අලුත් ඩයිනෝ
තවත් අලුත් ඩයිනසෝරයකු ගැන කියන්නයි මේ සූදානම. මේ ඩයිනසෝරයා හමුවුණේ ඇමෙරිකාවෙන්. ඇමෙරිකාවේ යූටා ජනපදයෙනි. මීට පෙර පොසිල විද්‍යාඥයන්ට මෙවැනි ඩයිනසෝරයකුගේ පොසිල හමුවී තිබුණේ නැත. ඩයිනසෝරයන් යැයි කියද්දී අපේ සිහියට නැගෙන්නේ මිහිමත රජ කළ දැවැන්තයන්ය. ඒත් මේ අලුත් ඩයිනසෝරයා එසේ නොවෙයි. මේ සත්වයා ප්‍රමාණයෙන් බල්ලකු තරම්ය. අවුරුදු මිලියන 99 කට පෙර අතීතයේ, මේ ඩයිනසෝරයා ජීවත් වූයේ ගුල්වලය.
පොසිල විද්‍යාඥයන් මෙම ඩයිනසෝරයා නම් කර ඇත්තේ ෆෝනා හර්සෝගේ Fona Herzogae යන නමිනි. මේ ඩයිනසෝරයානව ඩයිනසෝර විශේෂයකට අයත් එකෙකි. කුඩා ශාක භක්ෂකයකු වූ මෙම ඩයිනසෝරයාට සවිමත් ඉදිරිපස ගාත්රා එසේත් නැතිනම් අත් තිබුණි. ඒ ඇඟිලි සහ නිය සමඟය. පසුපස ගාත්රා ඒසේත් නැතිනම් පාද ද ශක්තිමත්ය. ගුල් තුළ ජීවත් වූ බැවින්, ගුල් හාරා ගැනීමට අත් සහ පාද උපකාරී වෙන්න ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.
විද්‍යාඥයන්ට හමුවුණු ෆෝනා හර්සෝගේ Fona Herzogae ඉතාමත් හොඳින් සුරැකිව තිබුණු බැවින් ෆෝනා හර්සෝගේ Fona Herzogae සම්බන්ධයෙන් කරුණු කාරණා අනාවරණය කර ගැනීම පහසුවක් විය. පොසිල විද්‍යාඥයන්ට කැණීම් කරද්දී ෆෝනා හර්සෝගේ පොසිල අස්ථි කොටස් හමුවූයේ සීඩර් මවුන්ටන් කැණීම් භූමියෙනි. මෙය පිහිටා ඇත්තේ කොලරාඩෝ ජනපදයට මායිම් වන ආකාරයටය.
මෙම නව ඩයිනසෝරයා, අතීතයේ උගේ මරණය සිදුවුණු ආකාරයටම, එම ඉරියව්වෙන්ම සොයා ගැනීමට හැකිවීම, ඉතා වැදගත් සොයා ගැනීමක් වූ බව කැණීම් සඳහා දායක වුණු උතූරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ සහ උතුරු කැරොලිනා ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ පර්යේෂකයෝ පැහැදිලි කරති. අස්ථි කොටස් සහ හිස් කබලකොටස් හමුවුණු මෙම භූමිය අතීතයේ වගුරක් පිහිටි ස්ථානයකි.
ඩේලිමේල් ඇසුරිනි