ඇලවුණු පීසා කුලුන කෙලින් වෙලා



ලෝක පුදුමයක් ලෙස ද සැලකෙන, ඉතාලියේ පීසා කුලුන ලෝකයේ අවධානය දිනා ගෙන තිබෙන්නේ එහි ඇලවුණු ලක්ෂණය නිසයි. දැන් පීසා කුලුන ඉස්සර තරම් ඇල වෙලා නැහැ. නවතම අධ්‍යයනයක් අනුව සොයාගෙන තියෙන්නේ වසර 20කට පසු, දැන් තවත් මිමී 40ක් (අඟල් 1.6ක් විතර) කුලුන කෙළින් වී ඇති බවයි. ඝාණ්ටාර කුලුනක් ද වන පීසා කුලුන මෙසේ ඇලවීම සිදුවූයේ එහි එක් පසෙක ඇති බුරුල් පස නිසයි.

වසර සිය ගණනක් ඇල වෙලා තිබුණ මේ කුලුන අනාරක්ෂිතය. කුලුන දිගින් දිගටම ඇල වෙනවා යැයි ඉතාලි රජයට අවබෝධ වූයේ 1990 වසරේදීය. ඒ සමඟ කුලුනේ ආරක්ෂාව වෙනුවෙන්

වැඩපිළිවෙළක් ආරම්භ කෙරුණි. වසර 11ක් තිස්සේ ක්‍රියාත්මක වූ එම වැඩපිළිවෙළ යටතේ එහි ඇල වීම 2001 වසරේ වන විට මිමී 381කින් (අඟල් 15කින්) අඩු කර ගන්න හැකියාව ලැබුණි. දැන් වසර 20කට පසු කළ නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ කුලුන තවත් මිමී 40.64ක් (අඟල් 1.6ක්) ඉබේම කෙළින් වී ඇති බවයි.

අධ්‍යයනය කර ඇත්තේ ‘ඔපෙරා ප්‍රිමාසොයිලේ ඩෙල්ලා පිසානා’ ආයතනයේ අරමුදල් වලිනි. “කුලුනේ ඇල වීම නතර වූවා පමණක් නොවෙයි; දැන් කුලුන වසරකට මිලිමීටර භාගයකින් (අඟල් 0.02කින්) විතර කෙළින් වී තිබෙනවා ඉතාලියේ පීසා විශ්ව විද්‍යාලයේ ජ්‍ය‍ොතාක්ෂණික මහාචාර්ය නන්සියන්ටේ ස්ක්වෙග්ලියා පැහැදිලි කරයි. “අපි බලාපොරොත්තු වුණාටත් වඩා ඒක සාර්ථක වුණා. ඝාණ්ටාර කුලුනේ ඇලවීම නැවැතුණා” යැයි මහාචාර්යවරයා වැඩි දුරටත් කියා සිටී.

“අවුරුදු 850 ක් වයසැති මේ රෝගීයා, (පීසා ඝාණ්ටාර කුලුන) මීටර 5ක් ඇල වෙලා, මීටර තුනක් ගිලා බැහැලයි තිබුණේ. ඒ තත්වය වෙනස් වෙලා අපේ මේ පීසාහි ඇල වුණු කුලුන දැන් හොඳ සෞඛ්‍යයෙන් පසු වෙනවා” යැයි ‘ඔපෙරා ප්‍රිමාසොයිලේ ඩෙල්ලා පිසානා’ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මධ්‍යකාලීන යුගයට අයත් මේ ඝණ්ටාර කුලුන සමුද්‍රාසන්නව පිහිටි පීසා ජනරජයේ සමෘද්ධිය හා ප්‍රෞඪත්වය කියාපාන්නකි. ක්‍රි.ව. 1280 දී සිට මේ දක්වා ඒ කලාපයේ සිදු වූ ප්‍රබල භූකම්පන හතරකට කිසිම හානියක් නොලැබ නොසැලී සිටින්නට ඊට හැකිවීම විස්මය ජනකය. 

2018 වසරේදී පැවැත්වූ අධ්‍යයනයකින් හෙළි වූයේ කුලුන ඇල වීමට හේතුව, මෙන්ම දරුණු භූකම්පන වලට ඔරොත්තු දීමට හේතුවත් පාදමේ බුරුල් පස නිසා ම බවය. මීටර 57ක් (අඩි 186ක්) උස් වූ ඒ කුලුන ඉදි කිරීම් ආරම්භ වුණේ 1173 දීය. අඩක් පමණ නිම කරද්දී ගිලා බැසීමට පටන් ගත් බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඉන්පසු ඇලවීම සිදුවිය.

කුලුන ඉදි කරන ලද්දේ මීටර තුනක් ගැඹුරු පාදමක් මතය. ඒ බිමෙහි පස බුරුල් අස්ථායී එකකි. එහි දකුණු පස පස වඩාත් මෘදුයි. කුලුනේ අන්වර්ථ නාමයට මුල් වූ ඒ ඇල වීම සිදුවූයේ ද ඒ නිසාය. එහෙයින් කුලුන ඉදි කළ ඉදිකිරීම්කරුවන්, එහි අට වැනි තට්ටුවෙන් පසු එහි ඉදි කිරීම්වල වෙනසක් කළේය. පසුව ඉදි කළ තට්ටුවල උස එක පැත්තකින් අඩු කෙරුණි. ඒ නිසා ඇල වෙන අතර තට්ටුවල චක්‍ර වීමකුත් සිදු වෙලා තිබේ.

කුලුනේ ඉදි කිරීම් 1319 තෙක් අවසන් නොවිණි. ඒ, පීසා හා ජිනෝවා අතරත් ලුකා හා ෆ්ලොරන්ස් අතරත් ඇති වූ යුද්ධ හේතුවෙනි. එසේ ඉදිකිරීම්වල වරින් වර සිදු වූ පමාවන් නිසා පසට ස්ථායි වන්න අවස්ථාවක් ලැබුණි.

පීසා කුලුන අංශක 5.5ක් දකුණට ඇල වී තිබුණු බව 1990 වසරට ආපසු ගියොත් අපට දැක ගන්න පුලුවනි. එය කඩා වැටෙතැයි බියෙන් මහ ජනතාවට එහි ඇතුළුවීම තහනම් කෙරුණි. ඉන්පසු මේ කුලුන කෙළින් කරන්න උපක්‍රම යෙදුණි. කෙසේ නමුත් ඒ එකක්වත් හරිගියේ නැත. බිමෙහි පස් ඉවත් කිරීමේ ක්‍රමවේදයකට යෑමට අවසානයේ දී තීරණය කෙරුණි. ඒ අනුව කුලුනේ යටින් උතුරු පත්තෙන් පස් ලොරි දෙකක් පමණ ඉවත් කරන්න කටයුතු කෙරුණි. එසේ කළේ කුලුන කෙළින් කරන්න වානේ කම්බි යෙදන්න පෙරාතුවය.

එය සාර්ථක වන බවක් පෙනුණි. කෙසේ නමුත් ඒත් ගැටලුවක් මතු විය. වැසි කාලයේ දී කුලුන වැඩියෙන් ඇල වෙන්න ගත්තේය. ඊට හේතුව එහි බිමෙහි උතරෙහි යටින් වූ ජල තට්ටුව වැඩි වෙන්න පටන් ගත් නිසාය. ඒ නිසා ඔවුන් ඊළඟට කළේ උමඟක් කැණ ඒ ජල තට්ටුව ළිංවලට හැරවීමය. ඒ නිසා, ගොඩනැඟිල්ලේ පාදමෙහි ස්ථායිතාව රැක ගන්නට ඔවුන්ට හැකි විය.

2001 දී මේ ව්‍යාපෘතිය සම්පූර්ණ කෙරුණි. ඒ වන විට ඇල වීම තිබුණේ අංශක 0.5කටය. තවත් විදියකින් කීවොත් එය සෙ.මී 38ක්‍ (අඟල් 15ක) ඇලවීමකි. එදා පටන් කුලුන ඉබේ ම තවදුරටත් කෙළින් වීමට පටන්ගෙන ඇත.

දැන් 2005 දී කළ පරීක්ෂාවකින් පසු විශේෂඥයන් ප්‍රකාශ කළේ මීළඟ වසර 300 තුළ කිසිම අනතුරක් කුලුනට සිදු නොවන බවය. පවත්නා උසස් තාක්ෂණික පහසුකම් නිසා මේ කුලුන අනාගතයේ දී සම්පූර්ණයෙන් කෙළින් ‍වන බව ද ඔවුන් පැහැදිලි කර තිබුණි. ඒ නිසා තවදුරටත් එයට ඇලවුණු කුලුන යැයි කීමට නොහැකි වනු ඇත.

2013 දී යළිත් වතාවක් පරීක්ෂාවක් කෙරුණි. 2001 වසරෙන් පසු තවත් සෙ.මී 2.5කින් (අඟලකින්) කුලුන කෙළින් වී ඇති බව තහවුරු විය. ඒ වසරේදිම සයිආක් නමැති සමාගම පීසා කුලුන ඇතුළු තවත් කැපී පෙනෙන සිහිවටන 500ක් ත්‍රිමානව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ඇරැඹීය. ඒ ආකෘති සඳහා ඔවුන් යොදා ගත්තේ ඩිජිටල් තාක්ෂණයයි. ලේසර පරිලෝකන ක්‍රමය යොදා ගෙන මේ ගොඩනැඟිලි පිටපත් කර ඉතාමත් නිවැරදිව ඒ ආකෘති තනන්න ඔවුන් සමත් විය.

2018 දී කුලුනේ තවත් පරීක්ෂාවක් කළේය. තවත් සෙ.මී. 4කින් (අඟල් 1.6කින්) එය කෙළින් වී ඇති බව ඒ පරීක්ෂණයේ දී තහවුරු විය. ඉතාලියේ පීසා හි ඇලවුණු කුලුනට තවදුරටත් ඇලවුණු කුලුන යන නම යොදන්න බැහැ. කෙසේ නමුත්, දැන් එහි ඇලවුණු කෑල්ල ගැලවිලා අවසන්. මේ ලෝක මහිමය බලන්න වසරකට නරඹන්නන් මිලියනයකට වඩා ඇදී එයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS