අයිස් කුට්ටියේ රහස



වසර මිලියන 1.5 කට වඩා පැරණි අයිස් කුට්ටියක්, මේ වනවිට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සතුව පවතී. පෘථිවියේ රහස් රැසක්, එම අයිස් කුට්ටියෙන් අනාවරණය කර ගැනීමට, විද්‍යාඥයෝ සූදානම් වෙති. විද්‍යාඥයන්ට අනුව, මේ අයිස් කුට්ටිය මිහිමත පැරණිම අයිස් කුට්ටියයි. විද්‍යාඥයන් ඇන්ටාක්ටිකාවේ ඉතා ගැඹුරට කළ කැණීමකින්, මෙම අයිස් කුට්ටිය ලබාගෙන ඇත. සිලින්ඩරයකට රැස් කරගත් එම අයිස් කුට්ටිය (සාම්පලය) බ්‍රිතාන්‍යය බලා රැගෙනවිත් ඇති අතර, දැන් විද්‍යාඥයන් සූදානම් වන්නේ එය දියකිරීමටය. මෙම අයිස් කුට්ටියෙන්, වසර මිලියන ගණනක් අතීතයේ රහස්; විශේෂයෙන් ගෝලීය උණුසුම ඉහළ යෑම සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් රහස් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන්ට හැකිවනු ඇති බව විශ්වාස කෙරේ.

අයිස් කුට්ටිය ගබඩා කර ඇත්තේ, එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවර පිහිටි හි බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ ගබඩා කාමරයේය. මෙම ගබඩා කාමරය හීතකරණයක් වැනිය. එහි උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක රින 23 ක් ලෙසය. “පෘථිවි ඉතිහාසයේ අප සම්පූර්ණයෙන්ම නොදන්නා කාල පරිච්ඡේදයක් ගැන තොරතුරු අනාවරණය කර දෙන්න මේ අයිස් කුට්ටියට හැකිවේවි යැයි අප විශ්වාස කරනවා. ඒක ඇත්තෙන්ම හරි අපූරු දෙයක් වේවි.” යැයි මෙම පර්යේෂණයට සම්බන්ධ වී සිටින, බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ, අයිස් පර්යේෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය ලිස් තෝමස් පැහැදිලි කරයි.

අයිස් ගබඩාව භූගත උමඟක් වැනිය. එයට බාහිර පුද්ගලයන්ට යෑමට කිසිසේත් අවසර නැත. එසේ වුවත්, බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදීන්ට සහ කැමරා ශිල්පීන්ට පසුගිය දා ඒ සඳහා විශේෂ අවසරයක් ලැබුණි. නීතිරීතිවලට අනුව, ගබඩා කාමරයට ඇතුළු වී එහි රැඳී සිටීමට බීබීසී කණ්ඩායමට මිනිත්තු 15 ක් කාලයක් හිමිවිය. කණ්ඩායම ගබඩා කාමරයට ඇතුළු වූයේ ද දැඩි සීතලෙන් ආරක්ෂා වීමට ඝන ඇඳුම්, බූට් සපත්තු, තොප්පි සහ අත්වැසුම් පැලඳගෙනය. ඇතුළට ගිය මාධ්‍ය කණ්ඩායමට, වසර මිලියන 1.5ක් පැරණි විය හැකි යැයි දැනට හඳුනා ගෙන ඇති පැරණිතම අයිස් කුට්ටිය පෙන්වීම කළේ ආචාර්ය ලිස් තෝමස්ය.

ඇන්ටාක්ටිකාවේ සිට රැගෙන ආ වසර මිලියන 1.5ක් පැරණි මෙම අයිස් කුට්ටිය සති හතක් පුරා සෙමින් සෙමින් දිය කිරීමට නියමිත බව ලිස් තෝමස් පැහැදිලි කළාය. අයිස් සෙමින් දිය කරද්දී, අයිස් අතරේ සිරවුණු පුරාණ දූවිලි අංශු, ගිනි කඳු අළු සහ කුඩා සාගර ඇල්ගී වර්ග පවා නිදහස් වෙන බවත්, ඒවා පරීක්ෂා කිරීමට හැකිවනු ඇති බවත් ලිස් තෝමස් මාධ්‍ය කණ්ඩායම හමුවේ පෙන්වා දුන්නාය.  වසර මිලියනයකට පෙර පැවති සුළං රටා, උෂ්ණත්වය සහ මුහුදු මට්ටම් පිළිබඳ දත්ත රැස් කර ගැනීමට හැකිවනු ඇති බවත් විද්‍යාඥවරිය පැවැසුවාය. දිය කර ගන්නා අයිස් වතුර, යාබද රසායනාගාරයක ඇති විශේෂිත යන්ත්‍ර වෙත යොමු කෙරේ. අයිස් සම්බන්ධයෙන් මෙවැනි පර්යේෂණයක් කළ හැකි ලෝකයේ ඇති එකම පර්යේෂණාගාරය ඇත්තේ ද, බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනය සතුවය.

