ඉන්දියාවේ පළමු සූර්ය බලැති ගම්මානය



ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ එක් පිටිසර ගම්මානයක් අද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගේ පැසැසුමට ලක් වී අවසන්ය. මෙම ගම්මානයේ නම මොදේරා ය.

මීට වසර කීපයකට පෙර නම් මොදේරා ගම්වැසියන් උගත් දියුණු පිරිසක් නොවෙයි. ඒත් අද ඔවුන් උගත්, තාක්ෂණය ගැන ද යම් දැනුමක් ඇති දියුණු පිරිසකි. මොදේරා ගම්මානය ඇත්තේ ගුජරාට ප්‍රාන්තයේ මෙහ්සානා දිස්ත්‍රික්කයේය. මෙහ්සානා දිස්ත්‍රික්කයේ මුල්ලක පිහිටි මොදේරා ගම්මානයේ ඇති විශේෂත්වය නම්, ඉන්දියාවේ පළමු සූර්ය බලැති ගම්මානය මෙයයි. මොදේරා, සූර්ය බලැති ගම්මානයක් බවට පත් කළේ ගුජරාට ප්‍රාන්ත රජය සහ ඉන්දීය මධ්‍යම රජය එක් වෙමිනි. ඕනෑම නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත්, එය ඉදිරියට ගෙන යෑමටත් ජනතා උනන්දුව තිබිය යුතුය. මොදේරා ගම්මානයේ වැසියටන්, ප්‍රාන්ත රජය සහ මධ්‍යම රජය හඳුන්වා දුන් සූර්ය බල ව්‍යාපෘතියට එක පයින් කැමැති වූවා පමණක් නොව, විදුලිය නිපදවා ගන්න සූර්ය බලයට යොමු විය. ව්‍යාපෘතියේ සාර්ථකත්වයට හේතුවක් වූයේ ඊට අකුල් හෙලීමට කිසිවකුවත් නොසිටීමය. පිටපිට තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් පසුවන මෝදිගේ උපන් ගමන් පළාත වන්නේ ගුජරාටයයි. ගුජරාට ප්‍රාන්තය සමෘද්ධිය කරා ගමන් කළේ මෝදි ගුජරාට මහ ඇමැති ලෙස කටයුතු කළ අවදියේ බව අමුතුවෙන් කිවයුතු නැත.

සූර්ය බල ශක්තිය මොදේරා ගම්වාසීන්ට හඳුන්වා දීමට ගුජරාට ප්‍රාන්ත බලධාරීන්ට ගැටලුවක් වූයේ නැත. විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීමට සූර්ය බලය යොදා ගැනීමටත්, ලැබෙන අතිරේක විදුලිය ජාතික විදුලි බල පද්ධතියට ලබා දීමටත් ගම්වැසියන් ට පහදා දුන් පසු ඔවුන් එය පිළිගත්තේය. ඒ ගැන උනන්දුවක් දක්වන්න පටන් ගත්තේය. විදුලි බිල අඩු කර ගනිමින්, සූර්ය බලයෙන් ලබා ගන්නා විදුලිය ජාතික විදුලි බල පද්ධතියට ලබා දීමට මොදේරා ගම්වාසීන්ට එක්තරා විදියක ආඩම්බරයක් බව ද පැවැසෙයි. මොදේරා ගම්මානය, සූර්ය බලැති ගම්මානයක් කිරීමේ ව්‍යාපෘතියට ඇමෙරිකන් ඩොලර් මිලියන 9ත7 ක් වැය විය. ඒ සඳහා ගුජරාට රජයත්, ඉන්දීය මධ්‍යම රජයත් සම සමව බර පැන දරා තිබේ. පැය 24 පුරා සූර්ය බලයෙන් පණ ගැන්වෙන ඉන්දියාවේ එකම ගම්මානය ලෙස මොදේරා නම් කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. සූර්ය බලයට යොමු වුණු බැවින්, ගම්වාසීන්ට ඔවුන්ගේ විදුලි බිලෙන් සියයට 6 සිට සියයට 100 දක්වා ඉතිරි කර ගැනීමට හැකි වී අවසන්ය. මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ගුජරාට ප්‍රාන්ත රජයයි. අක්කර 30 ක භූමියක පිහිටි නිවාසවල වහලවල, නිවස අසල ගස්මත දකින්න ලැබෙන්නේ සූර්ය පැනල ය. සූර්ය බලය භාවිතයට ගැනීම පරිසර හිතකාමීය. දිනෙන් දින පාලනයකින් තොරව, ඉහළ යන ගෝලීය උණුසුම පිටු දැකීමට ලෝකයේ දෑස් විවර කිරීමට මොදේරා ගම්මානය සහ එහි වැසියන් සමත් වී ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇත.

පිටිසරබද ගම්මානයක් වුවත්, මොදේරා, ඉන්දියානුවන් අතරේ ප්‍රකටය. ඒ, හින්දු බැතිමතුන් බොහෝ දෙනකු සූර්ය දෙවියන් නෙමස්කාර කරන, සූර්ය දෙවියන් වෙනුවෙන් ඉදි කළ පුරාණ කෝවිලක් මොදේරා, ගම්මානයේ පිහිටීමය. මෙම කෝවිල පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානයකි. සූර්ය බලයෙන්, මොදේරා, ගම්මානය බල ගැන්වෙද්දී, සූර්ය දෙවියන් වෙනුවෙන්, ඉදිවුණු මෙම කෝවිල ආලෝකමත්  වන්නේ, සූර්ය දෙවියන්ගේ බල මහිමය හින්දු බැතිමතුන්ට විදහා දක්වයි. කෝවිල සහ එම භූමිය වටා සූර්ය පැනල 1,300 කි. කුඩා සූර්ය බලශක්ති බලාගාරයක් ද කෝවිලට ආලෝකය දීමට අවශ්‍ය බලය සැපැයීමට ඉදිකර ඇත. කෝවිල සම්බන්ධයෙන්, සියලු බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සිදුවන්නේ සූර්ය බලයෙනි. කෝවිලේ ගල් පිළිම සහ ගල් කැටයම් අලංකාර කරමින්, රාත්‍රී කාලයේ ත්‍රිමාන ආලෝක සන්දර්ශන පවා පැවැත්වෙයි. ඒ, සියලු දේ සූර්ය බලයෙනි. එපමණක් නොව, කෝවිලේ ඇති රථ ගාලේ ද විශේෂත්වයකි. විදුලි මෝටර් රථවලින් පැමිණෙන බැතිමතුන් සිටින්නේ නම්, ඔවුන්ට ඔවුන්ගේ මෝටර් රථ ආරෝපණය කර ගැනීමට අවශ්‍ය ‘චාර්ජින් සෙන්ටර්’ කීපයක් රථ ගාලේ තැනිත් තැන දැකිය හැකිය.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS