සිරිායනුවන් 694,000 ක් සහ ශ්‍රී ලාංකිකයන් 650,000 ක් ආදී වශයෙනි.

සෞදි අරාබිය ගල්ෆ් සහයෝගිතා මණ්ඩලයේ විශාලතම රට වන අතර, එහි මුළු ජනගහනය මිලියන 37 කට ආසන්න වේ. තෙල් සම්පතින් පොහොසත් මෙම රාජ්‍යයේ දේශීය ජනගහනය මිලියන 20.5 ක් වන අතර තවත් විදේශීය පදිංචිකරුවෝ මිලියන 16.4 ක් එහි වාසය කරති. සෞදි අරාබියේ වසන විදේශිකයන් අතරින් බහුතරයක් නියෝජනය කරන ප්‍රධාන රටවල් පහ වන්නේ බංග්ලාදේශය (2,590,000), ඉන්දියාව (2,310,000), පකිස්තානය (2,230,000), යේමනය (2,210,000), ඊජිප්තුව (1,800,000) සහ සුඩානය (1,000,000) යයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගල්ෆ් සහයෝගිතා මණ්ඩලයේ දෙවන විශාලතම ජනගහනය සහිත රට වන අතර එහි මුළු ජනගහනය මිලියන 11.3ක් පමණ වේ. අබුඩාබි, ඩුබායි සහ සාජා ඇතුළු එමීර් රාජ්‍යයන් හතකින් මෙය සමන්විතයි. මෙහි මුළු ජනගහනයෙන් එමීර් රාජ්‍ය වැසියන් සිටින්නේ සියයට 12 ක් වැනි සුළු ප්‍රතිශතයක් වන අතර සියයට 88 ක්ම විදේශිකයන් වේ. ඉන්දියානුවන් (මිලියන 4.36) සහ පාකිස්තානුවන් (මිලියන 1.9) මෙහි වසන ප්‍රධානතම විදේශීය කණ්ඩායම් වේ. මිලියන 4.8ක ජනගහනයක් සහිත කුවේටය ගල්ෆ් සහයෝගිතා මණ්ඩලයේ තෙවන විශාලතම ජනගහනයට හිමිකම් කියයි. මෙයින් මිලියන 1.56 ක් කුවේට් වැසියන් වන අතර මිලියන 2.16 ක් විදේශීය ශ්‍රමිකයන්ය. කුවේටයේ වසන විදේශිකයන් අතරින් ඉන්දියානුවන් මිලියනයක් පමණ සිටින අතර ඊජිප්තු ජාතිකයන් (700,000) දෙවන ස්ථානය ගනී. ඕමානයේ මුළු ජනගහනය මිලියන 4.7 ක් පමණ වේ. අනෙකුත් බොහෝ ගල්ෆ් සහයෝගිතා මණ්ඩල රටවලට වඩා වැඩි පුරවැසි ප්‍රතිශතයක් ඕමානයේ දැකිය හැකි අතර, ජනගහනයෙන් සියයට 59 ක් (මිලියන 2.5) ඕමාන් පුරවැසියන් වේ. ඉතිරි සියයට 41 විදේශීය ශ්‍රමිකයන් වන අතර ඉන්දියානුවන් සහ බංග්ලාදේශ ජාතිකයන් එහි ප්‍රධාන තැනක් ගනී.

කටාර් මුළු ජනගහනය මිලියන 3.2 ක් වන අතර ඉන් මිලියන 2.87ක් ම විදේශීය ශ්‍රමිකයන් වේ. එය මුළු ජනගහනයෙන් සියයට 88 ක් තරම් ඉහළ අගයකි. කටාර් පුරවැසියන් සංඛ්‍යාව 330,000ක් (සියයට 12 ක්) පමණ වේ. මෙහි වසන විදේශිකයන් අතරින් ඉන්දියානුවන් (700,000), බංග්ලාදේශ වැසියන් (400,000) සහ නේපාල වැසියන් (400,000) ප්‍රමුඛ වේ. මිලියන 1.58ක ජනගහනයක් සහිත බහරේනය ගල්ෆ් සහයෝගිතා මණ්ඩලයට අයත් කුඩාම ජනගහනය සහිත රටයි. එහි ජනගහනයෙන් අඩකට මඳක් අඩු ප්‍රමාණයක් බහරේන් පුරවැසියන් වේ. අනෙකුත් රටවල මෙන්ම මෙහි ද විශාලතම විදේශීය ප්‍රජාව වන්නේ ඉන්දියානුවන් (350,000) වන අතර බංග්ලාදේශ සහ පාකිස්තාන ජාතිකයන් ද සැලකිය යුතු ලෙස වසති.