ඇන්ටාක්ටිකාවෙන් මේ ආකාරයට ඉපැරණි අයිස් කුට්ටි සාම්පල ලබා ගැනීම මිලියන ගණනක් මුදල් වැය කළ දැවැන්ත බහුජාතික ආයතන කීපයක් එක්ව කළ මෙහෙයුමක ප්‍රතිඵලයකි. ජර්මන් සහ ස්විස් විද්‍යා ආයතන දෙකක් ද මෙම පර්යේෂණයට දායකත්වය ලබා දී ඇත. අයිස් මීටරයක ප්‍රමාණයේ කොටස්වලට කපා, මුලින් නැව් මගින් ද පසුව ශීතකරණ සහිත ට්‍රක් රථවලින් ද කේම්බ්‍රිජ් පර්යේෂණාගාරය වෙත රැගෙන ඒම සිදු කෙරුණි. මෙම ඉපැරණි අයිස් කුට්ටිය හාරා ලබා ගැනීම සිදු වී ඇත්තේ, නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ කොන්කෝඩියා කඳවුර ආසන්නයේදීය. එම කටයුත්තට දායක වූ එක් අයකු වන්නේ ඉංජිනේරු ජේම්ස් වීල් ය. ආචාර්ය ලිස් තෝමස් පවසන පරිදි, වසර 800,000 කට පෙර කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ස්වාභාවිකවම, අද වර්තමානයේ පවතින තත්ත්වයට වඩා ඉහළ මට්ටමක පැවති කාල පරිච්ඡේදයක් පිළිබඳ සාක්ෂි ලබා ගැනීමට ද මෙම අයිස් කුට්ටිවලට හැකිවනු ඇතැයි පැවැසෙයි.

අද වන විට ගෝලීය උණුසුම ඉහළ ගොස්, ලොව පුරා විපරිත කාලගුණ පෙරළි දකින්න ලැබෙන බවත්, ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු වන පෘථිවි වායුගෝලයට එක් වන, අහිතකර වායු සම්බන්ධයෙන් පෘථිවිය අතීතයේ ප්‍රතිචාර දැක්වූ ආකාරය වටහා ගනිමින් අනාගතනයට පිළියම් සෙවීමට හැකිවනු ඇති බවත් ආචාර්ය ලිස් තෝමස් පැහැදිලි කර ඇත. “අපගේ දේශගුණික පද්ධතිය විවිධ වෙනස්කම් රාශියක් හරහා ගොස් ඇති නිසා, එම විවිධ ක්‍රියාවලීන් සහ සන්ධිස්ථාන තේරුම් ගැනීමට අපට අතීතයට යාමට හැකිවීම අත්‍යවශ්‍යයි. මෙම අයිස් කුට්ටිය අප අතීතයට රැගෙන යාවි” යැයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගෝලීය උණුසුම ඉහල යෑම යනු පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය දිගින් දිගටම වැඩිවීමය. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ හරිතාගාර වායු නමැති වායු වර්ග කිහිපයකි. හරිතාගාර ආචරණය යනු පෘථිවියේ වායුගෝලයේ ස්වාභාවිකව සිදුවන ක්‍රියාවලියයි. සූර්යයාගේ තාපය පෘථිවියට ලැබුණු පසු, ඒ තාපයෙන් කොටසක් නැවත අභ්‍යවකාශයට පරාවර්තනය වෙයි. හරිතාගාර වායු මේ තාපය වායුගෝලයේ රඳවා ගැනීමක් කරයි. මේ හේතුව නිසා පෘථිවිය ජීවයට සුදුසු උෂ්ණත්වයක පවතී. මෙය ස්වාභාවික ක්‍රියාවලියක් වුවත්, මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය වැඩිවීමෙන් අද වන විට මේ ස්වාභාවික සමතුලිතතාව බිඳ වැටී ඇත. ගෝලීය උණුසුම ඉහල යෑමට දායක වන ප්‍රධාන හරිතාගාර වායු වර්ගවලින් ප්‍රධාන තැනක් ගන්නේ, කාබන් ඩයොක්සයිඩ්ය. මෙය ගෝලීය උණුසුමට වැඩිපුරම බලපාන වායුවය. ෆොසිල ඉන්ධන (ගල් අඟුරු, තෙල්, ස්වාභාවික ගෑස්) දහනය කිරීමෙන්, කර්මාන්තශාලාවලින්, රථවාහනවලින් සහ වනාන්තර විනාශ කිරීමෙන් විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වෙයි. මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ ෆ්ලෝරිනීකෘත වායු වර්ග ද ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතුවන වායුගෝලයට එක් වන අහිතකර වායු ය.

බීබීසි ඇසුරිනි


RECOMMEND POSTS