ඉන්දියාවේ කොරෝනා පැණිය



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩියෙන් වාර්තා වන ලොව දෙවැනි රට වන්නේ අප අසල්වැසි ඉන්දියාවය. ඉන්දියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ පසුගිය ජනවාරි 30 වැනිදාය. ඒ, කේරළ ප්‍රාන්තයෙනි.

වයිරස ඉන්දියාව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පැවැති බැවින්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දියාව ලොක්ඩවුන් කළේ පසුගිය මාර්තු මාසයේය. කෙසේ නමුත්, සංක්‍රමණික සේවකයන්, ඉන්දියාවේ ප්‍රාන්ත අතර කළ සංචරණය හේතුවෙන්, වයිරසය ඉන්දියාව පුරා ව්‍යාප්ත විය.

වයිරසය අඩපණ කිරීමට හෝ ආසානය වීම වැළැක්වීමට කිසිදු ප්‍රතිකර්මයක් නොවූ බැවින්, සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ආයුර්වේද ඔසු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ආයුර්වේද අමත්‍යාංශයෙන් ඉල්ලීමක් කළේය. කෙරෝනා නසන පැණියක් කරළියට පැමිණියේ මෙම අවස්ථාවේදීය.

මෙම ඖෂධය හඳුන්වා දුන්නේ ‘පටංජලී’ නමැති ඉන්දියාවේ ප්‍රකට ආයුර්වේද නිෂ්පාදන සමාගමය. මෙම සමාගමේ හිමිකරු ආචාර්ය බාලක්‍රිෂ්ණා ය. ‘පටංජලී’ නිෂ්පාදන ඉන්දියානු වැසියන්ගේ විශ්වාසය දිනාගෙන ඇත්තේ ස්වාමි රාම්දේව් නිසාය. ස්වාමි රාම්දේව් ඉන්දියාවේ ජනප්‍රිය චරිතයකි. යෝග ගුරුවරයෙකි. දේශපාලනඥයන්, ඉන්දීය නළු නිළියන් පමණක් නොව ඉන්දීය ක්‍රිකට් තරු ද උපදෙස් ලබා ගන්නේත් ආධ්‍යාත්මික සුවය පතා පැමිණෙන්නේත් ස්වාමි රාම්දේව් වෙතය. එහෙයින්, බාබා රාම්දේව් ඉන්දියාවේ ප්‍රබල චරිතයකි. ‘පටංජලී’ නිෂ්පාදන ආයතනයේ කොටස්කරුවකු නොවුණත්, ‘පටංජලී’ නිෂ්පාදන ප්‍රචලිත කිරීම වෙනුවෙන්, ආචාර්ය බාලක්‍රිෂ්ණා ඊට සම්බන්ධ කරගෙන සිටින්නේ රාම්දේව් ය.

අග්‍රාමාත්‍ය මෝදි, කොරෝනා වයිරසය අඩපණ කිරීමට ආයුර්වේද ඔසු ගැන අවදානය යොමු කරන්නැයි පැවැසුවේ පසුගිය ජූනි මාසයේය. ඒ සමඟම, පටංජලී ඖෂධය හඳුන්වාදීම බාබා රාම්දේව් අතින් සිදුවිය. ඉන්දීය වැසියෝ බොහෝ දෙනා රාම්දේව් ගැන විශ්වාසයෙන්, ඖෂධය කෙරෙහි විශ්වාසය තබන්න වූහ. ආයුර්වේද නිෂ්පාදන සමාගම ‘පටංජලී’ හඳුන්වා දුන්නේ සියයට සියයක් කෝවිඩ් 19 සුව කළ හැකි බව පවසමිණි. ඖෂධය සායනකික පර්යේෂණ සඳහා ද යොමු කිරීම සිදුවිය. ඉන්දියාවේ ‘ආයුෂ්’ ආයුර්වේද අමත්‍යාංශය ‘පටංජලී’ ඖෂධයට විරෝධය දක්වන්න වූයේ මෙම අවස්ථාවේදීය. ඒ අනුව, සායනික පර්යේෂණ නවතා දැමුණි.

ඒ අනුව ‘පටංජලී’ ඖෂධය සම්බන්ධයෙන් විශාල වශයෙන් කතාබහක් ඇතිවිය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ‘පටංජලී’ සමාගමට නොමිලේ විශාල ප්‍රසිද්ධියක් හිමිවීමය. කෙසේ නමුත් අවසානයේ ‘පටංජලී’ ඖෂධය වෙළෙඳපොළට නිකුත් කිරීමක් සිදුවූයේ නැත. අගෝස්තු මාසය පමණ වෙද්දී, කොරෝනා ආසානය වැළැක්වීමට උදව් වන, සිරුරේ ප්‍රතිශක්තිය වඩන‍ ආහාරමය අතිරේකයක් ලෙස ‘පටංජලී’ සමාගම එළිදැක්වීය. ‘පටංජලී’ සමාගම කොරෝනා ‘ප්‍රතිශක්තිකරණ මංජුසාව’ යන නමින් මෙය එළිදැක්වීම සිදු කළේය. ‘පටංජලී’ ඖෂධය ද මීට ඇතුළත් වන නමුත්, දැන් මෙය ආහාරමය අතිරේකයකි. ‘ප්‍රතිශක්තිකරණ මංජුසාව’ වෙළෙඳපොළට හඳුන්වා දුන් පළමු දිනයේ පටන් විශාල වශයෙන් අලෙවි වෙමින් පවතී. ප්‍රතිශක්තිකරණ මංජුසාවක් ඉන්දීය රුපියල් 500 ත් 800 ක් මුදලකට අලෙවි වන බව ද පැවැසෙයි.

‘ද වීක්’ සඟරාව ඇසුරිනි


RECOMMEND POSTS