කමේනී ඝාතනයෙන් පසු ඉරානය ඔවුන්ගේ නව උත්තරීතර නායකයා ලෙස තෝරා පත් කර ගනු ලැබුවේ මොජ්තබා කමේනීය. 56 හැවිරිදි මොජ්තබා, අයතුල්ලා අලි කමේනීගේ දෙවැනි පුත්‍රයාය. ඇතැමුන් පවසන්නේ මොජ්තබා කමේනී සිය පියා මෙන් අන්තවාදී අදහස් ඇති අයකු බවය. කෙසේ නමුත් අල් ජසීරා පුවත් සේවයට අනුව මොජ්තබා, මධ්‍යස්ථ මට්ටමේ ආගමික විද්වතෙකි. මින් පෙර ඉරාන රජයේ කිසිදු නිල තලයක් දරා නොමැති වුවද, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සමඟ පවතින දැඩි සබඳතාවය හේතුවෙන් ඔහු මෙම තීරණාත්මක අවස්ථාවේදී පියවරේ අඛණ්ඩතාව පවත්වා ගැනීමට සුදුසුම පුද්ගලයා ලෙස හඳුනාගෙන ඇත. ඉරානය තම ඉතිහාසයේ දරුණුතම අර්බුදයකට මුහුණ පා සිටින මොහොතක සිදු වූ මෙම පත්වීම, බටහිර බලපෑම් හමුවේ එරට නොසැලී සිටින බවට ලබා දුන් ප්‍රබල සංඥාවක් ලෙස සැලකෙයි. මෙම ප්‍රහාරවලින් මොජ්තබා කමේනීට තම පියා පමණක් නොව බිරිඳ ද අහිමි වී ඇති අතර, එවන් පෞද්ගලික ඛේදවාචකයක් මධ්‍යයේ ඔහු නායකත්වයට පත්වීම දේශපාලන විචාරකයන් හඳුන්වන්නේ ඉරානයේ දැඩි ස්ථාවරය ප්‍රදර්ශනය කිරීමක් වශයෙනි. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනටමත් ඔහුට සිය පූර්ණ සහයෝගය පළ කර තිබේ. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මධ්‍යස්ථ මතධාරියෙකි.

 

මෙම පත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයකි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරානයටත් මොජ්තබා කමේනීටත් දිගටම සහාය පළ කරන බව පවසා ඇත. චීනය අවධාරණය කර ඇත්තේ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා තෝරා ගැනීම ඉරානයේ අභ්‍යන්තර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත තීරණයක් බැවින් ඊට ගරු කළ යුතු බවය. මීට අමතරව ඕමානය, ඉරාකය සහ යේමනයේ හවුති සංවිධානය ද නව උත්තරීතර නායකයා වෙත සුබපැතුම් පිරිනමා ඇති අතර, කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් ඉරානය ගන්නා පියවර අගය කර ඇත. කෛස් නමුත් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය ඔවුන්ගේ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා තෝරා ගැනීම තමන් කිසිසේත් අනුමත නෙකරන බවය. ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය ද මොජ්තබා කමේනී, සිය පියා මෙන්ම දැඩි පාලකයෙකු ලෙස හඳුන්වමින්, ඔහු යටතේ ද ඉරාන පාලනයේ මර්දනකාරී ස්වභාවය වෙනස් නොවනු ඇති බව පෙන්වා දී ඇත.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS